එළවළු කොටුව

2015-12-15 08:26:00       723
feature-top

දරුවන් ද රැගෙන අපි චාරිකාවක යෙදුණෙමු.

පාඩම් පොත් අතර ම කාලය ගෙවන ඔවුනට සැහැල්ලුවක් ලබා දීම අරමුණ විය.

ඒ අයන අතර දඹුලු වෙහෙර ද වැන්දෙමු.

එදින රැයේ අප නවාතැන් ගත්තේ දඹුල්ලේ නෑ ගෙදරක ය.

පසු දා පහන් විය.

නිවෙසට නුදුරුව දිස් වූයේ එළවළු කොටුවකි.

අප දරුවන් කිසි දිනෙක එළවළු කොටුවකට ගොස් නැත. ඒ අත්දැකීම දිවියට වැදගත් ය.

දරුවන් තුළ ද ඒ ආසාව ඇති වී තිබිණ.

එහෙත් එළවළු කොටුව අප නිවැසියන්ගේ නොවේ. වෙනත් කෙනකුගේ ය. එහෙයින් එය නැරඹීමට අවසර ගත යුතු විය.

එන්ඩ! එන්ඩ! ඇවිත් බලන්ඩ! අවසරය ලැබුණේ සුහද සිනාවෙනි.

අපි දු සතුටින් එහි ගියෙමු. එහි පිපිඤ්ඤා, කැකිරි, වම්බටු, මෑ, බණ්ඩක්කා, මුරුංගා ආදි නොයෙක් දේ විය. ලූනු වගාව නෙතු පැහැර ගත්තේ ය.

එළවළු කොටුවේ ඇවිදීමෙන් අප දරුවන් ලද්දේ අමතක නොවන අද්දැකීමකි. එහි මිහිර ඔවුන්ගේ මුහුණුවලින්ම පෙනිණ.

එළවළු කොටුවේ හිමිකරුත් ඔහුගේ දරුවෝත් එහි වැඩ කරමින් සිටියහ.

අවසානයේ සමු ගැනීමේ අවස්ථාව එළඹියේය. ඒ සමඟම එළවළු කොටුවෙන්ම නැවුම් එළවළු ටිකක් මිල දී ගැනීමේ ආසාව ද පහළ විය.

අපි අපේ ආසාව ගැන ඔවුනට කීමු. ඔවුහු ද මහත් සතුටින් ‍එළවළු නෙළන්නට වූහ.

ටිකකින් ගෝණි මලු දෙකක් අපට ඉදිරියට ආවේ ය. එකක නොයෙක් ජාතිවල එළවළුය. අනෙකේ ලූනු ය.

ඉතා සතුටින් ඒවා බාර ගත් අපි යුතුකම ඉටු කරන්නට මුදල් පසුම්බිය අතට ගතිමු.

ඉතින් මේ එළවළුවලට ගාන කියන්ඩකො

සල්ලි එපා! අරන් යන්ඩ!

ඒක හරි නෑ නෙ. සල්ලි ගන්ඩ!

එපා! එපා! අපි සන්තෝසෙන්නෙ දෙන්නෙ. ඕව අරන් යන්ඩ! ආයෙත් වෙලාවක එන්ඩකො

ඔවුන්ගේ මුහුණ මත ඇඳී ගොස් තිබුණේ අව්‍යාජ සිනාවකි.

හොඳයි එහෙනං අපි මේව සතුටින් බාර ගන්නං. ඔයාලගෙ ගොවිපළ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව

පරිත්‍යාගය උදාර මිනිස් දහමකි. එයින් දෙන්නා ද ලබන්නා ද එක සේ සතුටු වෙති. අපි ඒ නිමේෂයේ ඒ උතුම් දහම විඳ අවසානයේ සමු ගතිමු.

තිස්ස පීරිස් පුතණුවනි, ඔබටත් සැමටත් යහපත සැලසේවා!
 



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »