ඇය සියුම් හැඟීම් ඇත්තියකි

2016-03-21 09:58:00       724
feature-top
හෝඩියේ පන්තියට ඇතුළු කරන ලද දා පටන් අපේ දෝණියන්දෑට ඇත්තේ ලෙහෙසි - පහසු ප්‍රශ්න නොවේ. ඇය නොයෙක් දුක්ගැනවිලි කියයි. හඬයි. පාසල් යෑමට බෑ කියයි. යනවා නම් අප ද ඇය සමඟ ආ යුතු බව කියයි.

මේ නිසා බොහෝ විට ඇය සමඟ අපට ද පාසල් යෑමට සිදු වෙයි.

දිනක් පාසලේ ලොකු ළමයින්ගේ ක්‍රීඩා තරගයක් තිබිණි. ඇය එය නැරඹීමේ ආශාවෙන් පසු වූවා ය. අපි ඇය කැඳවාගෙන ගියෙමු. එහෙත් ඇයට අවශ්‍ය වූයේ පාසලට යාබදව පිහිටි කන්ද උඩ සිට එය නැරඹීමට ය.

කන්ද පාසලට වඩා උස ය. අපි අමාරුවෙන් කන්ද නැඟ පාසල් මිදුල හොඳින් පෙනෙන තැනකට ගියෙමු.

ක්‍රීඩා තරග ඇරඹී තිබිණි. ලොකු පිරිසක් එය නරඹමින් සිටියහ.

කෝ අපේ ටීචර්? ඇය පිරිස දෙස බලමින් සිය ගුරුතුමිය සෙව්වා ය.

ටීචර් ඔය කට්ටිය මැද්දෙ ඇති

එහෙනං ටීචර්ට මාව පේනව ඇති නේද තාත්තෙ.

ඔව් දුවේ පේනව ඇති.

ඇය පහත පෙනෙන පිරිසට පෙනෙන්නට සිය දෑත වැනුවා ය.

කෝ ටීචර් මට අත වනන්නෙ නෑනෙ. අනේ තාත්තෙ ටීචර්ට කියන්ඩකො මං මෙතන ඉඳන් ටීචර්ට අතවනනව කියල ඇය ඇවිටිලි කරන්නට වූවා ය.

මට බැරිම තැන ගුරුතුමියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඒ බව කීමි.

ටික වෙලාවකට පසු ගුරුතුමිය කන්ද නැඟ අප අසලට ආවේ හති දමමිනි. මොහොතක් නිහඬව හති හැලූ ඇය මහන්සිය ඇරුණු පසු දියණිය ව‍ඩාගෙන හුරතල් කරන්නට වූවා ය.

වැඩි දවසක් නොගියේ ය. අප දියණිය අසනීප වූවා ය. එහෙයින් ඇයට දින කිහිපයක් පාසල් යෑමට නොහැකි විය.

පුදුමයකට මෙන් සති අන්තයේ දිනෙක ගුරුතුමිය අප නිවෙස සොයා ගෙන ආවා ය.

බස් දෙකක නැඟී සැලකිය යුතු දුරක් පැමිණ සිටි ඇගෙන් පළ වූයේ වෙහෙසකි. අපි ඇය මහත් උණුසුමින් පිළිගතිමු.

දූ බලන්ඩයි ආවෙ‍ ඇය ගෙනා කැවිලි - පෙවිලි පසෙක තබන ගමන් දුවණියට හිනාවක් පෑවා ය.

ඒ වනවිට අප දියණියට සනීප වී තිබිණ. ඇය ද සිය ගුරුතුමිය වෙත සමීප වූවා ය. ගුරුතුමිය ඇය ළඟට ගෙන හුරතල් කළා ය.

ගුරුතුමිය කෙරෙහි අප සිත් තුළ ඇති වූයේ මහත් ගෞරවයකි‍. අපි අවස්ථාවේ හැටියට ඇයට අපට හැකි මට්ටමින් සැලකීමු. ඇය ද සතුටින් අප සංග්‍රහය බුක්ති වින්දා ය.

ගුරුතුමිය පන්තියේ හැම දරුවාට ම මෙබඳු සෙනෙහසක් දක්වන්නී ද? ‍එසේ නැත්නම් ඇයි අප දියණියට විශේෂයක්?

අප සිත් කියැවූවාක් මෙන් ඇය ඒ රහස හෙළි කළා ය.

ඇයට ලොකු දරුවෝ සිටිති. සමහරු රැකියා කරති. මේ අතර එක් දියණියක් සිය පාසලේ ගුරුවරයකුගේ පහර දීමක් හේතුවෙන් පාසල් යෑම හොර කළා ය. කෙසේ හෝ යාප්පුවෙන් ඇය පාසල් යවන ලද්දේ තීරණාත්මක විභාගයක් අත ළඟ තිබූ නිසා ය. විභාගය සමත් වූ පසු ඇය වෙනත් පාසලකට ඇතුළු කරන ලදී. ඇය කලක් එහි හොඳින් ඉගෙනුම කරගෙන ගියා ය. එහෙත් දිනක් එක්තරා ගුරුවරයෙකු ඇයට ටොක්කක් ඇන තිබිණ. ඒ ටොක්ක නිසා ඇගේ ඉහළ අධ්‍යාපනය මුළුමනින් ම ඇන හිටියේ ය.

ඇය සියුම් හැඟීම් ඇත්තියකි. පළමු ගුරුවරයාගේ පහරින් මහත් සේ තැවුලට පත්ව සිටි ඇයට දෙවන ගුරුවරයාගේ පහර කිසිසේත්ම ඔරොත්තු දු‍න්නේ නැත. දැන් ඇය සියල්ල ප්‍රතික්ෂේප කරමින් ළතැවුලින් හුදෙකලා වී සිටින්නීය‍.

ගුරුතුමියගේ මේ හෙළිදරව්වෙන් අපි සැලී ගියෙමු.

මමත් අම්ම කෙනෙක්නේ. මගෙ දරුව විඳින වේදනාව මං දන්නවනේ. ඒ වගේ වේදනාවක් තවත් දරුවෙක් විඳින්නට දකින්ඩ මං කැමැති නෑ. මේ දුවත් මගෙ දුව වගේම සියුම් හැඟීම් තියන කෙනෙක්. ඒ අය පුංචි දේකින් හුඟක් සතුටට පත් වෙනව වගේ ම පුංචි දේකින් හුඟක් දුකටත් පත් වෙනව. අපි ගුරුවරු විදිහට ඒක තේරුම් ගන්ඩ ඕනෑ. ඒකයි මං නිතරම මේ දූ‍ෙග හිත හදන්න උත්සාහ කරන්නෙ.

ඇය අප දියණිය තුරුලට ගෙන ඇගේ හිස පිරිමඳිමින් කීවා ය.

මම තෙත් වී ගෙන ආ දෑස වහා වෙනතක හරවා ගතිමි.
 

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »