නිහතමානී මිතුරා

2016-03-14 10:29:00       724
feature-top
අප විශ්ව විද්‍යාලයට ඇතුළු වි ගතවෙමින් තිබූ දෙවැනි සතියේ දේශන ශාලාවේ ඉදිරි අසුන් පෙළෙහි ඇති වූ සිද්ධිය ජීවිතයට ම අමතක නොවන්නකි.

එක්තරා සිසුවෙක් ඉදිරි අසුන් පෙළ තම යෙහෙළියනට වෙන්කර ගෙන සිටියේ සෙස්සන්ට එහි හිඳ ගැනීම වළක්වමිනි. ඔහු වූ කලි කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් ආවෙකි. ඔහු අසුන් වෙන් කරගෙන තිබුණේ කොළඹ එබඳු ම බාලිකාවකින් ආ සිසුවියන් වෙනුවෙනි.

මේ අසාධාරණය වෙනුවෙන් නොබියව එහෙත් තනිවම ඉදිරිපත් වූයේ හැඩිදැඩි පෙනුමැති එක්තරා සිසුවෙකි.

අර සිසුවා අසුන් පෙළ මත තබා තිබූ පත පොත පසෙක ලූ හෙතෙමේ එන්ඩ එන්ඩ! ඇවිත් මේවයෙ ඉඳගන්ඩ! යි සෙසු සිසුනට ප්‍රසිද්ධියේ ම ඇරියුම් කළේ ය.

මේ රැඩිකල් කටයුත්ත මගේ සිත් ගත්තේ ය. මම වහා ම ඔහු ළඟට ගොස් හිඳ ගතිමි.

බලන්ඩකො මේක කොච්චර අසාධාරණ වැඩක් ද කියල. ඒගොල්ලො කොළඹ ලොකු ඉස්කෝලවල හින්ද පුටුත් වෙන්කරගන්ඩ හදනව! ඔහු මට කීවේ ය.

අපගේ මිතු දම ගොඩනැගුණේ එතැන් සිට ය.

පළමු වසර ගෙවී ගියේ ය.

ඔහු සිය විශේෂ උපාධියේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පේරාදෙණියට මාරු වී ගියේ ය.

ගතින් වෙන් වුව ද අපේ මිතු දම හිත්වල වෙළී තිබිණ.

උපාධිය ලබා ගැනීමෙන් පසු මම ගුරු වෘත්තිය රැකියාව කොට ගතිමි.

කාලය ගෙවී ගියේ ය.

කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහලෙහි සේවය කරමින් සිටි මට පාපන්දු භාරකාරත්වය ලැබිණ. දිනක් මම ක්‍රීඩා භාර ප්‍රධානාචාර්යවරයා සමඟ ක්‍රීඩා කටයුතු ගැන කතා කරමින් විදුහලේ එළිමහනේ සිටියෙමි.

ජාතික ඇඳුමැති උස මහත තැනැත්තකු අප කරා එමින් සිටිනු ඈත තියා ම මම දිටිමි. ඔහු ගේ ගමන තේජාන්විත ය. පයෙහි සෙරෙප්පු දෙකක් හෝ නොවී ය. මුවෙහි වූයේ නිහතමානි සිනාවකි.

මා සිත පිනා ගියේ ය. මම ඔහු හඳුනා ගතිමි.

ගයා මේකෙ උගන්නනව කියල මං දැන ගත්තෙ ළඟදි. ඉතින් කොහොම ද? ඔහු සිනාසුණේ ය.

මිතු දම අලුත් වී අපේ සිත් මිහිරියාවෙන් පිරී ගියේ ය.

කෙටි සතුටු සාමිචිය නිමා කර ඔහු සමුගෙන යන්නට පෙර මම ඔහුට යෝජනාවක් කළෙමි.

අපේ ඉස්කෝලෙ උසස් පෙළ වාණිජ පන්තිවල ළමයින්ට ගණකාධිකරණය ගැන යමක් කියල දෙන්ඩකො. ඒ ආරාධනාව මං මෙතෙන්දිම කරන්ඩ ද?

හොඳයි මට දිනයක් දන්වන්ඩ! ඔහු ඒ ආරාධනාව පිළිගත්තේ ය.

මමිතුරා සමුගෙන ගිය පසු එතෙක් අපේ මිතුරු හමුව දෙස විමසිලිමත්ව සිටි ක්‍රීඩා භාර ප්‍රධානාචාර්යවරයා යළි මවෙත හැරුණේ ය.

සර්, ඒ ආව කෙනා ව්‍යාපාරිකයෙක් ද?

නෑ

එහෙනං මන්ත්‍රී කෙනෙක් ද? මොකද නැෂනල් එකක් ගහල සෙරෙප්පුත් නැතුවනෙ හිටියෙ.

ඒ කවුද දන්නව ද? ඔඩිටර් ජනරාල්. ආණ්ඩුවෙ විගණකාධිපති. එයා මගෙ බැච්මේට් කෙනෙක්.

ඔහු පුදුමයෙන් මුව අයා ගත්තේ ඒ වගෙ කෙනෙක් කියල හිතා ගන්ඩවත් බෑනෙ. හරි නිහතමානි කෙනෙක්නේ යි කියමිනි.

මිනිස්සුන්ව ඇඳුමෙන් මනින්ඩ බෑනේ සර්, බලන්ඩකො මහත්මා ගාන්ධි දිහා. මෙයත් ඒ වගේ කෙනෙක් තමයි.

සැබවින් ම මා මිතුරා ශ්‍රේෂ්ඨ බව ඇඳුමින් නොව ක්‍රියාවෙන් ද ඔප්පු කර ඇත. ඔහු සිය සේවා කාලයේ දී උස් පහත් භේදයෙන් තොරව කාටත් එක ලෙස සැලකුවේ ය. කාගේත් ලෙඩට දුකට බැලුවේ ය. කීවත් නොකීවත් ඕනෑම අයකුගේ මළ ගෙදරක ගොස් දුක බෙදා ගත්තේ ය. උදව් උපකාර වුවමනා තැන සොයා බලා කළේ ය. මිනිස්කම අගය කළ ඔහු වැරැද්ද දුටු තැන නොබියව නිවැරැදි කළේ ය.

ඔහු පාර්ලිමේන්තු ගියේ ද සෙරෙප්පු නොදමා ය.

දැන් ඔහු සමාජ සත්කාර්යයන්හි නියැළෙමින් සිය විශ්‍රාමය අර්ථවත් ව ගත කරමින් සිටියි.

නිහතමානී මිතුරාණනි, ඔබට යහපත සැලසේවා!

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »