මිනිහ මළාට මමත් මළායැ?

2016-02-24 10:24:00       730
feature-top
මිනිහ මළාට මමත් මළායැ?

වතු අධිරාජ්‍යයේ අණසකට යටවූ මනස්කාන්ත කඳුවැටි පෙළ කොළ පැහැගත් මැවිල්ලෙන් එක යායට වැසී ගොසිනි. තම වැවිලි ව්‍යාපාරයන් සඳහා විදේශීය වතු සමාගම්කරුවෝ ගම වටා තිබු ඉඩකඩම් ද ඊට ඈඳාගෙන සිටියහ. මේ නිසා ගම සීමාසහිත ඉඩකඩකට කොටු විය.

ගමේ පවුල් ඒකක පුළුල් වෙද්දී අලුත් අර්බුද රැසක් හට ගති. අලුත් පවුල් සඳහා බිම් ඉඩකඩ තදින් අවශ්‍යව තිබිණ. එයට දිගු කාලීන විසඳුමක් ලෙස, ඊට නුදුරුව වූ රජය සතු හිස් ඉඩමක් ඉඩම් අහිමි ගම්වාසීන්ට බෙදා දීමේ ඉඩම් කච්චේරිය යොදා ගනු ලැබුවේ ඒ අනුවය.

දිසාපතිතුමා, ඉඩම් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, උත්සව සිරියෙන් පිළිගැනුණු අතර, අවට රැස්ව සිටි ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කටයුතු ඇරැඹිණි. කලක් සිටම ඉඩම් අහිමි පිරිස අනුව සැකසුණු නම් ලැයිස්තුව ආරච්චි විසින් හඬ නඟන ලදී.

ඊළඟ නම නඬ නඟනු ඇසුණු සැණින්, පිවිසියේ පිරිපුන් අඟපසඟින් හා දිගු කෙහෙවළියකින් යුතු කඩවසම් ගැබ්බර ළඳකි. ප්‍රශ්න කිරීම ඇරැඹුණි.

තමා කාගේ අයිතිවාසිකමට ද පෙනී සිටින්නෙ.

මගේ මිනිහ වෙනුවෙන්, හාමුදුරුවනේ.

කවුද? ඒ... නම

පේඩිගේ කිරිබණ්ඩා

කෝ දැන් කිරිබණ්ඩා

එයා මළා හාමුදුරුවනේ

මැරිල කොච්චර කල් වෙනව ද? දැන්

අවුරුදු දෙකක් විතර වෙනව නෙව

නිලධාරී එකිනෙකා ඇගේ මුහුණ දෙසත් නෙරා ආ කුස දෙසත් වරින්වර බලමින් සිටියේ කිසිවක් සිතාගත නොහැකි වරදකාරියක ලෙසිනි. ඒ බව තම තීක්ෂණ ගැහැනු නුවණින් මනා තේරුම් ගත් ඈ දිසාපතිවරයා දෙස එක එල්ලේ බලාගත් වතින් මෙසේ කීවාය.

ඇයි හාමුදුරුවනේ ඒ මිනිහා මළාට මමත් මළායැ.

ඇල්. කුලරත්න
අරුක්වත්ත උතුර
පාදුක්ක



පියාට තහනම් වූ කැසට් රේඩියෝව

පොල් ත්‍රිකෝණයට අයත් බිංගිරිය ප්‍රදේශයේ විසූ හින්නි අප්පුහාමි ගොවිතැනින් ජීවිකාවෘත්තිය ගෙන ගිය වයස්ගත පුද්ගලයෙකි. දරු සිවු දෙනකුගෙන් යුත් පවුලේ මොහුට සිටි එකම පුතා වන නන්දසේන හොඳ අධ්‍යාපනයක් ලැබූ රජයේ රැකියාවක් කරන විනෝදකාමී පුද්ගලයෙක් විය.

සංගීතය ප්‍රිය කළ ඔහු දිනක් තම ගෙදරට සාප්පුවකින් මිලදී ගත් කැසට් රේඩියෝවක් රැගෙන ආවේය. කැසට් රේඩියෝව මේසයක් මත තබා එය ක්‍රියාත්මක කළ නන්දසේන තමා නොමැති අවස්ථාවල එය ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසට තම පියා ඇතුළු ගෙදර අය දැනුවත් කර එය වසා දමා රැකියාව සඳහා පිටත්ව ගියේය.

ටික වේලාවකින් එය ක්‍රියාත්මක කිරීමේ බලවත් ආශාවෙන් පෙළුණු හින්නි අප්පුහාමි එය කූරු බූරු ගා කෙසේ හෝ එය ක්‍රියාත්මක කළේය. මේ අතර එකවරම රේඩියෝවෙන් දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි, සුකෝමලයි යන ගීතය වාදනය වූ අතර පසුව ඉන් එක්වරම නිකුත් වූයේ කවුද? යන වචනයයි. කැසට් රේඩියෝවෙන් කවුද? යන වචනය ඇසූ සැණින්ම හින්නි අප්පුහාමි එක්වරම ඉන් මහත්සේ බියට පත්ව කැසට් රේඩියෝව දාපු වගක් නන්දසේන පුතාට එහෙම නොකියන ලෙස කැසට් රේඩියෝවෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමින් එක්වරම කැසට් රේඩියෝව වසා දැම්මේ නන්දසේන පුතා එහෙම මෙය දැනගතහොත් මහත් විජ්ජුම්බරයක් වේ ය යන අදහසිනි.

මේ සිද්ධියෙන් පසු කිසි දිනෙක හින්නි අප්පුහාමි පියා නන්දසේන පුතාගේ එම කැසට් රේඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටියේය.

විශ්‍රාමලත් ආචාර්ය
ඩී. එන්. දිසානායක
කොස්වත්ත - බිංගිරිය



කෑදේ - නොකෑදේ

වයඹ පළාතේ බිංගිරිය ප්‍රදේශයේ බෝවත්තේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකි. බටහිර විලාසිතා අනුව ජැන්ඩියට හැඳ පැලඳගත් තරුණ කාන්තාවක් වෛද්‍යවරයා හමුවීමට ආවාය.

ඒ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. තම වාරය පැමිණෙන තුරු හිඳ උන් අසුනෙහි ඒ මේ අතර ඇඹර ඇඹරී සිටි ඇය තම වාරය පැමිණි පසු වෛද්‍යවරයා හමුවට ක්ෂණිකව ගියාය. තමන්ගේ රෝගය වෛද්‍යවරයාට එකිනෙක පැවසුවාය. ඊට පෙර දින රාත්‍රි ඈ ආහාරයට ගත් කෑම ගැන වෛද්‍යවරයා විමසුවේය.

තරුණ කාන්තාව ගත් කටටම කට්ලස්, බැදපු මාළු, රෝස් කළ කුකුළු මස්, බැදපු බිත්තර සමඟ බුරියානි යැයි පැවසුවේ එළියේ සිටින අන්‍යයන්ට ද ඇසෙන සේ තරමක් උස් හඬිනි. ඒ තමන්ගේ තත්ත්වය අන් අයට දැනගැනීම පිණිසය.

කාපු බීපු දේවල්වල හැටියට ඔයින් ගියා ඇති යැයි පැවසූ වෛද්‍යවරයාගේ ඇස් උඩ ගියේය. වෛද්‍යවරයා ඇයට බෙහෙත් නියම කොට තවදුරටත් කෑමෙන් පරිස්සම් වන ලෙසට අවවාද කළේය.

බෙහෙත් කවුන්ටරය වෙත ගිය තරුණ කාන්තාව මුදල් ගෙවා බෙහෙත් ගත්තාය. අනතුරුව වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටවනවාත් සමඟම ඇය වමනය කළාය. මෙය දුටු වෛද්‍යවරයා වහාම සාත්තු සේවිකාවකට කතා කර කාන්තාව වමනය කළ ස්ථානයට පරීක්ෂා කරන ලෙසට දන්වා සිටියේය.

එහි ගිය සාත්තු සේවිකාවට දක්නට ලැබුණේ කරවල, කොස් මදුලු, බෝංචි, කොස් ඇට, හා තම්පලා කැබලිය.

සාත්තු සේවිකාවට මෙන්ම අනෙක් රෝගීන්ට ද සිනහව නවතාගන්නට සෑහෙන වේලාවක් ගත විණි. මෙය සත්‍ය සිදුවීමකි.

විශ්‍රාමලත් ආචාර්ය
ඩී. එන්. දිසානායක
කොස්වත්ත - බිංගිරිය

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »