වින්කලේ තරුණයා

2016-01-06 10:30:00       723
feature-top
යාපනේ සංචාරයක යෙදුණු අප රැයෙහි නවාතැන් ගත්තේ පාසල් ගොඩනැඟිල්ලක ය.

අම්මලා අහර පිසින අතර අපි ළඟ පාත ඇවිද්දෙමු.

වින්කලයක තරුණයෙක් පාපැදි අලුත්වැඩියා කරමින් සිටියේය.

ඔහු කඩිසරය. වහ වහා පා පැදි අලුත්වැඩියා කරන ඔහු වැඩ නිමවනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින හිමිකරුට එය බාර දී හිමිකරු දෙන මුදල සාක්කුවේ ලා ගනී.

ඔහු ආගන්තුක අප දැක හිනාවක් පෑවේ ය.

'අයියා, යාපනේ බලන්ඩ ආවා?'

'ඔව්.' අපිදු සිනාසීගෙන ඔහු ළඟට ගියෙමු.

'අයියලා අද රෑ කොහෙද ඉන්නවා?'

'එහා පැත්තෙ ඉස්කෝලෙ තමයි අපි රෑ නවාතැන් ගන්නෙ.'

'ඒක හොඳා. හොඳට ඉඩ තියෙනවා. අතපය දිග ඇරල තමා නිදා ගන්නවා.'

අපට හිනා ගියේ ය. ඔහු ද හිනා වුණේ ය. ඒ හිනාවෙන් අපි තවත් ළං වීමු.

'ඔයා කොහොමද මෙච්චර හොඳට සිංහල කතා කරන්නෙ?'

'අයියා මං කොළඹ ටික කාලයක් වැඩ කෙරුවා.'

යාපනය වූ කලි පාපැදි රාජ්‍යයකි. බැලූ බැලූ අත පා පැදිය. ඒ නිසා ඔහු බඳු වින්කල්කරුවන්ට වැඩ යහමින් තිබේ.

රෑ දහයටත් කිට්ටු ය. 'කන්න එන්නැ'යි අපට දුර ඇමතුම් ද එයි.

'අයියලා එහෙනං යන්ඩ. ඒගොල්ලො බලාගෙන ඉන්නවනේ. කාල බීල භාජන අස්කරන්ඩත් ඕනැනේ. ආයෙ පාන්දර ළමයි එන්ඩත් කලින් යන්ඩත් ඕනනේ.' ඔහු කීවේ වැඩිහිටියකු මෙනි.

'දැන් රෑ වෙලානෙ. ඔයා කඩේ වහන්නැද්ද?'‍

'එකොළහමාරට තමා වහනවා. ඊට කලින් වහන්ඩ බෑ. පුරුදුකාරයො එනවා. මං ගියොත් ඒගොල්ලො කරදරේ වැටෙනවා. ඒක පව්. එකොළහමාරට වහලා මං යනවා. ආයෙමත් හෙට උදේ පාන්දර හතරහමාරට ගෙදරින් පිටවෙලා එනවා.'

'එච්චර පාන්දර එන්නෙ ඇයි?'

'ගෑනු ළමයි පාන්දර ම ඉස්කෝලෙ එනවා. ඒගොල්ලො එන්නෙ දුර ගංවල ඉඳං. ඉතිං ඔය බයිසිකල් කැඩෙනවා. හුළං යනවා. පැච් යනවා. ඒගොල්ලො තල්ලු කරගෙන මෙතෙන්ට එනවා. ඒගොල්ලො එනකොට මං මෙතන ඉන්ඩ ඕනැ. ඉගෙන ගන්න යන ළමයිනේ. ඒගොල්ලන්ට අපි උදවු කරන්ඩ ඕනැ. ඒක අපේ යුතුකමනේ. ඒ හින්ද මං පාන්දර ම එනවා. මං පාන්දර ම වින්කලේ අරින බව ඒගොල්ලොත් දන්නවා. ඒ හින්දා බය නැතුව ඉස්කෝලෙ එනවා!

අවසානයේ අපි ඔහුගෙන් සමු ගතිමු. ඔහු අපට සමුදුන්නේ 'ආයෙ දවසක යාපනේ බලන්ඩ එන්ඩ' කියමිනි.

ඔහු හා කළ ඒ කෙටි ඇසුර අපේ හිත්‍ වෙනස් කළේ ය. ඔහු රජයේ සේවකයෙක් නොවේ. වින්කල් බාස් කෙනෙකි. එසේ වුව ද ඔහු තම සේවාව ඉටු කරන්නේ මහත් වගකීමකිනි. අනෙකා කෙරෙහි දයාවෙනි. සෙස්සන් ද ඔහු මෙන් වගකීමෙන් හා යුතුකමින් බැඳී වැඩ කරන්නේ නම් ඒ සමාජය ලෙහෙසියෙන් ගිලිහී නොයයි.

කොටි යුද වාදීන්ටත් තිස් අවුරුදු යුද්ධයකටත් මැදිවූ යාපනේ පුංචි මිනිසා විනාශ නොවූ රහස මේ අහිංසක වින්කල් තරුණයා ව්‍යංගයෙන් අපට පෙන්වා දුන්නේය.
 



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »