අලුත් රස්සාව

2015-12-08 09:53:00       724
feature-top

පොද වැස්සේ ම ගේට්ටුවට තට්ටු කරන හඬක් ඇසුණෙන් මම කුඩය ද ඉහලාගෙන එදෙසට ගියෙමි.

ගේට්ටුව අරින විට ම මා දුටුවේ අඳුනන මුහුණකි.

මොකද මල්ලි මේ වැස්සෙම?

අයියව ටිකක් හම්බ වෙන්ඩ කියලයි ආවෙ

මෙවිට ම අප ඉදිරිපිට පාරේ බසයක් නැවැත්වීය. අතින් කටින් උස්සා ගෙන ඉන් බැස්සේ යාබද ගෙදරක වැඩිහිටියෙක්.

ආ මාමෙ, තෙමෙනව නේද? මා සොයාගෙන ආ මලයා දුව ගොස් කුඩය අර වැඩිහිටියාට ඇල්ලුවේය.

අයියෙ, මං මේ මාමව ගෙදරට ඇරලෝල එන්ඩ ද?

හොඳයි

මට ඔහුගේ මිනිස්කම ගැන පැහැදීමක් ඇති විය.

මම ඒ සතුටින්ම ආපසු හැරුණෙමි.

මේ තරුණයා විටින් විට මා සොයා එන්නේ හිතේ හිරවෙන දේවල් මට කියා යම් සහනයක් ලැබීමට ය. ඒ අතර මා දන්නා තැනක රියැදුරු පුරප්පාඩුවක් ඇතොත් ඒ බව තමාට දන්වන ලෙස ද විටින් විට ඔහු කියයි. තැන් තැන්වල තාවකාලික රියැදුරු රැකියාව කරන ඔහුට ස්ථිර රැකියාවක් තවම ලැබී නැත.

විනාඩි කිහිපයක් ඇතුළත ඔහු අප නිවෙසට පැමිණ අසුන් ගත්තේ අයියට කියන්ඩ හොඳ කතාවක් තියනව යි කියමිනි.

මම කුතූහලයෙන් ඔහු දෙස බැලීමි.

දවසක් මට ටෙම්පරි ඩ්‍රයිවින් වැඩක් අහුවුණා තැනක යි ඔහු කතාව පටන් ගත්තේ ය.

ඔහු කී හැටියට එය කඩවලට පාරිභෝගික භාණ්ඩ බෙදා හරින පෞද්ගලික ගබඩාවකි. එහි ප්‍රධානියාගේ හිතට ඔහු ඇල්ලූ නිසා දෝ හෙතෙමේ පහුවදා සිට සේල්ස් රෙප් වැඩේ කරන්නට පුළුවන් දැයි ඔහු ගෙන් ඇසුවේ ය.

ඔයාට ඩ්රැයිවරුයි, ගෝලයෙකුයි දෙනව. රුපියල් විසි දහක් පඩිය දෙනව. කරන්ඩ තියෙන්නෙ ගබඩාවෙන් බඩු බාරගෙන අරන් ගිහින් කඩවල්වලට බෙදල දාන්ඩ. හැබැයි, අත්පිට මුදලට. හැන්දෑවෙ මට සල්ලියි, ඉතුරු බඩු ටිකයි බාර දෙන්ඩ ඕනැ. කැමැති ද?

සේල්ස් රෙප් වැඩේ ගැන පෙර පළපුරුද්දක් නොතිබුණ ද ඔහු අලුත් රැකියාවට කැමැත්ත පළ කර පසුව දා ම වැඩට ගියේ ය.

ගබඩාවෙන් බාර දුන් බඩුවලට අස්සන් කළ ඔහු ඒවා ද පටවාගෙන ගෝලයාත් රියැදුරුත් සමඟ වැඩට බැස්සේය. දෙදෙනා තමා මෙන් ආධුනික නොවන බව ඔහුට මගදීම වැටහිණ.

රියැදුරුත් ගෝලයාත් බඩු බෙදා හැරීමේ කටයුත්ත ගැන ඔහුට දිගින් දිගටම උපදෙස් දුන්හ. ඒ උපදෙස් ප්‍රධානයා දුන් උපදෙස්වලට පටහැණි බව ඔහුට වැටහිණ.

මං කරන්නෙ බොස් කියපු හැටියට, එයානෙ මට රස්සාව දුන්නෙ. ඔයාල නෙමේනේ, ඔහු හරස් වූයේය.

අපි කියන්නෙ කෙරෙන හැටි. කවුරුත් මෙහෙම තමයි කරන්නෙ

මට ඒවයින් වැඩක් නෑ. බොස් කියපු හැටියට තමයි මං කරන්නෙ

බලමුකො කරන හැටි

ඔවුන් යමින් සිටියේ අකුරු පාරකය.

හිටි හැටියේම ලොරිය නතර විය.

ඇයි? ඔහු රියැදුරු දෙස බැලුවේය.

යන්ඩ බෑ ඉස්සරහ පාර කැඩිල. රියැදුරු කීවේය. හන්දිය පයින් යන දුරනෙ. ඔය ටික පයින් ගිහිං බිල් ටික දාගෙන එන්ඩ. ඊට පස්සෙ බඩු ටික ගිහින් දාමු.

ලොරියෙන් බැස ගත් ඔහු බිල් පොත ද රැගෙන අසල හන්දියට පයින් ගියේ ය. මුලින් ම හමු වූ කඩේ මුදලාලිට බඩු ගොඩක් අවශ්‍ය විය. ඒ දිගු බඩු ලැයිස්තුව ද රැගෙන ඔහු ආපසු ලොරියට ගියේ ය. එවිට ලොරියේ රියැදුරු සිටියේ නැත. රියැදුරු තේ එකක් බොන්නට ගියා යැයි ගෝලයා කීවේ ය. ඔහු ගෝලයා ද සමඟ බඩු තොගය ඔසවා ගෙන පෙර කී මුදලාලිගේ කඩයට ගියේ ය.

මෙච්චර බඩු එපා!

ඇයි එපා කියන්නෙ. ඔයා ඉල්ලපු බඩුනෙ බිලේ දාල තියෙන්නෙ

මං ඕව ඉල්ලුව තමයි, ඒ වුණාට දැන් ඩිංගකට කලින් ආපු කෙනෙකුගෙන් මං බඩු වගයක් ගත්ත, එයා ඔයාට කලින් ලොරියෙ වැඩ කරපු කෙනෙක්.

ඔහුට රියැදුරුගේ කපටිකම තේරුණේ ය. රියැදුරුත් කලින් රෙප් වැඩේ කළ අයෙකුත් එකතුව යටිමඩි ව්‍යාපාරයක් යන බව ඔහුට අවබෝධ විය.

ඔහු වහා තම ප්‍රධානයා අමතා සිද්ධිය හෙළි කළේ ය.

කිව්ව එක හොඳයි. ඔය වගේ සිද්ධ වෙන හැම වැරැද්දක්ම මට කියන්ඩ, එතකොට මට ඔය හොරුන්ව අල්ල ගන්ඩ පුළුවන් ප්‍රධානයා කීවේ ය.

ඔහු ගෝලයා ද සමඟ බඩුත් උස්සාගෙන ඊළඟ කඩේට ද ගියේය. ඒ කඩයේ මුදලාලිට ද සෑහෙන බඩු තොගයක් අවශ්‍ය විය.

බඩු තොගය බාර දී අත්පිට මුදල ද රැගෙන පාරට බැස්සා පමණි. මුදලාලි ඔහුට කඩාගෙන පැන්නේ ය.

ඒයි, මහත්තය මෙහෙ එනව, තමුසෙගෙ වංචාව අතටම අහුවුණා මුදලාලි කෝපයෙන් වෙවුලන්නට වූයේය.

ඔහු කඩයට ගොස් බඩු තොගය නිරීක්ෂණය කළේය. බැලූ බැල්මට බඩුවල අඩුවක් නොපෙනිණ.

උඩින් බලනකොට සබන් කැට හය පේළියට තියනව. ඒ වුණාට යට පෙළේ තියෙන්නෙ හතරයි. දෙකක් අඩුයි. මේ වගේ වැඩ කරනවට තමුසෙලට ගහල එළවන්ඩ ඕනැ මුදලාලි කෑගැසුවේය.

ඔහු මුදලාලි අස්වසා වහාම ප්‍රධානයා දැනුවත් කළේය. මුදලාලි ද ප්‍රධානයා අමතා සිදු වී ඇති දේ කියා සිටියේය. බිල් වෙනස් කර ඉතිරි මුදල් ආපසු ගෙවා දැමිණ.

කනගාටුයි මහත්තය මං ඔයාට කෑගැහැව්වට. මේක ඔයාගෙ වැරැද්දක් නෙමේ. ඔයත් වංචාවකට අහුවෙල කියල දැනුයි මට තේරෙන්නෙ මුදලාලි ද දුක් වූයේය.

ඔහු එතැන් සිට දවසේ රාජකාරිය ඉටු කළේ දැඩි ඉවසීමකිනි. තමාට වංචා කළ රියැදුරුටත්, ගෝලයාටත් ඔහු සමාව දුන්නේ ය.

හැන්දෑවේ ප්‍රධානයා හමුවී ගනුදෙනු බේරා ගන්නා අවස්ථාවේ ඔහුගේ ඇස් උඩ ගියේ ය.

ඔයාගෙ මාසික පඩියෙන් රුපියල් තුන් දහක් කපා ගන්ඩ වෙනව ප්‍රධානයා කීවේ ය.

ඇයි? ඔහු පුදුම වී ඇසුවේ ය.

බඩුවල තුන්දහක අඩුවක් තියනව.

මං වංචාවක් කළේ නෑනෙ. ඉතින් ඇයි මගෙන් කපා ගන්නෙ?

ඒක හරි. ඔයා මට වංචාවල් කීපයක් අල්ලල දීපු එක ගැනත් මං සන්තෝසයි. ඒ වුණාට මේ බඩු තොගය බාරව ගියේ ඔයානෙ. ඒ හින්ද ඒවයෙ පාඩුව කැපෙන්නෙ ඔයාගෙන්.

ඉතින් මහත්තයො මෙහෙම ගියොත් මට මාසෙ අන්තිමට පඩියක් නැති වෙයිනේ

අපි බලමු!

මේ වන විට ඔහු බඩු බෙදාහරින්නන් කරන කපටි වැඩ ගැන හොඳින් දනී.

ඔහු අවසන් වශයෙන් කී වචන දෙක තුන මගේ හදවතට කා වැදී ගියේය.

අයියෙ, ඈත ගම්වල පුංචි පුංචි කඩ තියනව. ඒව කරන්නෙ වයසක අම්මල. රෙප්ල ගිය හැටියෙ අනේ පුතේ කියල කට පුරා හිනාවෙලා පිළිගන්නව. මේ යක්කු ලියන ඉංග්‍රීසි බිල ඒ අම්මලට කියවන්ඩත් බෑ. බඩු හරිනෙ පුතේ කියල සල්ලි ටික දෙනව. ඒ අම්මල දන්නෑ අයියෙ මේ යක්කු ලොකු සබන් කැට අස්සෙ පොඩි සබන් කැට ගහල දෙනව කියල. ලොකු පැකට් අස්සෙ පොඩි පැකට් ගහල දෙනව කියල. ඒ මදිවට මේ ගොල්ලො බඩු රාක්කවල අඩුක්කරලත් දෙනවනෙ. එහෙම කරන්නෙ තමන්ගෙ වැඩේ ලේසි කරගන්ඩ මිසක් අර අම්මට උදව්වක් විදිහට නෙමේ. උන්දල හිතන්නෙ අර පුතාල හරි හොඳයි කියල. ඒත් ඒ කඩ මාස හතරින් පහෙන් වැහිල යනව, එහෙම වැහෙන්නෙ මේ පුතාල හින්ද කියල ඒ අහිංසක උන්දල කවදාවත් හිතන්නෙ නෑ.



More News »