දෙමලිති පැටවා

2016-04-05 10:55:00       724
feature-top
සිදු වී තිබුණේ පුදුමයකි. දෙමලිති පැටවකු හැන්දෑවේ ගෙට වැටී තිබිණ.

අපේ පුංචි දරුවනට මෙය සොඳුරු ප්‍රහේලිකාවක් විය.

කොහොමද අම්මෙ ඌ ගෙට වැටුණෙ? දියණිය ඇසුවාය.

කූඩුව හුළඟට ගහගෙන යන්න ඇති. එතකොට ජනේලෙන් ගෙට වැටෙන්න ඇති මම කීමි.

ඒ කොහොමද කූඩුව ගහගෙන යන්නෙ? පුතු ප්‍රශ්න කළේය.

තද හුළඟක් ආපුහම එහෙම වෙන්න පුළුවන්නේ

සමහර විට කාක්කෙක් වගේ වස සතෙක් ඇවිත් කූඩුව කඩන්න ඇති. එතකොට ඌ බයවෙලා එළියට පනින්න ඇති. එතකොට කාක්ක ඌව අල්ල ගන්න හදන්න ඇති. එතකොට ඌ අපේ ගෙට රිංගන්න ඇති

එහෙම වෙන්නත් පුළුවන්

පොඩි වුන් අසන දේවලට පිළිතුරු සොයමින් මම පැටවාට කිරි පොදක් පොවන්නට උත්සාහ ගතිමි.

අම්මෙ අපි මෙයාව හදා ගම්මු!

මෙයා තාම පුංචි වැඩියි පුතේ. තවම මෙයාට කිරි ටික හරියකට බොන්නත් බෑ. ඒ හින්ද අපිට මෙයාව හදාගන්න අමාරුයි. හරියට ඔයාලට මං නැතුව ඉන්න බෑ වගේ මෙයාටත් එයාගෙ අම්මව නැතුව බෑ. ඒ හින්ද අපි මෙයාව එයාගෙ අම්මට දෙමු.

එදින රැයේ අපි පැටවා රෙදි පොටක ඔතා කූඩයක බහා කුස්සියේ තැබුවෙමු.

පසු දින උදේ මම යළිදු කුස්සියට වැදුණෙමි. පැටවාට නින්ද ගොස් තිබිණ.

ටිකකින් දරුවෝ හොඳ ආරංචියක් රැගෙන කුස්සියට දිව ආහ.

අම්මෙ, පැටියගෙ අම්ම ඇවිත්, එයා අපේ ගේ දොරකඩටම ඇවිත්! දූ කීවා ය.

අම්මෙ පැටියගෙ අම්ම පැටියව හොයනව. චික් චික් ගගා එහාට මෙහාට පනිනව. අපේ ගේ දිහාත් බලනව පුතු කීවේ ය.

අනේ අම්මෙ ගිහින් බලමු! දුව මගේ අතින් ඇද්දා ය.

අනේ දුවේ අම්ම දැන් උයන වෙලාවනේ. තාත්තට කියන්නකො

තාත්ත නානවනේ, ඔය ඇහෙන්නෙ බාත් රූම් එකේ එයා නාන සද්දෙ

එහෙනං අපි මෙහෙම කරමුයි කී මම කුරුලු පැටවා සිටි කූඩය ඔසවා ගෙන ගොස් ගෙයි දොරකඩ කිට්ටුවෙන් සාලයේ තැබීමි.

දැන් ඔයාල ඔහොම බලාගෙන ඉන්න අම්ම ඇවිත් එයාව අඬගහගෙන යයි කියමින් මම යළි කුස්සියට ගියෙමි.

අම්මෙ, අම්මෙ පැටියගෙ අම්මත් සාලෙට ආව පුතු දුවගෙන විත් කීවේය.

අම්මෙ අම්මෙ, පැටියත් දැන් ටික ටික අම්ම ළඟට යන්න හදනව දුව ද දුවගෙන විත් කීවා ය.

දැන් අම්ම පැටියව අරගෙන ඉගිළිලා යයි නේද අම්මෙ?

ඔව් මොකද කරන්නෙ කියල ඔහොම බලාගෙන ඉන්නකො කියමින් මම යළි කුස්සියට ආවෙමි. එහෙත් දරුවන්ගේ පෙරැත්තය නිසා ගෑස් ළිප නිවා දමා නැවත ඔවුන් වෙත ගියෙමි.

සිදු වූයේ නොසිතූ දෙයකි.

කොහෙදෝ සිට පැමිණ බළල් තඩියෙක් කුරුලු පැටවා ඩැහැගෙන යන්නේය. කිරිල්ලිය ද බළලා පසුපස ඉගිළ ගියා ය. අපිදු කෑගාගෙන මිදුලට පැන්නෙමු.

දරුවෝ මහ හඬින් හඬන්නට තියා ගත්හ. මම ද ඒ මොහොතේ දරුවකු සේ කෑ ගාන්නට වීමි. නාමින් සිටි සැමියා බියපත් වී තෙත ඇඳුම පිටින්ම එළියට දුව ආවේය. අපේ කෑ ගැසිල්ල කෙතරම් ප්‍රබල වී ද යත් අසල්වැසියෝ ද දුව ආහ.

අපි සිදු වූ දේ අසල්වැසියනට කීමු, ඔවුහු ද දුකට පත් වූහ.

අනේ තාත්තෙ අපි පැටියව බේරගම්මුකො අනේ දරුවෝ නාහෙන් අඬන්නට තියා ගත්හ.

බළලකුට අසු වූ කුරුලු පැටවකුට සිදුවන දේ වැඩිහිටි අපට සිතා ගත හැකි වුවද එය දරුවනට නොකිව හැකි ය.

මේ තත්ත්වය තේරුම් ගත් සැමියා දරුවන් අස්වසන්නට යාබද බඩවැටිය පැත්තට ගියේ මං පැටියව කොහොමහරි බේරගෙන එන්නං කියමිනි.

මම ද ඔහු පසුපසින් මඳ දුරක් ගියෙමි. බඩවැටියට රිංගන්නට පෙර සැමියා මදෙස බැලුවේ කනගාටුවෙනි.

පැටියට වෙච්ච දේ මෙයාල දැන ගත්තොත් දවස් ගාණක් යනකං අඬයි. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනව. ඔයා එයාලත් එක්ක ගෙට යන්ඩ. මං කො‍හොමහරි පැටියව හොයාගෙන එනව කියන්ඩ

මම දරුවන් ද රැගෙන යළි කුස්සියට වැදුණෙමි. දරුවෝ පියා කුරුලු පැටියා බේරාගෙන එන හැටි දකින්නට ජනේලයෙන් පිටත බලා සිටින්නට වූහ.

අසල්වැසියෝ ද විසිර ගොස් සිටියහ.

ටිකකින් අසල්වැසි වියපත් මවක් අපේ දරුවන්ගේ කඳුළ පිසලන සුබ ආරංචිය රැගෙන ආවාය.

අනේ දරුවනේ, ඔයාල දුක් වෙන්න එපා! අන්න දෙමලිති අම්ම බළලට කොටල කොටල පැටියව බේරගෙන පැටියත් එක්ක අර අඹ අත්තට ගියා. ඊට පස්සෙ දෙමලිති රෑනක් ආව. උන් සේරම පැටියව වටකරගෙන ඉගිල්ලිලා යන්න ගියා. බළලට යස වැඩේ වුණේ. මං ඔය බළලට හොඳ වැඩක් කරන්නංකො

ඒ කතාව ඇසු දරුවෝ මහත් සේ සතුටට පත් වූහ. එය මට ලොකු සැනසීමක් විය.

වැඩිහිටි කත ද සමුගෙන ගිය පසු සැමියා බඩවැටියෙන් මෙපිටට එනු දුටු මම ඔහු වෙත ගියෙමි.

ඉන් පසු මම ඒ වන විටත් ඔහු නොදැන සිටි ආරංචිය ඔහු ගේ කනේ තැබුවෙමි. ඒ ඇසූ ඔහුගේ මුහුණ එළිය වී ගියේය.

තාම මම උත්තරයක් හොයනව. උන්දැ අපූරු උත්තරයක්නේ හොයාගෙන තියෙන්නෙ.

ඒක බොරුවක් ද?

ඇයි ඔයාටත් තේරෙන්නැද්ද?

ඒ වුණාට ඇහින් දැක්ක වගේනෙ කිව්වෙ

ඔව්, බොරුව හරි රසවත්නේ. කොහොම වුණත් දරුවන්ගෙ හිත හදපු එක තෑගි දෙන්න ඕනැ වැඩක් ඔහු කීවේ සතුටිනි.

මම යළි කුස්සියට ආවෙමි. මගේ හිත දුකින් පිරී තිබිණ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »