මිතුරු හමුව

2015-12-02 10:11:00       812
feature-top
අහම්බෙන් මුණ ගැසුණු පරණ මිතුරන් දෙදෙනාගේ මුහුණ විස්මයෙන් හා මිහිරෙන් පිරී ගියේ ය.

මගෙ අම්මේ... උඹව දැක්ක කල්!

මං හිතන්නෙ අවුරුදු තිහකින් විතර පස්සේ

ඒ වගේ ඇති! ඉතිං කොහොමද? උඹ හරියට වෙනස් වෙලානෙ!

ඇයි උඹ! මං මේ නොකිය හිටියෙ.

දෙදෙනාම මහ හඬින් එකට සිනාසුණහ.

වෙනස්වෙලා කියන්නෙ වයසට ගිහිං කියන එකනෙ. ඒ කියන්නෙ අපි අවුරුදු තිස් ගානකිං නාකිවෙලා!

ඒ ඉතින් ඇඟ පතින්නෙ, හිත තාම තරුණයිනෙ

යළිත් දෙදෙනා එකට හිනා වුණා.

ඒක නෙමේ, දැං කොහොමද වාස දේස එහෙම? තාම කොළඹ ද? මොකද මේ සරමට බැහැල? විටකුත් හප - හප ගමරාල වගේ

මං කලිසම ගලෝල සරමටම බැස්ස‍. ඒක ලේසියි. මිනිස්සුත් එක්කනෙ වැඩ කරන්නෙ‍. ඉතිං බුලත් විටක් ඉබේ ම හැපෙනව.

ඒ කියන්නෙ දැන් කොළඹ නෑ. ගේ දොරවලට මොකද කළේ?

ගේයි ඉඩමයි විකුණල නිස්කාන්සු පැත්තකිං වත්තක් අරං පොඩියට ගේකුත් හදා ගත්තා. දැන් මිනිස්සු ටිකකුත් අල්ලගෙන ඒකෙ වැඩ කරනව.

අලුත් ජීවිතේ හිතට අල්ලල වගේ

ඇත්ත වශයෙන් ම හොඳයි, කවදත් මං කොළඹ කලබලකාරී ජීවිතේට අකමැති මිනිහෙක්නෙ. දැන් දෙයියනේ කියල හිතේ සන්තෝසෙන් ඉන්නව. මං වතු වගාවට කවදත් ආසයිනෙ. පොල්වලින් ආදායම එනව. ගම්මිරිස්, ඉඟුරු, අල බතල වගේ යටි වගා දාල තියනව. කුඹුරු කෑල්ලකුත් තියනව. හරක බානක් ඉන්නව. ට්‍රැක්ටරේකුත් තියනව. හැමදාම ගිය අර කාරෙකත් තියනව. ලොරි බාගෙකුත් තියනව. තෙල් බේත් ගහන්නෙ නැතුව එළවළු පලතුරු හදා ගන්නව. ඒව අපිත් කනව. රටටත් විකුණනව. වැඩ කරන මිනිස්සුන්ටත් සාධාරණව ගෙවනව. උනුත් මට ආදරෙයි. ඒ හින්ද උන් මහන්සිවෙලා වැඩ කරනව. මාත් උන්ගෙ දුකට සැපට බලනව. දරුවොත් හොඳින් ඉහළ අධ්‍යාපනය ලබනව. ඉතින් මීට වඩා සැපතක් කොයින්ද?

සන්තෝසයි. එතකොට දෙමවුපියො?.

තාත්ත නං ඒ කාලෙම නැති වුණානෙ. අම්ම තාම මම ළඟ ඉන්නව. එයාව අපි ආදරෙන් බලා ගන්නව. අම්මගෙ ආශිර්වාදෙත් උදේ හවා ලැබෙනව

ඒක කොච්චර ‍වාසනාවක්ද? එතකොට මල්ලි?

මල්ලියි දරු පවුලයි රට.

ඉතින් උඹලටත් එහෙ යන්ඩ තිබුණානෙ. ගියා නං දරුවන්ට හොඳයිනෙ.

ගියා. අපි කට්ටියම ගියා. මාස දෙකක් හිටිය.‍ දරුවන්ව එහෙ උගන්නමු කියල මල්ලි පොරේ. ඒත් මං කැමැති වුණේ නෑ.

ඇයි?

එහෙ හැම දේම හොඳයි. සුරපුරක් වගේ තමයි‍. හැබැයි ඉතින් වයසට යනකොට මහලු නිවාසෙ තමයි. මං ඒ වැඩේට කැමැති නෑ. අම්ම තාත්ත මැරෙන කල් දරුවො එක්ක ඉන්න ඕනෑ‍. දැන් ඔය අපේ අම්ම යස අගේට මං එක්ක ඉන්නෙ. මට අම්මව දකිද්දිත්, අම්මට මාව දකිද්දිත් තියන සතුටෙ නිමක් තියනවද?

ඒක නං සහතික ඇත්ත!

ඇත්තම කියනව නං මචං මං කැමති නෑ මගෙ අන්තිම කාලෙ මහලු නිවාසෙක ගත කරන්න‍. මං ඉන්ඩ ඕනෑ මගෙ දරුවොත් එක්ක ගෙදර. ඉතින් අන්තිම කාලෙ එහෙම ඉන්න ඇයි මං ඕස්ට්‍රේලියා යන්නෙ? ඒ හින්ද මං මල්ලිට කිව්ව තරහ වෙන්න එපා රජෝ. අපි ඔය ඉන්න විදිහට ඉන්නං. ඉඳල හිටල උඹලව බලල යන්න එන්නං. උඹලත් පුළුවන් හැටියට අපිව බලල යන්න වරෙල්ල කියල.

අපූරු කතාව!

අද එහෙ කොච්චර සැප වින්දත් අපේ මල්ලිටත් වයසට ගියාම ඔය මහලු නිවාසෙට යන්න වෙනව. එයාගෙ දරුවන්ටත් ඒ දරුවන්ගෙ දරුවන්ටත් කවද හරි අත්වෙන්නෙ ඒ ඉරණමම තමා. ඒත් මං කැමැති නෑ මටවත්, මගෙ දරු මුනුපුරන්ටත් ඒ ඉරණම අත්වෙනවට. දැන් අපේ අම්ම කොච්චර නැති වුණත් තාම ඔය රැජිනක් වගේ ගෙදර ඉන්නේ! අද වුණත් උන්දෑ සැර දැම්මොත් අපිව අඩි දෙක තුනක් පස්සට විසි වෙනවනෙ. වයසට යනකොට උන්දැලට ඒ ගරුත්වය ලැබෙන්න ඕනෑ. අද උන්දැට ඒ ගරුත්වය ලැබුණම තමයි ඒක හෙට මට ලැබෙන්නෙ. ඊට පස්සෙ මගෙ නෝනට, මගෙ දරුවන්ට උන්ගෙ දරුවන්ට ලැබෙයි. ඒක තමයි මචං මං දකින ජීවිතේ!

සහතික ඇත්ත මචං. සහතික ඇත්ත.

දෙබස තවදුරටත් යන්නට ඇත. මා යා යුතුව තිබිණ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »