අත් හැරීම

2016-05-02 09:59:00       724
feature-top
එක්තරා ගම් පළාතක ජනයාට සිය ආගමික කටයුතු කරගෙන යෑමට පන්සලක් තිබුණේ නැත. ඒ වෙනුවෙන් ඔවුනට බොහෝ දුර ගෙවා ප්‍රකට ආගමික ස්ථානයකට යෑමට සිදුවිය. කලක් යන විට තම ගමේ ම පන්සලක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව ඔවුනට තදින් දැනෙන්නට වූයේ ය‍.

මේ කෙරෙහි විශේෂයෙන් උනන්දු වූ ගමේ තරුණයෝ සිය ගම් පෙදෙසෙහි හිමි කරුවකු ගේ බැල්මක් නොවැටුණු පාළු බිම් කඩක් සොයා ගත්හ.

අපි මෙතන එළි කරමු! අයිතිකාරයෙක් ඉන්නවනං එන්නෙ නැතෑ

තරුණයන්ට වැඩිහිටියෝ ද එක්වූහ.

එළිපෙහෙළි කරන ලද බිම් කඩෙහි මුලින් ම රෝපණය කරන ලද්දේ බෝ පැළයකි. එය හැඳීගෙන එන විට සම්මාදමින් උපයා ගන්නා ලද මුදලින් බෝධිඝරය තැනිණ. ඊට උචිත බුදු පිළිමයක් පින්වතකු ගෙන් ලැබිණ.

බුදු කුටිය ඉදිරිපස මලසුන තනන ලද්දේ උපාසිකාවක සිය කන කර උකස් කර ලබාදුන් මුදලිනි.

සියල්ලන්ගේ සහභාගිත්වයෙන් පළමු පහන් පින්කම පැවැත්විණ. එතැන් පටන් හැන්දෑ කාලයේ පූජා පැවැත්වීම ගම්මුන් ගේ චිත්තප්‍රීතියට ම හේතු විය.

කෙටි කලක් ගත වන විට ඝණ්ටා කුලුනක අවශ්‍යතාව ද දැනිණ. සුපින්වතකු ගේ ඉදිරිපත් වීමෙන් ඒ වුවමනාව ද සපිරිණ.

ඝණ්ටාරෙ මං පූජා කරන්නං තරුණයෙක් ඉදිරිපත් වූයේ ය. එය ද එසේ ම සිදුවිය.

දැන් බොහෝ දේ සම්පූර්ණ ය.‍ එතැන් පටන් දිනපතා හැන්දෑවේ පූජා පැවැත්වුණේ ඝණ්ටා නාදය මධ්‍යයේ ය.

මෙසේ ටික කලක් ගත වී ගියේ ය.

දිනක් බෝධිය පැත්තෙන් කලබලයක ලකුණු ඇසුණේ ය.

කිසියම් පිරිසක් එහි පැමිණ හදිසි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියහ.

විපත දුටු අසරණ ගම්මුන් කම්මුලේ අත ගසා ගනිද්දී තරුණයෝ දෙදෙනෙක් ඝණ්ටාව පූජා කළ තරුණයා සොයා දුව ගියහ.

අයියෙ, අන්න අයිතිකාරයො ඇවිත් අපේ බෝධිය කඩනව! ඔය ඇහෙන්නෙ අයිය පූජා කරපු ඝණ්ටාරෙ ගලෝන සද්දෙ. අයිය ගිහිං ඒක බේර ගන්ඩ! අපිත් එන්නං.

ඝණ්ටාව පූජා කළ තරුණයා කම්පාවට පත් වූයේ ය. අනතුරු ව ඔහු කෝපයෙන් පුපුරා ගියේ ය.

ඔහු උත්සාහයෙන් කෝපය පාලනය කර ගත්තේ ය. හිත සන්සුන් වන සැටි ඔහුට ම දැනිණ.

අනතුරු ව ඔහු කිසිත් නොවුණු ගානට තරුණයන් දෙදෙනා දෙස බලා සිටියේ ය.

අයියෙ යං. දැන් ම යං.

මල්ලිලා යන්ඩකො.

ඇයි ඔයා එන්නෙ නැද්ද?

මං ඝණ්ටාරෙ පූජා කළේ පිරිසිදු හිතෙන්. නමුත් දැන් ඒක පූජා කරල ඉවරයි. ඒ හින්ද මට ඒක අයිති නෑ. ඕක ආයිත් අයිතිකර ගන්න ගියොත් මගෙ හිත අපිරිසිදු වෙනව. ඒ හින්ද මම එන්නෙ නෑ. මල්ලිල යන්ඩ!‍

මේ එක් කතාවකි.

අනෙක් කතාව පහත ලියමි.

ප්‍රකට නුවරක කුඩා බිම් කඩෙක පන්සලක් ගොඩනැඟිණ. එහි හාමුදුරුවන් ගේ නිරන්තර උත්සාහයෙන් එය සංවර්ධනය වීමට පටන් ගත්තේ ය.

උන්වහන්සේ ගේ නොපසුබට වීර්යය කෙතරම් ප්‍රබල වී ද යත් එක්තරා කාලයක දී මෙය විචිත්‍ර චිත්‍ර හා මූර්ති ආදියෙන් අත්‍යලංකාර වූ විහාර කර්මාන්තයක් බවට පත් වූයේ ය.

ඉක්බිති මෙය නුවරුන් ගේ අවධානය දිනාගත්, වන්දනාමාන කළ යුතු ම ව‍ූ ප‍ුජ්‍යස්ථානයක් බවට පරිවර්තනය විය.

දිනක් මම මේ ඉදිරියෙන් බසයෙන් යනවිට දුටු දසුනින් පුදුමයට පත්වීමි.

පන්සල් බිමෙහි අලෙවි සල් කිහිපයක් බිහිවෙමින් තිබිණි‍‍. ඒවාට අදාළ පුවරු ද විය. එකක් මාංස අලෙවි හලකි‍. අනෙක කෙටි කෑම හදා විකුණන විවෘත තැනකි. ඒවා ඉතා ඉක්මනින් විවෘත කෙරෙන ලකුණු ද පහළ වී තිබිණ.

ඒ කිට්ටුම දිනෙක වෙනත් වෙහෙරක දී මට මේ පන්සලේ හාමුදුරුවන් මුණ ගැසිණ.

හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ පන්සල හරිම සුන්දරයි. ඒත් ඇයි අර අමුතු වෙ‍ෙළඳාමකට බැහැල? මම ඇසීමි.

මහත්තයො, මං හුඟක් මහන්සිවෙලයි පන්සල ඔය තත්ත්වෙට ගත්තෙ. ඔය මහත්තුරුන්ගෙ පෙරැත්තෙ හින්දම තමයි ඕව හැදුණෙ. අමතර ආදායමක් තිබුණොත් හොඳාලු. මගෙ නඩත්තුවටත් යමක් තියෙන්ඩ එපායැ මහත්තයො. ඕවයෙ විකුණන්ඩ යන්නෙ මොනවද කියලවත් මං දන්නෙ නෑ හාමුදුරුවෝ කීහ.

කඩ පෙළ විවෘත කෙරෙන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙත් මා එතැනින් ගිය ඊළඟ සතියේත් කඩ පෙළ විවෘතව නොතිබිණ.

ඊට කිට්ටු දිනෙක මහ පාරේ දී යළිත් මට හාමුදුරු වෝ් මුණගැසුණහ.

හාමුදුරු‍වනේ මම උන්වහන්සේ ළඟට ගියෙමි.

ආ මහත්තයො මං දිනුව! මං සේරම දේවල් අත්හැරල ශාසනේ මහණ වුණා නං මොකටද හිතට වහල් වෙන්නෙ? මං ඒ කඩපොළ වහල දැම්ම! උන්වහන්සේ කියා සිටියේ ජයග්‍රාහී ව ය.

මට උන්වහන්සේ කෙරේ පැහැදීමක් ඇති විය.

පාර අයිනේ පිච්චෙමින් තිබූ වැලි ගොඩේ ම දණ ගසා මම උන්වහන්සේට වැන්දෙමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »