දඟකාර පම්මා

2016-06-02 01:46:00       728
feature-top
මා ඒ පන්තියේ ඉගැන්නුවේ ඉංග්‍රීසිය. උදෑසන 7.30ට ඇරැඹුණු පාසලේ පළමු ශ්‍රේණිය පවා ඇරුණේ සවස 1.30ටය. ගුරුවරුන්ටත්, සිසු දරුවන්ටත් ගෙදර යෑමට හදිස්සියක් නොවීය. පාසල අවසන් වූ පසු හවස පන්ති ද පැවැත්විණි.

මේ වැරැල්ලගොල්ල මහ විදුහලයි. එය අයිති පස්සර අධ්‍යාපන කලාපයට ය. එය කලක් දියුණුව පැවතිය ද පසුව වැසී යන තත්ත්වයට ඇද වැටුණි. එහෙත් කලාප කාර්යාලයේ මැදිහත් වීමෙන් පාසල යළි පිබිදී තිබිණි. මට ද එහි රාජකාරි පැවරුණේ ඒ අනුව ය.

දිනක් මම සවස පන්තියේ උගන්වමින් සිටියෙමි.

පළමු ශ්‍රේණියේ දඟයා වූයේ පමුදු ය. මෙල්ල කිරීම අපහසු විය. එසේ වුවත් මගේ වැඩි අවධානයත්, ආදරයත් දිනා සිටියේ ඔහු ය.

මම ඔහුට පම්මා යැයි නමක් දැමීමි. ඒ මෙල්ල කර ගැනීමේ උපක්‍රමයක් හැටියට ය.

අනතුරු ව මම මෙසේ කීමි.

දඟකාර වැඩ කරන්නෙ පමුදුනේ. පමුදු ටීචර්ගෙ නෙමෙයිනේ. ටීචර්ගෙ පුතා තමා පම්මා. පම්ම නම් දඟ කරන්නෙ නෑ.

එවිට පමුදු පූස් පැටියකු මෙන් අහිංසක විය. එහෙයින් ඔහු දඟ වැඩ කරන විට මම පම්මාගේ කතාව කීමි.

හවස් වන විට පම්මා සිටියේ බර කල්පනාවකය. පාඩමට අවධානයක් නොවූ ගානය. බැරිම තැන පම්මා ළඟට ගත් මම කල්පනා කරමින් සිටියේ මොකක් දැයි විමසීමි.

ටීචර්, ඊයෙ රෑ අපේ වැස්සි පැටියෙක් දැම්ම! ලස්සනයි ටීචර්. මං එයාට හරි ආදරෙයි. අපේ ආච්චිටත් හරිම සන්තෝසයි. පැටිය දැම්ම හින්ද වැස්සිට කෙහෙල්ගෙඩිත් කැව්ව. පැටිය දුඹුරුම දුඹුරු පාටයි. මං එයාට රත්ති කියල නමකුත් දැම්ම. පම්මා කියාගෙන කියාගෙන ගියේ ලොකු උනන්දුවකිනි.

ඒ පැටියව මට දෙනව ද?

බෑ. බෑ. ටීචර්. දෙන්න බෑ, මට එයාව ඕනැ සෙල්ලම් කරන්න

පම්මා සිටියේ රත්තිගේ ලෝකයේ ය. කෙසේවත් පාඩමට නතු කර ගැනීමට බැරි විය.

පම්මලාගේ ගෙදර පාසලට කිට්ටුය. එහෙයින් මම පන්තියට මෙබඳු යෝජනාවක් කළෙමි.

හරි. අද අපි හැමෝම කලින් පන්තිය ඇරිල යමු පම්මගෙ අලුත් යාළුව බලන්න, කැමති ද හැමෝම?

සියල්ලෝම එක හඬින් කැමැති වූහ, කවුරුත් පාසල අවට නිවෙස්වල දරුවන් නිසා ගැටලුවක් ද නොවීය.

මේ යෝජනා සම්මතයෙන් පසු යළිත් පම්මා පූස් පැටවකු මෙන් පාඩමට අවධානය යොමු කළේය.

කතිකා කර ගත් පරිදිම අපි වේලාසනින් ම පන්තිය නිමවා පම්මාගේ නිවෙස බලා පිටත් වීමු. පම්මා ද මා පසෙකට වී ගමන් කළේ නොයෙක් විස්තර කියමිනි.

අපේ පා පම්මාගේ ගේ ඉදිරියේ නැවතිණ.

කොහෙද පුතේ වහුපැටිය ඉන්නෙ?

ඔන්න ඔතනින් පහළට ගියාම ගාල තියනව

පම්මා පෙන්වූ ඉසව්ව ඔස්සේ මම ගාල දෙසට ගියෙමි. ගාලේ බැලූ බැල්මට පැටවෙක් නොවීය. මම පසුපස බැලීමි. පම්මා ද නොවීය.

මා ඇස ගැසුණේ පම්මාගේ ආච්චිය.

ආනේ ටීචර් ඇවිල්ල! ඇයි ටීචර් මෙතන? එන්නකො ගෙට!

අපි ආවෙ පම්මගෙ අලුත් යාළුව බලන්න

කවුද ටීචර්? ආච්චී පුදුමය පළ කළා ය.

ඇයි අලුතින් දාපු වහුපැටිය? කෝ එයා?

ආනේ ටීචර්, වැස්සි තාම පැටිය දැම්මෙ නෑ. මං හිතන්නෙ අද රෑට පැටිය දායි

කර කියා ගත හැකි දෙයක් නොවූ මට සිනාවක් ගියේ ය. සිසුහු ද එකවර මා හා සිනාසුණහ.

කෙසේ වෙතත් පම්මා තවත් දඟ වැඩක් කර ඇත.

පන්තියේ දී වූ සිද්ධිය මම නිවැසියනට කීමි. ඔවුහු පුදුම වූහ. මා අකරතැබ්බයකට මුහුණ දීම ගැන ද ඔවුහු දුක් වූහ.

පම්මා තුළ වූ පරිකල්පන ශක්තිය ගැන මම සතුටු වීමි. මා මෙතෙක් කල් ගුරු දිවියේ ලද ඉතා සියුම් මෙන් ම ගැඹුරුතම සතුටුදායක අත්දැකීම මෙයයි.

පමුදු දැන් ලොකු පුතෙකි. ඔහු අද පවා මා සෙවණට පැමිණෙයි. අදත් මා ඔහු අමතන්නේ අර හුරතල් නාමයෙනි.

බිබිලේගම, බ/ බිබිලේගම මහ විදුහලේ පුබුදු තාරකා වනසිංහ ගුරු මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනිි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »