නෙතු පෑදීම

2016-05-30 10:35:00       728
feature-top
වෛද්‍ය පරීක්ෂණයට මා මුහුණ දුන්නේ සැහැල්ලු සිතිනි‍. එහෙත් සිදුවූයේ නොපැතූ දෙයකි‍.

සැරපරුෂ පොලිස් නිලධාරියකු ඉදිරියට පමුණුවනු ලැබූ වරදක් කළ අයකු මෙන් මා අවමානයට ලක් විය‍.

පරීක්ෂණයෙන් අසමත් වී මා පිටතට ආවේ ලජ්ජාවෙනි.‍ සැණෙකින් ලජ්ජාව පරයා මහා කම්පාවක් නැ‍ඟෙන්නට වූයේ ය.‍

මා දෙනෙතේ දෝෂයකි. අනාගතයේ දෙනෙත් නැති ජීවිතයක් ගත කරන්නේ කෙසේ දැයි මට සිතා ගැනීමට බැරි විය. මහ ද හඬා වැලපෙන්නට වූයේ ය.

බය වෙන්ඩ එපා අපි අර දොස්තර මහත්තයට කතා කරල බලමු බිරිය මා අස්වැසුවා ය.

හොඳ වෙලාවක් බලා අපි ඔහුට ඇමතුමක් ගතිමු.

එන්ඩ! එන්ඩ! බයවෙන්ඩ එපා! අපි කරන්ඩ තියන දෙයක් ක‍රමු.

ඒ කාරුණික වදනින් මා නිවී ගියේ ය.

පසුව අපි අගනුවර සායනයක දී ඔහු මුණ ගැසුණෙමු.

ඉතින් කොහොමද අයිය අම්ම ‍එහෙම?

ඔහු අප පවුලේ තතු විමසුවේ ය.

වේලාවේ හැටියට විස්තරය කෙටියෙන් කීමි.

දොස්තර මහත්තයා මා බිරිය දෙස බලා අපේ අතීතයේ යම් යම් සිදුවීම් ගැන මතක් කළේ ය.

මිස් දන්නවද ඉස්සර මේ ගොල්ලන්ගේ ගෙදර අවුරුද්දට කතුරු ඔන්චිල්ලාවක් බඳිනව.

මම ඒ මොහොතේ ළමා වියට ගියෙමි.

මේ ගොල්ලන්ගෙ තාත්ත‍ෙග මරණෙදි තමයි මම ඉස්සෙල්ලම මරණයක් දැක්කෙ?

මපියාණන් අප කුඩා කාලයේදීම අවසන් ගමන් ගිය හැටි මට මැවී පෙනිණ.

දොස්තර මහතා මා පිරික්සුවේ ය.

පොඩි ශල්‍යකර්මයක් කරන්ඩ ඕනෑ.

මහත්තයො මේ දවස්වල පුතාගෙ විභාගෙ මා බිරිය යාප්පුවෙන් කීවා ය.

ඒ ඇසූ ඔහු ඉදිරි දිනයක් දුන්නේ ය.

බිරියත්, මමත් මුහුණට මුහුණ බැලීමු. කටයුතු වගයක් නිසා එදින ද නොහැකි ය.

දොස්තර මහතා තවත් දිනයක් යෝජනා කළේ ය.

ඊට අපි එකඟ වීමු.

ඒ අතර ඔහු ඇමතුමක් ගෙන අපේ කටයුත්ත ස්ථිර කර ගත්තේ ය.‍

අපි සමු ගතිමු.

එවිටම යුවතියක පැමිණ අප දොස්තර මහතාට ගෙවූ මුදල ආපසු දුන්නා ය.

අදාළ සැත්කම දවසේ පෝලිම ද දිගු විය.

සැත්කම සිදු විය. සැත්කමින් පසු මා අවදිව සිටිය ද ජීවිතයේ පළමු වරට දෑස වැසී තිබිණි.

අප සිටියේ ගෙදරට සැතපුම් සියයකටත් වඩා ඈතිනි.

දැන් කොහොමද යන්නෙ? දෑස වැසී තිබුණ ද මට දොස්තර මහතාගේ කාරුණික හඬ හඳුනාගත හැකි විය.

අපි වාහනේක ආවෙ.

එහෙම නං කමක් නෑ. පරිස්සමට යන්ඩ! දීපු උපදෙස් ඒ විදිහටම පිළිපදින්ඩ! නොවරදවාම මං කියපු දවසෙ ඇවිත් මට පෙ‍න්නන්ඩ!

හොඳයි

පුදුමය නම් මේ සියලු කටයුතු මැද එදින ද අපේ මුදල ආපසු ලැබීම ය.

ඉන් පසු අපි ආපසු ආවෙමු. වාහනය තුළ දී වූයේ නිහැඬියාවකි. මම ඔහේ විවේකීව සිටියෙමි.

එදා දොස්තර මහත්තයා සිහිපත් කළ අතීත මතකය ඔස්සේ මම මනසින් ඇවිද යන්නට වීමි.

වෙල් නියරේ ගොස් අඩි පාරට වැටුණෙමි. මඩ වළවල් උඩින් පැන ඉඳිකැටිය වත්ත මායිමේ හිටගෙන මග රැක සිටින මෙන් ම පසුපසින් එන කූඩැල්ලන්ගෙන් බේරුණෙමි. ඉන්පසු අමුණෑල්ලට ඉහළින් ඇති දොළේ දිය සෙවෙල බැඳි ‍ලිස්සන ගලින් ගලට පැන්නෙමි. මුල්ගෙදර පිටුපසින් පැමිණ සුද්දගෙ වත්ත මැද්දෙන් ගියෙමි. බල්ලන්ගේ බිරුම්, කුකුළන්ගේ ඇඬලීම් එළුවන්ගේ බෑ කීම් අසමින් ළමයින්ගේ ගෑනුන්ගේ මිනිසුන්ගේ නොතේරෙන තොරතෝංචියක් නැති කංකරච්චලයෙන් පිරුණු වතු කම්කරු ලැයිම් අතරින්, දුගඳ හමන කාණු අසලින්, කුකුළු සායමින් හැඩ වුණු පුළුන් බෝල සදිසි චූටි කුකුළු පැටවුන් දෙස බලමින් නිරුවත් දෙපා දුරින් දුරින් තබමින් ගියෙමි.

කිලෝ මීටර් තුනක් පමණ ගෙවා අප පාසල් ගිය පාරේ මම ඇවිද යමි. මා සමඟ තවත් නිරුවත් දෙපයක් ගමන් කරයි. ඒ දෙපය මට අද මේ සැත්කම කළ දොස්තර මහතාගේ ය. ඒ සොඳුරු අතීතයට මම ආසා කරමි. ඔහු ද ඊට ලොල් කරන බව මම දනිමි.

මිනිස් ගුණෙන් පිරි අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්. විජේතුංග මහතාණනි, ඔබට යහපත සැලසේවා! ඔබ හැදූ වැඩූ මාපියනට ජාති ජාතිත් පින් සිදුවේවා!

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »