නොබිඳුණු සෙනෙහස

2016-03-09 11:03:00       724
feature-top
මගේ මිතුරාගේ බාල දූ ඉගෙන ගන්නේ පළමු වසරේ ය.

කේන්ති ගිය විට අතට හසුවූ දෙය පොළොවේ ගැසීම ඇගේ සිරිත ය.

බොහෝ විට ඇයට පොළොවේ ගසන්නට අසුවන්නේ ප්ලාස්ටික් පිඟන් කෝප්ප, සෙල්ලම් බඩු ආදිය නිසාත්, එයින් සිදු වන පාඩුව එතරම් විශාල නොවන නිසාත් ගෙදර අය ඇගේ කේන්තිය ගණනකට නොගත්හ.

ඊයේ පෙරේදා මෙසේ කේන්ති ගොස් ඇය පොළොවේ ගැසුවේ සිය මවගේ වටිනා ස්මාට් ෆෝන් එක ය. එය කැබැලි බිඳී සුනු විසුනු වී ගියේ ය.

ඒ දුටු මව විමතියෙනුත්, බියෙනුත් සලිත වී ගියා ය. එහෙත් ඇය කටක් ඇර සිය දියණියට දොසක් නොකීවා ය.

ජංගම දුරකථනය බිඳී විසිරී ගිය නිමේෂයේ පැවතියේ පුදුම හිතෙන තරමේ නිහඬතාවකි.

ටිකකින් මව දූ ඇමතුවා ය.

චූටි දූ ඔයා ෆෝන් එක පොළොවෙ ගහල කඩල දාපු එක එක අතකින් හොඳයි. මොකද එතකොට ඔයාට හිතෙන - හිතෙන වෙලාවට අම්මට කරදර කරන්න බැරුව යනවනෙ. එතකොට අම්මට එයාගෙ පාඩුවෙ ඔෆිස් එකේ වැඩ කර ගන්න පුළුවන් වෙනවනෙ. ඒ තියා ඔෆිස් එකේ ෆෝනුත් ගෙදර වැඩවලට පාවිච්චි කරන්න බෑනෙ. ඔයා කරපු දෙයින් අම්මට කරදර හුඟක් අඩු වෙනව. හැබැයි ඉතින් ඔයාට අම්ම එක්ක කතා කරන්න පුළුවන් වෙන්නෙ අම්ම වැඩ ඇරිල ගෙදර ආවට පස්සෙයි. ඒ හින්ද ඔයා ෆෝන් එක කඩල දාපු පාඩුව අම්මට නෙමෙයි, ඔයාටයි.

මව සිය කඳුළ පිස දා ගත්තා ය.

ගල් ගැසී මව දෙස බලා සිටි දියණිය හෙමිහිට මේසය ළඟට ගියා ය. ඒ මත මාරු කාසි කිහිපයක් විය. ඒවා දෝතට ගත් දියණිය බිම බලාගෙන දුකෙන් සිටි මව වෙත ආවා ය.

අම්මෙ ආ..., මේ සල්ලිවලින් ඔයාගෙ ෆෝන් එක හදා ගන්න! දියණිය මාරු කාසි ටික මවට දිගු කළා ය.

කාසි තබා මසුරන් දුන්න ද සුනු විසුනු වී ගිය දුරකථනය යළි පිළිසකර කර ගත නොහැකි ය. පුංචි දැරියට එය නොවැටහේ. මව ඒ වන විටත් ඒ කෙරෙහි තිබූ ආසාව හිතින් අයින් කරගෙන තිබුණා පමණක් නොව කෙසේ හෝ අලුත් ෆෝනයක් ගැනීමට ද තීරණය කර තිබිණ.

දියණිය කාසි දෝත පාගෙන සිටිනු දුටු මවට දුක සිතිණ.

හොඳයි මං ඔය සල්ලිවලින් ඒක හදා ගන්නංකො

මව විසිරී තිබුණු කැබැලි එකතු කරන්නට වූ විට දියණිය ඇගේ ඇ‍ඟේ එල්ලුණා ය.

අම්ම ඕක හදා ගත්තට පස්සෙ මං කවදාවත් ඒක පොළොවෙ ගහන්නෙ නෑ

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »