තණ අග පණ නල

2016-05-10 10:57:00       724
feature-top
මා සිටියේ කැලඹුණු සිතිනි. අවුරුදු දාට පසු දා වැඩට යන්නට සිදුවීමත්, බලාපොරොත්තුව සිටි දුම්රිය වෙලාවටත් කලින් පිටත්ව යෑමත් නිසා මගේ සිත කැලඹී තිබිණි.

අවුරුදු දිනවල බස් හිඟ නිසා මා වේයන්ගොඩ දුම්රිය පොළට ආවේ කුලී ත්‍රිරෝද රියකිනි. නුවර සිට කොළඹ බලා ඇදෙන ශීඝ්‍රගාමී දුම්රිය මගේ දුම්රිය ස්ථානයට ආ යුතු වන්නේ පෙරවරු 8.53 ටය. එහෙත් අද දින එය වෙලාවටත් කලින් මෙහි පැමිණියා පමණක් නොව පිටත්ව යා යුතු නියමිත වේලාවට විනාඩියකට හෝ දෙකකට පෙර නික්ම ගියේ ය.

ත්‍රිරෝද රියෙන් බැස මා දුම්රිය ස්ථානයට දුවගෙන එද්දී එය මගේ ඇස් පනා පිට ම ඇදී යන්නට ව‍ූයේ මට ඔච්චමට මෙනි. මට කෝච්චිය වැරදුණා පමණක් නොව මා ත්‍රි‍රෝද රියට ගෙවූ රුපියල් සියයේ ගාස්තුව ද අපතේ ගියේ ය.

දුවගෙන ආ මගේ දෙපා දුම්රිය පොළේ මගී පාලම මත ම ගල්ව ගියේ ය.

මම අවුල් වූ සිතින් එහි යකඩ වැට මත වැලමිට ඔබා ගතිමි.

අර දැක්කද? කෙල්ල කෝච්චියට පනින කොට ම කවුද කෙනෙක් දුවගෙන ඇවිත් ඒකිව අහකට ඇදල දැම්ම. දැන් අර මොකක්ද කලබලේ? දෙන්න ගහ ගන්නව නේද?

එබසින් මම උඩ ගොස් බිම වැටුණෙමි. මා අසල සිටි කිහිප දෙනා අතුරින් අයකු එසේ කියනු මට ඇසුණේ සිහිනයෙන් මෙනි. කලබල වූ මට ඔවුන් දෙස බැලිණි. ඔවුන්ගේ ඇස් දුම්රිය පොළේ ඈතක පිහිටි දුම්රිය හරස් ම‍ඟෙහි ඇලී තිබිණ. මම ද එදෙස විමසිල්ලෙන් බැලීමි‍.

මේ දැන් දුම්රිය ස්ථා‍නයෙන් පිටත්ව නුවර පැත්තට ඇදුණු දුම්රිය හරස් මඟ පසුකොට ඇදෙමින් තිබේ. හරස් මඟට රැස්වන මගීන් මැද තරුණියක සහ තරුණයකු පොරකමින් දඟලනු පෙනෙයි.

පේනව නේද කෙල්ල බේරගත්තු මනුස්සයට ගහන හැටි! ඒකි නං යක්ෂ කෙල්ලක්!

මගේ කුහුල වැඩි විය‍. තරුණයා පසෙකට යයි. තරුණිය ඉදිරියට පැන ඔහුට පහර ‍දෙයි. ඔහු ඒ පහර වළක්වමින් ඇ‍ගේ අත අල්ලා ගනී. එකෙ‍ණෙහිම තරුණිය ඇද වැටෙයි. යළි නැගිටින ඇය තරුණයා වෙත කඩා පනී. තරුණයා යළි ඇගේ පහර වළක්වයි. රැස්වන සෙනඟ අත පය දිගු කරමින් තරුණියට මොනවදෝ කියති.

කෙල්ල ආවෙ බයිසිකලේකින්. ඒක එතන දාලා දුවන කෝච්චියට පනින්ඩයි හැදුවෙ. ඒක දැකල තමයි අර මනුස්සය පස්සෙන් දුවගෙන ඇවිත් බේර ගත්තෙ.

මට සියල්ල වැටහිණි.‍

දිවි නසා ගැනීමට දුම්රියට පනින්නට ආ තරුණිය සිය අරමුණ වැළකූ පුද්ගලයාට එළව එළවා පහර දෙයි. මෙබඳු දසුනක් මා ජීවිතයට ම දැක නැත. මේ විරල අවස්ථාව හොඳින් බලා ගැනීමේ දැඩි කුහුලක් මා සිත ඉපදිණි. එහෙයින් මම ද සෙස්සන් හා එහි දුවන්නට වීමි.

මා එහි යන විටත් තරුණයා තරුණියගේ අතක් වැරෙන් අල්ලා ඇය පාලනය කරගෙන සිටි අතර ඇය කෑගසමින් ඔහුට පහර දීමට තැත් කළේ යක්ෂාවේශයෙනි. ‍ඔහු ද තවදුරටත් ඇගේ පහර වළක්වමින් ඇය සිය ග්‍රහණයට ගෙන සිටියේ ය.

වයස විසි පහක් පමණ ඇති ඇය කළු ය. විසල් දෑස කෝපයෙන් ගිනි ගනියි. ඇය තමාට යම් යම් දේ කියන වැඩිහිටියනට බැණ වදියි. ඩෙනිම් කලිසමක් හැඳ සිටි ඇගේ පා නිරුවත් ය.‍ සෙරෙප්පු දෙක කොහේ හෝ ගැලවී ගොසිනි. අත් කොට කළු බ්ලවුසයේ සුදු තිත් තිබේ.

ඇය සිය පාලනයට නතු කරගෙන සිටි තරුණයා කාය ශක්තියෙන් අනූන අයකු වුව ද යක්ෂාවේෂයෙන් දඟලන ඇය තවදුරටත් ආණ්ඩු මට්ටු කර ගැනීම ඔහුට ලෙහෙසි නැති පාට ය. ඔහුගේ සියො ළඟ දාහයෙන් බේරෙයි. ඇය මෙන් ම ඔහු ද හති අරියි.

අත ඇරපං! මාව අත ඇරපං යකෝ! තරුණිය කෝපයෙන් කෑගසයි.

බෑ! අත අරින්නෙ නෑ තරුණයා ද අභියෝග කරයි.

ඔවුන් වටකොට ජන වළල්ලක් හැඳී තිබේ. එහෙත් කිසිවකු තරුණයාට ආධාර පිණිස ඉදිරිපත්වන බවක් නොපෙනේ. එසේ වුව ද වියපත් ගැහැනු නම් ඇයට බැණ වදිති.

මේකිට මදන මතේ ගහල? ඒකනෙ ඔය වැස්සියෙක් වාගෙ දඟලන්නෙ? ගැහැනියක් දෙහි කපයි.

තෝ කට වහගෙන හිටපිය! තරුණිය ද ඇයට කඩා පනී.‍

අන්තිමේදී පිරිසෙන් තවත් තරුණයෙක් ඉදිරියට විත් තරුණියගේ අනික් අත අල්ලා ගත්තේ ය. එහෙත් තරුණියගේ දැඟලිල්ලට ඔවුන් දෙදෙනාම දෙපසට විසිවන ගාණය.

ඔය වැඩේ කරන්ඩ බෑ. මේකි බඳිමු!

පිරිසේ සිටි තවකෙක් කෑගෑවේ ය.

බඳිමු! බඳිමු! සෙස්සෝ ද ඒ අදහස අනුමත කළහ.

එකෙණෙහි ම වයර් පොටක් දිගු විය. මුල් තරුණයා එය සියතට ගත්තේ ය. එතැන ම ගස් ලබු ගසක් ද වූයේ ය‍.

දෑත පිටිකරට නමන විට ම තරුණිය අම්මෝ! යි කියා කෑගැසුවා ය.‍

බලාගෙන අත පනියි! තරුණියට දොස් කියන සියක් හඬවල් මැදින් සානුකම්පිත හඬක් ද නැඟිණ.

තරුණයෝ දෙදෙන ඇගේ දෑත ගස් ලබු ගසට තබා බැඳ සිය දෑත් ඇගෙන් නිදහස් කර ගත්හ.

දෑත් පිටිකරට තබා ගසෙහි බඳිනු ලැබූ සියලු අපේක්ෂාවන් බිඳුණු තරුණිය හිස පහතට වැටෙන පරිදි ගසෙහි එල්ලී සිටියා ය.

මේකිව දැන් පොලිසියට බාර දෙමු! ජනයා හඬ නගන්නට වූහ.

මෙවිටම දුම්රිය බලධරයෙක් එහි ආයේ ය.

අපි මෙයාව ස්ටේෂන් එකට අරගෙන යමු ඔහු පළමු තරුණයාට කීවේ ය.

ගෙනියන්ඩ බෑ මහත්තයො මෙයා ගහනව! තරුණයා ඒ අදහසට විරුද්ධත්වය පළ කළේ ය.

ගහනව! එහෙම කො‍හොමද? නිලධාරියා තරුණියගේ දෑසට එබුණේ ය. ඇගේ දෑස ද ඔහුගේ දෑසෙහි රැඳිණ.

යං ස්ටේෂමට! ඔහු සන්සුන් හඬින් ඇයට කීවේ ය.

තෝ පල යන්ඩ! ඇය ගිගුරුවා ය. නිලධාරියා පස්සට විසි වුණේ මෙයාව පොලිසියට බාර දෙමු යි කියමිනි.

දුම්රිය නළා හඬක් ඇසිණ. ඒ මා යා යුතු දුම්රියයි. නළා හඬ ඇසෙත් ම තරුණිය දෑස ලොකු කර එදෙස බැලුවා ය. ඒ සා සුවිසල් අමුතු දෑසක් මා දැක නැත. ඇය බැම්ම කඩාගෙන ඊළඟ දුම්රියට පැන දිවි නසා ගනු ඇතැයි මට බයක් දැනිණ.

දුම්රියේ නළා හඬ ළංව ඇසෙයි. දුම්රිය ස්ථානයට දුව යනු පිණිස මම පිරිස අතරින් මෑත් වීමි.

ඕං තව කෝච්චියක් එනව. මේකි වයර් පොට කඩාගෙන ඒකට පනින්ඩ පුළුවන්! පනින්ඩ දෙන්ඩ එපා!

ඒව කොහෙද? පොලිසිය එනකං මෙයාට හෙල්ලෙන්ඩ දෙන්නෙ නෑ!

එතනින් එහා දේවල් මට ඇසුණේ ද, පෙනුණේ ද නැත.

දුම්රිය අල්ලා ගනු පිණිස මම ආපසු දුම්රිය වේදිකාවට දුවමින් සිටියෙමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »