වන්දනා සිහිනය

2016-01-11 09:35:00       728
feature-top
මම දුම්රියකට නගිනු පිණිස ඉක්මන් ගමනින් යමින් සිටියෙමි.

දුම්රිය පාලම උඩ සිටි වියපත් තැනැත්තියක් මට අත පෑවා ය.

'අනේ මහත්තයො, ගමේ නඩයක් අනුරාජපුරේ වන්දනාවෙ යනව. මටත් ඒ ගමන යා ගන්ඩ ඕනැ. ඒ පිංකමට ආධාරයක් දෙන්ඩ!'

ඇගේ බස නෑසුණාක් මෙන් මම පය ඉක්මන් කළෙමි.

පසු දා ද සෙස්සනට අත පාන ගමන් ඇය මට ද යළි අත පෑවා ය. ඒ අවස්ථාවේ ද මා සිටියේ දුවමිනි.

ඉන් පසු අතරින් පතර දින කිහිපයක ද ඇගේ යා දින්න මට විටින් විට ඇසිණ. කෙමෙන් මට ඇය අමතක විය.

වැඩ අධික ඒ සතිය නිමා වූ සිකුරාදා රැයෙන් එකක් නිදා ගත් මම පසු දා දහවල් වී නැගිට සැහැල්ලුවෙන් මිදුලේ ඇවිදිමින් සිටියෙමි.

'මහත්තයා, බල්ලො හපයි ද?'

නුහුරු කටහඬක් ඇසී මම පාර දෙස බැලුවෙමි. නන්නාඳුනන වැඩිහිටියෙක් ගේට්ටුව ළඟ සිටියේ ය. මම ඔහු ළඟට ගියෙමි.

වැඩිහිටියා බෙහෙවින් වියපත් ය. එහෙත් නිරෝගිය. ඔහු බොරු දත් පා සිනාසුණේ ය.

'ඇයි?' මම ඇසීමි.

'මම මහත්තය හම්බ ‍වෙන්ඩයි ආවෙ' කියාගෙන ඔහු අප නිවෙස දෙසට පිය මැන්නේ ය. මම ඔහු පසුපසින් පැමිණියෙමි. ඔහු ඉස්තෝප්පුවේ අසුන් ගැන්වූ මම ඒ කිට්ටුවෙන් හිඳ ගතිමි.

'එහෙනං මං කෙළින් ම කාරණේට බහින්නංකො. ඔහු මවෙත හැරුණේ ය. 'මහත්තය, මං දඹදිව වඳින්ඩ යන්ඩයි හිතාගෙන ඉන්නෙ. ඒකට රුපියල් 85 දාහක් ඕනැ. මගෙ දරුවො තුන් දෙනා විසි දහ ගාණෙ හැට දහක් හොයල දුන්න. තව විසිපන්දහක් අඩුයි. ඒ හින්ද තමයි මං මේ නාඳුනන පළාතකට ඇවිල්ල වැඩේ හරියයි කියල හිතෙන ගෙවල් කීපෙකට යන්ඩ හිතා ගත්තෙ. මං මේ බස් එකෙන් බැහැපු හැටියෙ දෙයියන්නෙ හරි කියල ආවෙ මහත්තය හම්බ වෙන්ඩ. මහත්තය මාව හිස් අතින් යවන්ඩෙපා! මගෙ මේ පින්කමට ආධාරයක් කරන්ඩ! දරුමල්ලොත් එක්ක නිවන් දකින වැඩක්නෙ. පුළුවං විදිහක් කරන්ඩ බලන්ඩකො! ඔහු සියල්ල හෙළිකර සිටියේ මට කිසිදු ප්‍රශ්නයක් අසන්නට ඉඩක් නොතබමිනි.

මට මපියා සිහිපත් විය. ඔහු ද මෙසේ කෙළින් කතා කරන්නෙකි. ජීවත් ව සිටියදී ඔහුට මෙසේ දඹදිව වන්දනා කිරීමේ සිහිනයක් නම් නොතිබිණි. වියපත් වන තුරු ම ගොවිතැන් බත් කරමින් සිය දරු පවුල රැක ගැනීම හැර වෙනත් පින්කමක් ගැන ඔහු නොසිතුවේ ය. ඔහු ගේ එකම පින්කම වූයේ අප පෝෂණය කර උගන්වා යහපත් මිනිසුන් කිරීමත්, අම්මාට දුකක් නොදී සතුටින් තැබීමත් ය.

මම අමුත්තාට කිසිවක් නොකියා ම ගෙට ගියෙමි. අල්මාරියේ ලාච්චුව හැරියෙමි. බැංකුවෙන් ගෙන ආ වැටුප එහි විය.

මේ සා වැටුපක් ගන්නට මා ලොකු මහත් කළ ම පියා තුළ ද දඹදිව වන්දනා කිරීමේ ආසාවක් හිතේ සැඟවි තිබුණා විය නොහැකි ද? ඔහු මිය ගියේ එය රහසක් සේ ම හිතේ සඟවා ගෙන ද? මට මපියා ගැන මහා දයාවක් ඇති විය.

මම දෙවරක් නොසිතා නෝට්ටු කොළ කිහිපයක් ගෙන ඉස්තෝප්පුවට ගියෙමි.

'ආ මේක තියාගන්ඩ!'

අමුත්තා නැගිට නෝට්ටු රැඳි මා දෑත සිය දෑතින් තරකොට අල්ලා ගත්තේ ය.

'මහත්තය තමන්ගෙ දෙමව්පියො දඹදිව වන්දනා කෙරෙව්ව වගේ කියල හිතාගන්ඩ!' අමුත්තා‍ ගේ කටහඬ වෙව්ලීය.

මා යටපත් කොට ගෙන තිබූ කඳුළ කඩා වැටුණේ ය.

'හොඳයි තාත්ත ගිහිං එන්‍ඩකො'

'මං දඹදිව ගිහිං ඇවිත් මගෙ පණ තිබුණොත් මහත්තය බලල යන්ඩ ආයෙ එනව.'

ඔහු පිටව ගියේ ය.

ඊළඟ සතිය ආරම්භයේ යළි මා වැඩට යන විට අර වියපත් කත පාලම උඩ සිටියා ය.

'අනේ මහත්තයො මට කීයක් හරි දීල යන්ඩ!' ‍

මම නැවතුණෙමි.

'දැන් ඔය අම්ම අනුරාධපුරේ ගියා ද?' කොහෙ යන්ඩද මහත්තය අත පෑවට වියදම හම්බ වුණේ නෑනෙ. ලැබිච්ච ලැබිච්ච දේ අතින් කටට ගියා. එච්චරයි වුණේ.'

'එතකොට ගමේ නඩේ ගියා?'

'උන්දල ගියා. මං ඉතින් ලබන අවුරුද්දෙවත් යා ගන්ඩ ඔන්න ඔහෙ කීයක් හරි එකතු කර ගන්ඩෙ කියල හිතා ගත්ත.'

මම මගේ යුතුකම ඉටු කරන්නට පර්ස් එක අතට ගතිමි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »