කුසගින්න අපිටත් දැනෙනවා පුතේ....

2016-03-23 10:48:00       728
feature-top
දිවා අහරින් පසු මම පොතක් කියවන්නට වීමි.

පුතේ, අනේ ටිකකට එන්නකෝ මවගේ හඬ ඇසිණි.

මම ඇය වෙත ගියෙමි.

අනේ පුතේ, ඉල්ලගෙන කන කෙනෙක් ඇවිත් කෑම ටිකක් ඉල්ලනව. බඩගිනියිලු! මාළුපිණි නං තියනවා. ඒත් බත් තමයි ඉවර අම්මා කීවා ය.

වියපත් යාචකයෙක් දොරටුව ළඟ සිටියේ ය. ඔහුගේ ආයාචනාත්මක බැල්ම මා සසල කර දැමුවේ ය.

අම්ම ටිකකට ඔහොම ඉන්නකෝ යි කී මම යාබද ගෙදරට ගියෙමි.

එහි පදිංචිව සිටියේ ආගන්තුක යුවළකි. සෙනසුරාදා දිනයක් වූ බැවින් දෙදෙනා ම සිටියහ.

මම පහත් හඬින් කාරණය කීමි.

බත් නං තියනවා. කන්න දීල පුරුදු කර ගත්තම දිගටම එන්න පටන් ගනී. එතකොට හරි කරදරේ සැමියා කී දේ බිරිය ද හිස සලා අනුමත කළා ය‍.

එහෙම කියන්න එපා! පව්නේ! යාචකයා වෙනුවෙන් මම ද මොහොතකට යාචකයකු වීමි.

කාල ඉවරයි කියල ඔන්න ඔහෙ යන්න අරින්න බිරිය කීවා ය.

මම අසරණ වී ආපසු ගෙදර ආවෙමි.

මා කී දේ අසා අම්මා කම්මුලේ අත ගසා ගත්තා ය.

අම්මෙ, අපි මේ බිස්කට් ‍‍ටික අර අත්තට දෙමු පව්නේ!

ඒ මා පුංචි පුතුගේ හඬ ය. මෙතුවක් වේලා ඔහු සාලයේ සෙල්ලම් කරමින් සිට ඇත්තේ සිදුවන දේ ද නිරීක්ෂණය කරමිනි.

පුතු බිස්කට් ටින් එක ගෙනැවිත් මට දුන්නේ ය.

මේක බිස්කට් කන වෙලාවක් නෙවේනේ පුතේ. මම ඔහුගේ හිස අත ගා මව දෙස හැරුණෙමි.

අම්මෙ, මං ඉක්මනට කඩේට දුවල එන්නං. මේ අත්තට මං එනකං යන්න දෙන්න එපා! කියාගෙන මම බයිසිකලයට නැඟුණෙමි‍.

කඩේ බත් තිබිණි. ඉන් පාර්සලයක් මිල දි ගත් මම වහා ආපසු ආවෙමි.

බත් පත ලද යාචක තෙමේ එය නොඉවසිල්ලෙන් කන්නට වූයේ ය. වතුර ටිකක් ද බිව් ඔහු පිටත්ව ගියේ අපට පින් දීමෙන් ද පසුවයි.

අර යුවළ කී පරිදි යාචකයා අපේ ගෙදර එම පුරුද්දක් කර ගන්තේ නැත. කොටින් ම ඔහු ඉන්පසු ආවේ ද නැත‍.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »