පිරිපුන් දැරියෝ

2016-05-09 10:54:00       723
feature-top
ඒ උදෑසන ගම්පහ රෝහල ඉදිරිපිට කොළඹ පාර සුපුරුදු වාහන තදබදයෙන් යුතු විය.

රෝහල් ගේට්ටුව ආසන්නයේ සිය රෝද පුටුවේ හිඳ සිටි වියපත්, රෝගී, යාචක තෙමේ පාර හරහා එහා පැත්තට යනු පිණිස රැඳී සිටියේ කිසියම් යහපත් මිනිසකුගේ කරුණාව අපේක්ෂාවෙනි.

එසේ වුව ද ඒ ක්‍රියාකාරී උදෑසන කිසිවෙකු ඔහු නොදුටු ගාණය. මගීහු වේගවත් ව ඔබ මොබ ගියහ. පදික වෙළෙන්දෝ තම තමන්ගේ වැඩවල යෙදී සිටියහ. වාහන නොනවත්වාම එහා - මෙහා ගියේ ය.

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පදික වේදිකාව දිගේ එමින් සිටියේ මෙවෙලේ ය.‍ අසරණයා නෙත ගැටුණු ඔවුහු නැවතී මොහොතක් මුහුණට මුහුණ බලා සිටියහ. ඒ මුහුණ මත අනුකම්පාව ඇතිරී යමින් තිබිණ.

වහා ත‍ීරණයක් ගත් එක් ශිෂ්‍යාවක් තම පොත් බෑගය යෙහෙළියට දී යාචකයා හිඳ සිටි ‍රෝද පුටුව එහා පැත්තට තල්ලු කරගෙන ගොස් පාර අයිනේ රැඳවූවා ය. මුවින් නොදෙඩූ යාචක තෙමේ ඇයට කෘතගුණ පූර්ණ බැල්මක් හෙළුවේ ය. එසැණ පාර පැන සිය යෙහෙළිය ළඟට ආ ඇය යෙහෙළිය අත වූ පොත් බෑගය ඉල්ලා ගෙන උරසෙහි ලා ගත්තා ය. තම සමාජ වගකීම ඉටු කළාක් ‍බඳු තෘප්තියක් ඔවුන්ගේ දීප්තිමත් නෙතු සඟලේ ලියැවී තිබිණ. අනතුරුව ඔවුහු සැහැල්ලු සිතින් යළිඳු සිය ගමන පටන් ගත්හ.

මේ සිසු දැරියන්ගේ නිල ඇඳුම මට හුරු ය.‍ ඔවුන් රත්නාවලි බාලිකාවෙහි ඉගෙනුම ලබන්නෝ ය.

පදිකයන් අතර නොපෙනී යන ඒ හංසියන් දෙදෙනා දෙස මා බලා සිටියේ පිවිතුරු හැඟුමිනි.

හිත උණුවන, යහගුණ දහමින් පිරි මේ දැරියන් දෙදෙනා සමාජයට දායාද කළ මාපියනටත්, ඔවුනට අකුරු කරන ගම්පහ රත්නාවලී බාලිකා විදුහලටත් හිස නමමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »