මැණික් රසකතා

2016-01-20 09:44:00       724
feature-top
බටනළා වැයූ පියදාස

ඇලහැර ඔක්කම්පිටිය වැනි කැලෑවල වැදී මැණික් ගැරූ පිරිස රාත්‍රි කාලයේ නිදිමත එන තුරු කාලය ගෙවීම සඳහා කාඩ් සෙල්ලම් කිරීම සඳහා කාඩ් කුට්ටම් ගෙන යති. ඒ වගේ විනෝදකාමී තරුණයෝ ‍ෙඩාලැක් වැනි සංගීත භාණ්ඩ ද ගෙන ගිය අවස්ථා ද තිබුණේ ය. දවසේ වැඩ කොටස නිමවා වාඩි‍වලට එන පතල් කරුවෝ රාත්‍රි ආහාරය සකස් කරන තෙක් හා ආහාරයෙන් පසු නින්දට වැටෙන තෙක් බජව් දමමින් හෝ කාඩ් සෙල්ලම් කරමින් සිටිති.

පියදාස ද අ.පො.ස. (සා. පෙ) විභාගයට පෙනී සිට ප්‍රතිඵල එන තෙක් සිටි අයෙකි. ඔහු නඩයකට එකතු වී ඇලහැර මැණික් ගැරීමට ගියේ ය. පියදාසගේ විනෝදාංශය වූයේ බට නළා පිඹීමය. නීතියකට රීතියකට උගත් දෙයක් නොවුවාට ඕනම සිංදුවකට බටනලාව හැසිරවීම ඔහුට එතරම් දෙයක් නොවී ය. කොටින් ම කියනවා නම් බටනළා වාදනයට පියදාස තරම් කෙනෙකු ගම් පළාතේ නොසිටියේ ය‍.

ඇලහැර කැලේ මැණික් ගැරීමට යන විට බට නළාව ගෙන යෑමට පියදාස අමතක කළේ නැත. දවසේ වැඩ කොටස නිමවා ගඟට පැන දිය හා වාඩියට එන පිරිස තේ කහට කෝප්පයකින් ඇඟ රත් කර ගත්තාට පසු පියදාසගේ රාජකාරිය වූයේ බට නළාවෙන් මිහිරි ගීත වැයීමයි. එම ගී රාවය රස විඳිමින් රාත්‍රි ආහාරය සකස් කිරීම සෙසු පිරිස කළහ.

දිනක් සවස් වරුවේ ගඟ අයිනේ ගල් තලාවට ගොඩ වූ පියදාස බටනළාව අතට ගත්තේ සුපුරුදු ගී රාවය ගුවනට මුසු කිරීමට ය. කුඹුක් ගසේ අතුවල වෙළී එල්ලා වැටෙන පුස් වැල් පරිසරය අලංකාර කරයි. ගඟ ඉවුර පාළු බවක් පෙන්වූවද පියදාසගේ වාඩිය වූයේ ද ඒ අසලම ය.

පියදාස බට නළාව මුවගට කිට්ටු කර උතුම් බුදුන් මේ තෛලෝණාගේ බුද්ධාලෝකේ පෑවා ගීතය ‍වාදනය කළේ පළාතම ගීතවත් කරමිනි. එම ගීය අවසන් වනවිට තවත් ගීතයක් පටන් ගත්තේ ය. එම ගීතය අවසන් වනවාත් සමඟම තව ගීතයක් පටන් ගත්තේ ය. පියදාසගේ පතල් නඩය ද සංගීත රස විඳිමින් වාඩියේ සිටියහ.

එන්න එන්නම අඳුර වැටෙමින් තිබුණි. පියදාසගේ බට නළා හඬ තවම ඇසෙන්නේ ය. ඔහු තම වාඩියට නොපැමිණීම අනෙක් අයට ප්‍රශ්නයක් විය. නඩයේ පිරිස විදුලි පන්දම් දෙකක් ගෙන පියදාස සිටි ස්ථානයට ගියේ ය. ඔවුන්ගේ පැමිණීම පියදාසට බාධාවක් නොවී ය. ඔහු දිගටම බට නළාව වයන්නේ ය. පතල් නඩයේ ගුරා පියදාසගේ ඇඟට අත තබා කතා කරත්ම හයියෙන් හූ වක් තැබූ පියදාස සිහිනැතිව වැටුණේ ය.

පියදාස ඔසවාගෙන වාඩියට ගෙන ආ නඩයේ පිරිස අහල පහල වාඩිවලට පණිවුඩ යැව්වේ තෙල් මැතිරීමට දන්නා අයෙකු සිටිනවා දැයි දැන ගැනීමට ය. එම පණිවිඩය ලැබූ කට්ටඩි මහතෙකු පියදාසගේ වාඩියට පැමිණ තෙල් මතුරා පියදාසගේ හිසේ ගාමින් ඇප නූලක් කරට දැමුවේ ගමට ගොස් තොවිලයක් කර ගන්නට උපදෙස් දෙමිනි.

පසුවදා වනවිට පියදාසට සුවයක් තිබුණි. නමුත් එදින සිට ගමේ එනතෙක් ඔහු බට නළාව අතට ගත්තේ නැත. තනිවම ගඟට වත් නොගියේ ය. එම සිදුවීම මතක් කරමින් මෑතකදී අපි පියදාසගෙන් විමසුවේ ඇත්තටම පියදාස එදා මොකද වුණේ යනුවෙනි. ඔහු මඳ සිනහවක් පාමින් එදා මම ගඟ අයිනෙ නළාව පිඹ පිඹ ඉන්නකොට හොඳ මල් සුවඳක් ආව. මම වට පිට බැලුවා. මම දැක්ක කුඹුක් ගහේ නැමුණු අත්ත යටින් ලස්සන ගැහැනු කෙනෙක් බලාන ඉන්නව. මම ඒ දිහා බලාන නළාව පිම්බා. එයා ලස්සනට නැටුවා. මම තව තවත් නළාව පිම්බා. එයා නතර වෙන්නෙම නැතිව නැටුවා. ඊට පස්සේ මට කිසිදෙයක් මතක නෑ. පස්සෙ මට මතකයි වාඩියෙ නිදාගෙන ඉන්නවා. වටේට අපේ කට්ටිය පිරිල ඉන්නවත් මතකයි කියමින් පියදාස කල්පනා කරන්නට වුණා.

ඉතිං පියදාස ඇත්තටම කවුද ඒ ගෑනි මම තවත් ප්‍රශ්නයක් ඇසුවෙමි.

මට තොවිලෙ කරපු කට්ටඩි මහත්තය කිව්වෙ ඒ ආවෙ මෝහිනී කියල. එයා සංගීතෙට හරි ආසලු. එයාට ඇති වෙනකම් මම බට නළාව පිම්බා නම් එයා මට වරයක් දෙනවලු. නැත්නම් පිස්සු වට්ටනවලු. එදා හොඳ වෙලාවට පතල් නඩේ එතනට ගිහින් තියෙන්නේ වෙන තැනක වුණා නම් මං කපෝති! යයි පියදාස කියනවිට ඔහුගේ ගෙල ප්‍රදේශයෙන් දහඩිය බින්දු නැඟුණේ එදා බය වූ බයවීම සිහිපත් වී විය හැකිය.

ඇඟ මත ගුළිවූ සර්පයාගෙන් බේරුණු හැටි

කැලේ මැණික් ගරන්න යන්නෝ වතුර පහසු ස්ථානයක කැලෑව සුද්ධ පවිත්‍ර කර වාඩිය තනා ගනිති. ඉටි රෙදි සෙවිලිකර ඉටිරෙදි හරස්කර තනා ගන්නා වාඩිය තුළට පිටතින් මැස්සෙකුටවත් ඒමට නොහැකි වන සේ සකස්කර ගන්නේ දක්ෂකම අනුව ය. එසේ කරනුයේ කැලෑවේ සිටින විසකුරු සර්පයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ය. මෙසේ තනා ගන්නා වාඩිය ඇතුළත රාත්‍රි නිදා ගැනීමට පෙර අතු පතු ගා පිරිසුදු කිරීම අනිවාර්යයෙන් ම කෙරෙන්නකි. නිදි යෑමට පෙර ඉදිරි දොරකඩ ඉටි රෙද්දක් හරස් කරනුයේ පොළව තුළට බස්සවා ආරක්ෂා සහිතව ය.

සේතන් අයියාගේ නඩය ද ඒ ආකාරයට ආරක්ෂා සහිතව වාඩිය තනාගෙන වැඩ කරමින් සිටියෝ ය. නඩයේ පස්දෙනා රාත්‍රි ආහාරයෙන් පසු බිම අතු ගා පැදුරු දමා ඒ මත නිදා ගත්තේ එකිනෙකාගේ ඇඟට ‍ඇඟ නොගෑවෙන තරමටය. ඔවුහු සිරිතක් ලෙස‍ මුදුන් කණුවේ කුප්පි ලාම්පුව දල්වා එල්ලා තබති. මිදුලේ ගිනි මැලය දැල්වෙමින් තිබුණි.

මැදියම් රැය ව‍ූවේත් නැත. උඩු අතට නිදාගෙන සිටි සේතන් අයියාට අමුත්තක් දැනුණේ ය. සරම මත සර්පයෙකු ඇදෙනවා සේ දැනුණු නිසා තවදුරටත් නිසොල්මනේ සිටියේය. කලබල වූවොත් කුමක් වේ දැයි ඔහු කල්පනා කළේ ය. ඇ‍ඟේ පහළ කොටසේ සිට ඇඟ ‍මතින් ඇදුණු සර්පයා සේතන් අයියාගේ කකුල් දෙක මුලට විත් නතර වී ගුළි වුණේ ය. සේතන් අයියා හිත දැඩි කරගෙන ඔළුව උස්සා බැලුවේ සර්පයා දෙස ය. ලාම්පුවේ එළියෙන් සර්පයා හඳුනා ගත්තේ ය. සර්පයාට නොදැනෙන සේ සරම එතැනම තිබියදී සේතන් අයියා හෙමිහිට හෙමිහිට උඩට උඩට ආවේ ය. ඔහු සර්පයා සරම මත තනිකොට නිරුවතින් සිටියේ ය.

ඔවුන් හා එකට නිදා සිටි සිරිසේන මේ අවස්ථාවේ සිටියේ අවදියෙනි. ඔහු නිදා ගත් සේ හඟවා සේතන් අයියාගේ ක්‍රියාව බලා සිටියේය. සිරිසේන සිතුවේ සේතන් අයියා නින්දෙන් කරන විගඩමක් ලෙස ය. සර්පයාගෙන් ඉවත් වූ සේතන් අයියා සර්පයා හිරවන සේ සරම ගුළි කළේ ය. මේ දෙස බලා සිටි සිරිසේනට සිනහව නවතා ගැනීමට නොහැකිව පොරවාගෙන සිටි රෙද්ද කටේ ඔබ‍ාගෙන බලා සිටියේය. මේ කිසිත් නොදත් සේතන් අයියා ගුළි කරගත් සර්පයා සහිත සරම අතට ගෙන නිරුවතින් ම වාඩියෙන් එළියට බැස්සේ සර්පයා කැලයට විසි කිරීමට ය.

සිනහව තද කරගැනීමට නොහැකි වූ සිරිසේන හායි ගා සිනා සෙමින් අවදි වූයේ නඩයේ අනෙක් අය ද තිගැස්සී අවදි‍ කරමින් ය. ලාම්පුවේ එළියෙන් ඔවුන් දුටුවේ නිරුවතින් එළියේ ගිනි මැලය ළඟ සිටින සේතන් අයියා ය. පිරිස හඬ නඟා සිනාසෙද්දී එළියේ වැලක තමා තිබූ සරමක් ඇඟට දමාගත් සේතන් අයියා අතේ තිබූ සර්පයා සහිත සරම පෙන්නා ඔවුන්ට කාරණය පහදා දුන්නේ ය.

පිරිස වට වී පොලු මුගු‍රු ගෙන සර්පයා සරමෙන් ඉවතට ගත්තේ ය. ඌ අධික විස සහිත නාග මාපිලෙකු බව හඳුනා ගත්තේ ය‍. විෂ ගෝර සර්පයා දැක නාරු මෝඩයා කී සිරිසේන සර්පයාට පහර දෙකක් දී බෝහන් කර වළලා දැමුවේ ය‍. සේතන් අයියා අද ජීවතුන් අතර නැතත් එදා සර්පයෙකු ඇඟ මත තබාගෙන සිටි ආකාරය ගැමියන් සිහිපත් කරන්නේ ඔහුගේ තිබූ ඉවසීමේ ශක්තිය හා ස්ථානෝචිත ප්‍රඥාව ගැන කීමට ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »