වෙනස් වීම

2016-05-23 10:56:00       830
feature-top
මා මිතුරා තරුණියක හා හාද වී සිටියේය. ඔහු අවංක ය. හිත මෙළෙක් ය. ගෙවල් දෙකෙන් ම කැමැත්ත පළ වුණොත් ඇය සරණ පාවා ගන්නා බව ඔහු මට කියා තිබිණ.

මගේ මිතුරා හාද වී සිටි තරුණියගේ එක ම සොහොයුරිය ද තරුණයකු හා හාද වී සිටියා ය. සිය සොයුරියට වඩා රූමත් තැනැත්තියක ව සිටි ඕ ඉගෙනුම අතින් ද ඉහළ තැනක සිටියා ය.

මේ සම්බන්ධතා දෙක ම තරුණියන් දෙදෙනාගේ නිවෙසට රහසක් ව තිබිණ, එසේ ම ඔවුන්ගේ පියා බෙහෙවින් තද හිතැති රළු පුද්ගලයකු ලෙස ද ප්‍රසිද්ධ ව සිටියේ ය.

පෙම් සුවඳ සැඟවිය නොහැකි යැයි කියනු ලැබේ. සුවඳ ටික ටික පැතිරී ඒ පියා ගේ නැහැ පුඩු අතරට ද රිංගී ය. ඉන් සිය ඇතුළාන්තය සැලී ගිය ද ඒ වග නොපෙන්වූ හෙතෙමේ තීරණයක් ගැනීමට පෙර සම්බන්ධය සියැසින් ම දැකිය යුතු යැයි සිතා එතැන් පටන් දියණිය කෙරෙහි දැඩි විමසිල්ලෙන් සිටියේ ය.

දිනක් ඇය පෙම්වතා සමඟ සිනමා හලකින් පිටතට එනු ඔහුට අසු විය. ඔහු ගෙදර ගියේ කොවින් දැවෙමිනි.

තමුන් අද කොහෙද ගියේ?

ගෙදර ආ දියණියගෙන් ඔහු ප්‍රශ්න කරන්නට වූයේ ය. දියණිය කටක් නොහෙල්ලුවා ය. ඇයට පහර කිහිපයක් ගැසූ ඔහු ඇය ගෙතුළට තල්ලු කර දැමුවේ මින් මතු වත්තේ හතරමායිමෙන් එහාට ගියහොත් අඬු කඩා දමන බවට තර්ජනය කරමිනි.

පසු දා ඇය ඇහැරුණේ නැත. ඇය වස බී මිය ගොස් සිටියා ය.

ඇගේ නිසල සිරුර දෙස මොහොතක් බලා සිටි ඔහු ගෙයින් එළියට පැන දුවන්නට වූයේ ය. ඔහු ගේ දිවීම පාලනය වූයේ හොඳටම හති වැටුණු පසු ය. ඒ වන විට ඔහු කිලෝ මීටර හත අටක් දුව ගොස් තිබිණ. ඔහු සිය ආවේගය පාලනය කර ගත්තේ එසේ ය.

අවමඟුල් කටයුතු ද අවසන් වී මාස ගණනාවක් ගෙවී ගියේ නිහඬවම ය.

පියා ගේ චිත්තාභ්‍යන්තරයේ මහා විපර්යාසයක් සිදුවෙමින් තිබූ බව ලෝකයා දුටුවේ නැත.

ඔහු ගේ අනෙක් දියණියගේ පෙම් සබඳතාව පිළිබඳ ආරංචිය ඔහුට ලැබුණේ මේ අතර ය. ආරංචිය වූ කලි ඇයත් ඇගේ පෙම්වතා වූ මගේ මිතුරාත් අතර පැවැති සම්බන්ධතාව ය.

දුවේ මට ඔය ඉලන්දාරියගෙ ගෙදර ඇඩ්‍රස් එක දෙන්ඩ! මට එයාව මුණ ගැහෙන්ඩ ඕනැ

පෙම්වතියගේ පියා මා මිතුරා සොයා ඔහු ගේ නිවෙසට ආවේ ඒ අනුව ය. සිය අනාගත මාමණ්ඩිය හඳුනා ගත් මමිතුරා බෙහෙවින් බියට පත් වූයේ ඔහු රළු පරළු පුද්ගලයකු බව අසා තිබූ බැවිනි.

දරුවො ඔයා මගෙ දූත් එක්ක තියන සම්බන්දෙ ස්ථිර එකක් ද? ඒක දැන ගන්ඩයි මං ආවෙ.

ඔව් තාත්තෙ

හෙතෙමේ එකෙණෙහිම මමිතුරාගේ දෑත තරයේ අල්ලා ගත්තේ ය.

දරුවො ඔය ළමයගෙ දෙමවුපියො එක්ක කතා කරල මේ වැඩේ පිළිවෙළක් කරල දාන්ඩ ඕනැ. අද හෙටම අපේ ගෙදර එනව ද?

හොඳයි තාත්තෙ

පොරොන්දු වූ පරිදිම මමිතුරා මාපියන් කැටුව සිය පෙම්වතියගේ නිවෙසට ගියේ ය.

අනාගත මාමණ්ඩිය, තම අනාගත බෑනාට කවන්නට - පොවන්නට පටන් ගත්තේ මහත් වුවමනාවකිනි.

මේව සුවඳැල් හාලෙ බත් පුතේ. බලන්ඩකො එන සුවඳ! මේ අලුත් මාළු මං ගෙනාවෙ ඔයාල හින්දම ලෙල්ලමට ගිහින්.

සිය පියාගේ වෙනස්වීම දරාගත නොහැකි පෙම්වතිය ගොළුවත රැකගෙන සිටියේ දෑස මහත් කරගෙන ය.

අනාගත මාමණ්ඩියගේ සැලකිලිවල නම් ඉවරයක් නොවීය.

මේව ගහෙන් කඩාපු කජු පුතේ. බලන්ඩකො තියන කිරි රහ! ඔහු තවත් කජු හැන්දක් මමිතුරාගේ පිඟානට බෙදුවේ ය.

අනේ ඇති තාත්තෙ ඇති ඇති

මේකත් කන්ඩකො පුතේ

හුස්මක් - කටක් නොගත හැකි මට්මට කුසි පිරී - සිටි මමිතුරා ගේ පිඟානට ඔහු තවත් කට්ලට් එකක් බෙදුවේ බෑයි නොකියන පරිදි ය.

මේ පෙම් සබඳතාවට මමිතුරාගේ මාපියන් මුල දී කැමැත්ත දුන්නත් ඥාතීන්ගේ බිය කිරීම නිසා ඔවුන් දැන් පසුවන්නේ දෙගිඩියාවෙනි. ගෙදර අයකු දිවි නසා ගැනීම අනාගත යුවළට අපල උරුම කර දෙනු ඇතැයි යන සැක සංකාව ඊට පාදක වී ඇත.

තම මාපියන්ගේ හිත රිද්දන්ට අකැමැති මමිතුරා තවමත් සිය විවාහය ගැන හරි තීන්දුවක් ගෙන නැත.

දැන් ඔහුට බේරෙන්නට බැරි පෙම්වතියගෙන් නොවේ. මාමණ්ඩියගෙනි.

පුතේ නිවාඩුවක් ලැබිච්ච හැටියෙ අපේ ගෙදර එනව නේද? මං ඔයාට සලකන්ඩ ආසාවෙන් බලාගෙන ඉන්නේ

හොඳයි තාත්තෙ මං එන්නං

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »