පසමිතුරු මිතුරා

2016-04-04 10:34:00       723
feature-top
දිනක් මම මිතුරකු සමඟ යුද්ධය ගැන කතා කරමින් සිටියෙමි.

ඒ වන විට යුද්ධය සරුවට කෙරෙමින් තිබිණි.

හමුදා සෙබළුන් යෙදවීම නිසා සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතුවලට අවහිරතා සිදු වනවා පමණක් නොව හමුදා සෙබළුන් සමූහයක් දැකීමෙන් සාමාන්‍ය ජනතාව බියට පත් වන බව ද මම කීමි.

මගේ අදහසට මිතුරා තදින්ම විරුද්ධ වූවා පමණක් නොව ඉන් කෝපයට ද පත් වූයේය.

අවශ්‍යතා අනුව ජනතාව අතරට හමුදාව යෙදවීම සාධාරණයැයි කී හෙතෙමේ ඉන් සිදු වන කරදර හිරිහැර ඉවසා දරා ගැනීමට ජනතාව පුරුදු විය යුතු යැයි ද කීවේ ය.

ඔහු අනවශ්‍ය ලෙස ආවේගයට පත්ව ඇති බව තේරුම් ගත් මම කට වසා ගත්තෙමි.

ඉන් පසු වසර ගණනාවක් ගත වන තුරු අප අතර හමුවක් නොපැවතිණි. ඈත තියා දුටු විට ද එකිනෙකා මඟ හැර යෑමට අපි පරිස්සම් වීමු.

දිනක් හිටි හැටියේ ඔහු මා අමතා අත්‍යවශ්‍ය හදිසි කටයුත්තකට මා හමුවනු පිණිස මගේ මාධ්‍ය කාර්යාලයට එන බව කීවේ ය. මම එන්නැයි කීමි.

ඔහු ආ හැටියේම සිය දුක්ගැනවිල්ල කියන්නට වූයේය.

අපේ ගමට හමුදාව දාල! පාරවල්වලයි ගෙවල් වටෙයි බලන බලන තැන්වල සොල්දාදුවො තුවක්කු අරන් ඉන්නව! එළියට බහින්න බෑ, කඩේකට යා ගන්න බෑ, ප්‍රශ්න කරනව! නිදහසක් ඇත්තෙම නෑ. මේක මහ හිරිහැරයක්. මේ කරදරේ ගැන ලොකු ලොක්කන්ට අවබෝධයක් ලැබෙන විදිහට බැරි ද ලියන්න? ඔහු මගෙන් ඇසුවේය.

මට කාරණය අවබෝධ විය. ඔහු ගේ ගම් ප්‍රදේශයේ ජනතාව ජල ප්‍රශ්නයක් හේතුකොට ගෙන පෞද්ගලික කර්මාන්ත ශාලාවක් සමඟ ගැටෙන්නට පටන් ගෙන තිබිණි. තත්ත්වය බෙහෙවින් උණුසුම් වී ඇති බැවින් හමුදාව යොදවනු ලැබ තිබේ.

ඔහු සිටියේ මා දෙස තියුණු බැල්මක් හෙළා ගෙනය. මම මුවෙහි නැඟුණු සිනාව යටපත් කරගෙන ගොළු වත රැක්කෙමි.

ඒ ගැන ලියන්න බැරි ද? බැරිනං මොකක්ද හේතුව? ඔහුගේ වදන් තියුණු විය.

මම ඔහුට අතීතය සිහිපත් කළෙමි.

යාළුව, ඔයාට මතකද මීට කාලෙකට ඉස්සර මේ ප්‍රශ්නෙ ගැන අපි කතා කරපු වෙලේ ඔයා කියපු දේ! සාමාන්‍ය ජනතාව අතරට හමුදාව යෙදවීම ප්‍රශ්නයක් නෙමේ කියලනෙ ඔයා කිව්වෙ?

ඒ එහෙ. මේ මෙහෙනෙ ඔහු ගත් කටටම කීවේය.

එහෙ - මෙහෙ කියල දෙකක් නෑ. දෙකම එකයි. හැමෝම සාමාන්‍ය ජනතාව. හිරිහැර, කරදර කාටත් එකයි මම කීමි.

ඒකෙන් වැඩක් නෑ. ඒ කියන්නෙ උඹ අපේ ප්‍රශ්නෙ ගැන ලියන්නෙ නෑ! එහෙම ද?

එහෙම දෙයක් නෑ. මම ඒ ගැන හොයල බලල ලියන්නං. මං කියන්නෙ ඔයාගෙ කතාව වැරදියි කියන එකයි උන්ට වෙනකොට කමක් නෑ. හැබැයි අපිට එහෙම වෙන්ඩ බෑ! කියලනේ ඔයා කියන්නෙ. ඒක හරි ද?

ඒ කතාවෙන් වැඩක් නෑ. උඹට ලියන්ඩ බැරිද කියපං! ඔහු නැගිට්ටේය.

මං එදා උං ගැනත් ලිව්ව, මෙදා මුං ගැනත් ලියන්නං. හැබැයි මෙතන තියෙන්නෙ මගෙ ලියවිල්ලෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගෙ සිතුවිල්ලෙ ප්‍රශ්නයක් මම අවධාරණය කළෙමි.

ඔහු යන්නට ගියේය.

මම මගේ සමාජ වගකීම ඉටු කළෙමි. මා ලියූ දේ ඔහු කියැවූවා දැයි මම නොදනිමි. එහෙත් ඉන් පසු ඔහු ගෙන් ප්‍රතිචාරයක් නම් නොවීය.

දැනුදු ඉඳ හිට ඔහු මට හමු වෙයි. එවිට ඔහු නොදුටුවා සේ යන්නට යයි.

දැන උගත්කම් ඇති උදවිය මේ සා ආත්මාර්ථකාමී වීම, මේ සා ආධානග්‍රාහීවීම මට නම් මහා ගැටලුවකි.
 

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »