සුළු පිය වරුණ

2016-02-29 11:35:00       728
feature-top
මම හකුරු සාදමි.

සෑදූ හකුරු සුපුරුදු පාරේ යමින් කඩවලට දෙමි.

දිනක් මේ කියන කඩයට මා වැහි පොදේම ගොඩවූයේ එසේ යන අතර ය.

කඩේ දුවත්, පුතාත් මට හිතවත් ය.

ආ මාමෙ, වැස්සෙම ආවද? එන්න එන්න! හකුරු ටිකක් දෙන්න! ඔවුහු මා හිනාවෙන් පිළිගත්තා.

වෙළෙඳාම කැරුණ ද මට පාරට බැහැ ගන්නට බැරි වූයේ වැස්ස තද වූ නිසා ය.

කඩයේ පසෙක ආප්ප දාන තැනක් තිබේ. මම එතැන මේසය ළඟ තිබූ පුටුවකට ‍බර දුනිමි.

තරමක් වියපත් තැනැත්තෙක් ද මට යාබද පුටුවක හිඳ සිටියේ ය. බැලූ බැල්මට හැට ගණනක වයසක් පෙනිණි. ඔහු සිටියේ දෑතින් මුහුණ වසාගෙන ය.

මට කුහුලක් දැනිණි.

ඔහු සිටියේ හඬමිනි. ඔහු ඉදිරියේ තිබූ පුවත්පත මත කඳුළු වැටිණ.

මට දුක සිතිණි.

ඇයි මහත්තය අඬන්නෙ? මම ඇසීම.

ඔහු දෑතින් ම කඳුළු පිසදමමින් නැගිට යාබද කඩ කාමරයට ගියේ ය. ඔහු එහි නතර වී සිටිති යි මට හැඟිණ.

කඩ හිමිකාර පුතු මා අසලට පැමිණ හිඳ ගත්තේ මෙවිට ය.

අරයට මොකක් හරි කරදරයක් ද? මම ඔහුගෙන් ඇසීමි.

ඔය මාම හරිම හොඳ කෙනෙක්. එයාගෙ ගෙදර ලොකු ප්‍රශ්නයක් වෙලා!

එයා කලකිරිල කොහෙ හරි යන ගමන් තමයි මෙහාට ඇවිල්ල තියෙන්නෙ‍. එයා අපේ තාත්තාගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්. ඒ හින්ද අපි කිව්ව මාමෙ කොහෙවත් යන්න එපා! අපි ඔය කඩ කාමරේ අරගෙන දෙන්නං. ඒකෙ නවතින්න කියල. එයා ඉන්නෙ ලොකු දුකකින්. නිතරම අඬනවා. ඔහු පැහැදිලි කළේ ය.

මොකක් හෝ සැඟවුණ දෙයක් ඇතැයි මට සිතිණ.

කියන්න බලන්න අපිට උදව්වක් එහෙම කරන්න පුළුවන් දෙයක් ද කියල මම‍ ‍‍ඔහු පෙලඹීමි.

මෙවිට කඩහිමි පුතුගේ බිරිය ද අප අසලට ආවා ය.

ඔව් මාමෙ, ඒක ලොකු කතාවක්. අපි කෙටියෙං කියන්නංකො වෙලා තියෙන දේ ඇය ද කතාවට හවුල් වූවා ය.

දෙදෙනා කතාව කියන්නට වූයේ තරගයකට මෙනි.

වැස්සේ හඬ නිසා ඔවුන් කී දේ ඇසුණේ ද මට පමණි. වැස්ස නිසා මා හැරෙන්නට කිසිවකු එහි පැමිණ සිටියේ ද නැත.

ඔවුන් කී කතාව කෙටියෙන් මෙසේ ය.

කාමරයට ගිය තැනැත්තා ළඟ පළාතක කෙනෙකි. ඔහු වයසින් වැඩි බිරියකගේ ගෙදර බින්න බැස ඇත. ඒ වන විට ඇය දැරියන් තිදෙනකු‍ ගේ මවක වී සිටියා ය. ඔහු ඔවුන් සිය දරුවන් සේ සලකමින් වැඩුවේ ය.

තිබුණේ මැටි ගෙයකි. ඔහුගේ මහන්සියෙන් එය හොඳ නිවෙසක් බවට පත් විය. ඔහු රස්සාව කරමින් මේ පවුලට යුතුකම් ඉටු කළේ සැබෑ පියකු මෙනි.

ඔහුගේ බිරිය මුල සිට ම ඔහු එතරම් ගණන් ගත් බවක් පෙනෙන්නට නොවී ය. වැඩි මහලු දියණිය ද කුඩා කාලයේ පටන් සිය සුළු පියාට පරිභව කරන්නට පුරුදු ව සිටියා ය.

බිරිය අලුයම නැඟිටීමට හොර ය. අලුයම හතරට පමණ නැගිටීමට පුරුදු වී සිටි ඔහු ඔවුනට තේ වත්කර තබා, අහර පිසින්නට පටන් ගනියි. බිරිය අවදි වූයේ ඔහු අහර පිසින විට ය. ඔහු ඔවුනට කදිම සේවකයකු වී සිටිනා බඳු ය.

කෙසේ වුව ද මේ ජෝඩුව වසර තිස් ගණනක් පවුල් කෑහ.

බිරියත් පළමු දියණියත් ඔහුට රළු කම් ප‍ෑව ද ඔහු ඒවා ගණන් නොගෙන පවුලේ අඩුපාඩු පිරිමැසුවේ ය. දැරියන් ගේ ඉගෙනුම් වැඩ කෙරෙහි ඔහු දැක්වූයේ ලොකු උනන්දුවකි. ඔහු ගේ අත හිත දීමෙන් ඉහළට ඉගෙන ගත් දෙවැන්නිය ඔහුට ද නොකියා රහසේ පැන ගියා ය. ඔහු ඇය කෙරෙහි බිඳුණු සිතින් පසුවුව ද ඇයට දරුවකු ලැබුණු පසු හැකි පමණින් උදවු උපකාර කරන්නට පටන් ගත්තේ ය. ඒ අතර වැඩිමලියට ද රැකියාවක් සොයා දුන්නේ ය.

ඔහු බාල දියණියගේ ඉගෙනුමට වියදම් කළේ මහත් බලාපොරොත්තු ඇතිව ය. ඇය කැම්පස් ගියා ය. එහෙත් පෙම් හුටපට නිසා ඒ ගමන වෙනස් විය. ඔහු දේශපාලනඥයන් පසුපස ගොස් ඇයට රැකියාවක් සොයා දුන්නේ ය.

බාල දියණිය හිතුමතේ සරණ යෑම උහුලා ගත නොහැකි වූ ඔහු ඊට වි‍රෝධය පෑවේ ය. එහෙත් සියල්ලන් ම එක පැත්තක් ගත්තෙන් ඔහු තනි විය.

තමන් ගේ ජීවිතයේ හොඳම කාලය අනුන්ගේ දරු පවුලක් සැපවත් කිරීම වෙනුවෙන් කැප කළ ඔහු අවසානයේ අවලංගු කාසියක් සේ ගෙදරින් එළියට වැටිණ.

ඔහුට විරුද්ධ පැමිණිල්ලක් පොලිස් පොතේ ලියැවිණ.

පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියා පැමිණිලි පක්ෂය දෙස හෙළුවේ නොරුස්නා බැල්මකි.

අවුරුදු තිස් ගාණක් හම්බ කරල තමුන්ට කන්න දීපු, ඒ තියා තමුන්ගෙ ගේත් හදල දීපු මේ මනුස්සයට ගෙදරින් යන්න කියන්න තරම් තමුන් තිරිසන්නු ද?

මිනිස් අධ්‍යාත්මය සසල කර දමන ඒ ප්‍රශ්නය ඉදිරියේ මොහොතක් ගොළුවන් සේ සිටි බිරියත්, දූලාත් පොලිසියෙන් පිටතට විත් හිනැහෙමින් ගෙදර ගිය බව ආරංචිය.

අවසානයේ පොලිස් නිලධාරියා ඉදිරියේ දක්නට ලැබුණේ අසරණව සිටි ඔහු පමණි. පොලිස් නිලධාරියා තැන්පත් හඬින් ඔහු ඇමතීය.

මහත්තයො, අපිටත් ඔයාට කියන්න තියෙන්නෙ ඔය ගෙදරින් යන්න කියල තමයි. මේ දූල තුන් දෙනයි, බෑනලයි, මහ උන්දැයි තමුන්ගෙ පූරුවෙ වයිරක්කාරයො. මහත්තයට වස විස දෙන්නත් පුළුවන්. මොකද කරන්නෙ? මහත්තයම තීරණයක් ගන්න! පොලිස් නිලධාරියා ඔහු දෙස අනුකම්පාවෙන් බැලුවේ ය.

මං යන්නං

කොහෙද යන්නෙ? තමුන්ට යන්න තැනක් තියනවද?

ඉඩං කෑල්ලක් නං ගමේ තියනව. ඒත් ඉන්න ගෙයක් දොරක් නං නෑ.

ඉන් පසු ඔහු ගෙදරින් යන බවට පොලිස් පොතේ අත්සන් තබා එළියට බැස්සේ ය.

ඒ කතාව ඇසූ පසු මගේ හද දා ගියේ ය.

මම පුටුවෙන් නැගිට යාබද කඩ කාමරයේ දොර ළඟට ගියෙමි.

කඩයේ හිමිකරු පුතු ද මා ළඟට පැමිණ හෙමිහිට දොර ඇරියේ ය.

වියපත් පියා පුටුවක් මත නොසෙල්වී සිටියේ ය.

ඔහුට නින්ද ගොසිනි.

More News »