කුරුලු ජෝඩුව

2016-02-15 02:31:00       726
feature-top
එක්තරා ආයතනයක පාරිභෝගික සේවා අංශය යි. සේවක - සේවිකා පිරිස බරපතළ සාකච්ඡාවක ය. මාතෘකාව පවුල් දිවිය අවුල්වීම ය. අනියම් සබඳතා වැඩි වීම ය. දික්කසාද වීම ය. දරුවන් දුකට පත්වීම ය. ආයතනයේ තවත් අයකු ඒ තත්වයට පත් වී ඇත.

'ඇයි මෙහෙම වෙන්නෙ?'

කොපමණ දුක් වුව ද විසඳුමකට අත පෙවිය නොහැකි ය.

ඒ ආකර්ෂණීය මුත්තාත්, මිත්තණියත් එහි ආවේ මෙවිට ය.

යුවළ පය ගැසූ මොහොතේ සේවක පිරිස ගේ දෑස ලොකු වී මුව විවර වී ගියේ ය. ඔවුන් සිය අසුනින් නැගිටුණේ ද ඉබේම ය.

යුවළ හොඳට ම වියපත් ය. එහෙත් ප්‍රසන්න ය. මිත්තණිය ආවේ විසිතුරු හැරමිටියක් ඇන - ඇන ය. මුත්තා ඇගේ අතකින් අල්ලා ගෙන සිටියේ ය.

'ගුඩ් මෝනිං!' දෙදෙන සේවක පිරිසට මුව පුරා සිනා පෑහ.

'එන්ඩ! ඉඳගන්ඩ!' පිරිස ඔවුනට ඇරියුම් කළ හ.

'බොහොම ස්තුතියි දරුවනේ' කියාගෙන යුවළ අසුන් ගත් හ.

වියපත් යුවළ පැමිණ සිටියේ රාජකාරියක් ඉටු කරවා ගනු පිණිස ය.

සේවක ප්‍රජාව මහත් වුවමනාවෙන් එය ඉටු කර දුන් හ.

'තෑන්ක් යූ වෙරි මච් එව්රිබොඩි. එහෙනං අපි ගිහින් එන්නං' මුත්තා දෑත එක්කොට සියල්ලන්ට ආචාර කළේ ය.

'ඔය දෙන්න එක්ක අපිට පොඩි පෞද්ගලික දෙයක් කතා කරන්ඩ පුළුවන් ද?' සේවිකාවක් ඔවුන් අසලට ආවා ය.

'අහන්ඩ දුවේ අහන්ඩ!' මිත්තණිය පුළුල් හිනාවක් පෑවා ය.

'දැන් වයස කීයක් විතර වෙනව ද?'

'මට අනූ දෙකයි. සෙන්චරියට ළඟයි. මෙයාට අසූ හයයි' මුත්තා උස් හඬින් සිනා පෑවේ ය.

'අහන්ඩත් සන්තෝසයි, අනේ අපි දැන් මේ කතා කර කර හිටියෙ හුඟ දෙනෙකුගෙ පවුල් ජීවිත කඩාකප්පල් වෙන එක ගැන. ඒක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලානෙ. ඉතින් ‍එහෙම කාලෙක ඔය දෙන්නා මේ කුරුලු ජෝඩුව වගේ යස අගේට ඉන්නෙ කොහොම ද?'

'ආ‍දරේ! ඒක තමයි ආදරේ' මුත්තා යළි සිනාසුණේ ය.

ඔහු ගේ හිනාව මිත්තණියට ද සේවක ප්‍රජාවට ද බෝවී ගියේ ය.

'අපි දෙන්න දැන අඳුන ගෙන, ආදරේ කරල දෙමවුපියන්ගෙ ආශිර්වාද ඇතිව විවාහ වුණා. එදා ඉඳං අපි සතුටින් ඉන්නව. වයස ගිය බව පේන්නෙ ඔයගොල්ලන්ට. අපිට ඒක පේන්නෙ නෑ' යළි සිනාහඬ පැතිර ගියේ ය.

'දරුමල්ලො එහෙම කොහොම ද?'

'ඒ අයටත් දැන් ඔයාල වගේ දරුවො ඉන්නව. අපි එයාලට කරදර වෙන්ඩ ඉඩ තියල නෑ. අපි අපේ වැඩ කර ගන්නව.' මිත්තණිය පැහැදිලි කළා ය.

'අනේ වාසනාවන්! අපේ ආයුෂත් අරගෙන ඔබතුමන්ල තව කාලයක් ජීවත් වෙන්ඩ ඕනෑ'

'තෑන්ක්ස් දුවේ. ඔයාලට දෙවියො බලයි!' මිත්තණිය සේවිකාවගේ උරහිස පිරිමැද්දා ය.

'ඇයි අද හුඟ දෙනෙකුගෙ පවුල් ජීවිත අවුල් වෙලා තියෙන්නෙ? ඒක ඔයාලට වැටහෙන්නෙ කොහොම ද?'

'ඕක තේරුම් ගන්න ඕනෑ මෙහෙමයි දුවේ' මුත්තා උගුර පෑදුවේ ය. 'ආදරය කියන්නෙ පරිත්‍යාගය, කැපවීම, තමන් සතු සියල්ල දීම. දෙන්නට දෙන්න ඒ විදිහට ඉන්න කොට එතන දිව්‍ය ලෝකයක් මැවෙනව. ඊට වඩා දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නෙ? හරියට මල් උයනක් වගෙ. මල් උයනක් හදා ගත්තට පස්සෙ තියෙන්නෙ වතුර ටික, පෝර ටික දාල නඩත්තු කරන්ඩ විතරයි. ප්‍රශ්නවලට හුඟක් හේතු වෙන්නෙ පරිත්‍යාගශීලී නොවීම. පරිත්‍යාගය නැති තැන කොහෙන්ද ආදරය? දෙන්නට දෙන්න ආත්මාර්ථකාමී වුණා ම එතන ඇති වෙන්නෙ යුද්ධයක්. යුද්ධ කරල දිනපු කෙනෙක් නෑ. පරිත්‍යාගයෙන් තමයි සියල්ල දිනන්න පුළුවන්. ඒ නිසා පරිත්‍යාගශීලී වෙන්න!' මුත්තා ගේ වදන් සේවක සිත් තුළ කිඳා බැස ගියේ ය.

'යන්නං'

දෙදෙනා සමු ගත්හ.

මිත්තණිය විසිතුරු හැරමිටිය බිම අනිමින් හෙමිහිට අඩිය තිබ්බා ය. මුත්තා ඇගේ අත අල්ලා ගෙන ඇගේ රිද්මය නොබි‍ඳෙන පරිදි පය තබන්නට වූයේ ය.

දෙදෙන මොනවාදෝ මුමුනමින් හිනැහෙමින් අතරමඟ නැවතී යමක් පෙන්වමින් යළි හිනැහෙමින් සිය රිය දෙසට යන අයුරු පිරිස නොසෙල්වී බලා සිටිය හ.

හංවැල්ලේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
 
අපූරු දඬුවම
අස්වාන පාර දිගේ මිනුවන්ගොඩ - ගම්පහ පාරට එන විට මාතම්මන වෙල්යාය හමුවෙයි.

බැලූ බැල්මට වෙල්යාය සුන්දරව දිස් වුව ද පාරේ යන එන ඇතැම් නොහික්මුණු පුද්ගලයන් මෙහි පාරට යාබද කුඹුරුවලට අපද්‍රව්‍ය විසි කිරීම පුරුද්දක් කරගෙන තිබුණු බැවින් කලක පටන් මේ වෙල්යායේ පාර අයිනේ කොටස අසුන්දර වී තිබේ.

ඒවා පවිත්‍ර කිරීමට ගමේ තරුණ පිරිස් ගන්නා තැතෙහි ද අඩුවක් නැත. එහෙත් හිටි හැටියේ ම කවුරුන් හෝ කුණු කසළ ගෝණි විසිකර ‍ගොස් තිබෙනු දැකිය හැකි ය.

වෙල් යායේ මහ කන්නයේ කුඹුරු වපුරා වැඩි කාලයක් ගොස් නොතිබිණි.

පාලම අසල කොටස වැපුරුවේ චතුර නමැති තරුණයෙකි.

දිනක් ඔහු හිමිදිරියේ ම සිය කුඹුර බැලීමට ආයේ ය. සරුවට වැඩීගෙන එමින් තිබූ පැළ ‍ෙගායම මත කසළ ගෝණි තුනක් විසිකර තිබෙනු දුටු ඔහු ගැස්සී ගියේ ය.

ඔහු කෝපය පාලනය කර ගෙන ගෝණි තුන ගොඩට ගත්තේ ය. එකක වූයේ පරණ බෝතල් හා වීදුරු කැබැලි ය. දෙවැන්නෙහි තිබුණේ කුස්සියෙන් ඉවත් ‍කැරුණු අපද්‍රව්‍ය ය. තෙවැන්නෙහි වූයේ පරණ ලිපිද්‍රව්‍ය වගයකි.

ලිපි ද්‍රව්‍ය ගෝණිය පරිස්සමින් සෝදිසි කළොත් මේ බාල වැඩේ කළ පුද්ගලයා පිළිබඳ කිසියම් හෝඩුවාවක් සොයා ගත හැකි වෙතැයි සිතූ ඔහු ඒවා එකිනෙක පිරික්සුවේ ය.

ඔහු සිතූ දේ නිවැරදි විය. බැංකුවක මුදල් තැන්පත් කළ රිසිට් පතක් ඔහුට හමු විය.

ඔහු පොලිසි ගියේ ය. සිද්ධිය ගැන පැමිණිලි කොට අර රිසිට් පත ද ඉදිරිපත් කළේ ය.

පොලිසිය මගින් ඉදිරි පිරික්සුම් ක්‍රියාත්මක කැරිණි. රිසිට් පතේ හිමි කරු කොටු කර ගැනීමට වැඩි දිනක් ගත නොවී ය.

නඩු වැටිණ.

වැරදිකරුට දඬුවම් දෙකක් නියම විය.

එකක්, කුඹුරට කුණු කසළ දමා අලාභ සිදු කිරීම වෙනුවෙන් හිමිකරුට රුපියල් පන්දහසක වන්දියක් ගෙවීම ය.

අනෙක, මෙහි කුණු දැමීම තහනම් යනුවෙන් අදාළ ස්ථානයේ බෝඩ් එකක් සවි කිරීම ය.

එක් අයකු පාඩම් ඉගෙන ගත්තාට සෙස්සන් තවම පාඩම් ඉගෙන ගෙන නැත. දිගින් දිගට ම මෙහි කුණු වැටෙන්නේ එහෙයිනි.

කුඹුරට විසි කරන ලද බෝතල් බිඳී ගොවි මහතුන් කිහිප පොළකගේ පා කැපී ප්‍රතිකාර ගැනීමට සිදු වී ද තිබේ.

යහපත් පුරවැසියෝ තමන්ගේ කුණුවලින් අනුන් ගේ දේපොළ කැත නොකරති


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »