භූමි වාසනා

2016-03-07 10:11:00       723
feature-top
විලියම් ඉකුත් වසර විස්සක් තිස්සේ ළඟ පාත බේකරියක කම්කරු රස්සාව කරමින් ජීවත් වූයේ ටකරන් ගේ කෑල්ලක ය.

ගෙදර අය කුස පුරවා ගත්තේ ඔහු ඉපයූ දෙයිනි.

ගම් පළ‍ාතේ ඇඟපත වෙහෙසා වැඩ කරන ඇතැම් අය මෙන් ඔහු ද අඩියක් ගැසීමට පුරුදු ව සිටියේ ය.

ඊයෙ පෙරේදා විලියම්ලා පාරට වැටුණහ. හිටි ගමන් පැමිණි ආණ්ඩුවේ නිලධාරිහු පිරිසක් ටකරන් ගේ ඩෝසර් කර දමා විලියම්ලාට ඉඩමට ඇතුළුවීම ද තහනම් කළ හ.

මීට අදාළ ඉතිහාසයක් ද තිබේ. කලක පටන් ඉඩමේ අයිතිය ඉල්ලා නඩුවක් වැටී තිබිණි. නඩුව දා තිබුණේ ප්‍රදේශයේ සමූපකාර සමිතියකිනි. මුල දී නඩුවට ගිය විලියම් පසුව වැඩේ අල්ලා දමා තිබිණි. එහෙත් නඩුව කලක් තිස්සේ විභාග විණි. විලියම්ලාට උන් හිටි තැන් නැති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

අසරණ වූ විලියම්ලා සිය දියණිය ගේ පුංචි ගේ කෑල්ලට රිංගා ගත් හ. හැමදා ම එලෙස ජීවත් නොවිය හැකි බැවින් දිනක් ඔහු ස්වාමියා හමුවේ සිය දුක්ගැනවිල්ල දිග හැරියේ ය.

සේවකයා ගේ දුක්ගැනවිල්ලට ස්වාමියා සවන් දුන්නේ ය.

වැඩි දවසක් නොගියේ ය.

දැන් විලියම්ට ම හිමිකම ඇති කුඩා ඉඩම් කොටසක 28 x 26 ප්‍රමාණයේ දෙමහල් නිවෙසක් ඉදිවෙයි. විලියම් ගේ ස්වාමියා ඊට වැය කරන මුදල මිලියන දෙකකි.

ඉකුත් විසි වසර පුරා විලියම් තම ස්වාමියාට වැඩ කර තිබුණා පමණක් නොව ඔහු ගේ හිත ද හොඳින් දිනාගෙන තිබූ බව මෙහි සැඟව ඇති රහස බව කිව යුතු ය.

බේකරි හිමියා ගේ මානවවාදි ගුණය අපි ඉහළින් සමරමු.

මෙබඳු ස්වාමීන් වාසනාවක්!

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »