ගුරු සුවඳ

2015-11-15 09:33:00       729
feature-top
මුළු පාසලේ ම දරුවන් ඉංග්‍රීසියෙන් කතා කරන කැටවල කනිටු පාසලට ගොස් ඔවුන් දැක බලා ගන්නට සැලකිය යුතු කාලයක පටන් මම පෙරුම් පිරුවෙමි.

පසුගිය දිනෙක ඒ සතුටුදායක දිනය එළඹිණි. මම එහි ගියෙමි.

කැටවල කනිටු පාසල පිහිටා ඇත්තේ කුරුණෑගල, මාවතගම ය.

මා එහි ළඟා වන විට අලුයම හතර හමාර වී තිබිණ. ඒ වන විට මුළු ගම ම අවදි වී හමාර ය. නිවෙස්හි විදුලි බුබුළු දැල්විණ. විදුලි පන්දම් හෝ හුළු අතු දල්වා ගත් දරු දැරියෝ පාසල් එමින් සිටියහ.

එය හිත බඳනා දසුනකි.

අලුයම පහ වන විට පාසල් ගොඩනැඟිල්ල දරුවන්ගෙන් පිරී ගියේ ය. මාපියෝ ද අඩක් පමණ වූහ.

මොහොතකින් උදෑසන ඉංග්‍රීසි වැඩසටහන ඇරැඹිණ.

දැරියක් ඉදිරියට පැමිණ මගේ ප්‍රියතම චිත්‍රපටය ගැන ඉංග්‍රීසියෙන් විස්තරයක් කරන්නට වූවා ය. හත් වන ශ්‍රේණියේ සිසුවියක වූ ඇය ඉංග්‍රීසි බස හැසිරෙව්වේ චතුර ලෙස ය. ඊළඟට කතා කිරීමට නියමිත ව සිටි සිසුවිය ඇයට පිටුපසින් සිටියා ය.

විවාදය ඇරඹුණේ ඉන් පසුව ය.

කණ්ඩායම් දෙකක් හදා විවාදයට මාතෘකාවක් ලබා දුන් ඉංග්‍රිසි ගුරුතුමා පසෙකට වූයේ ය.

මුල් කණ්ඩායම චතුර ලෙස කරුණු ඉදිරිපත් කළ අතර දෙවන කණ්ඩායම චතුර ලෙස ඒවා බිඳ දැමූහ.

මම ද ඔවුනට කාලීන මාතෘකාවක් ලබා දුනිමි.

එය ද බාර ගත් ඔවුන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් වාද ප්‍රතිවාද කරන්නට ගත්තේ හුරුපුරුදු මාතෘකාවක් අතට අසු වූ සේ ය. මට පුදුම සිතිණ.

සිංහල මාධ්‍ය පාසලක පාසලේ සියලු දරුවන් ඉංග්‍රිසියෙන් කතා බහ කරන පාසලක් මීට පෙර මා දැක නොතිබිණ.

උදෑසන ඉංග්‍රිසි වැඩසටහන අවසන් වූ පසු මම ඉංග්‍රීසි ගුරුවරයා සමඟ කතා බහ කළෙමි. මේ විස්මිත කාර්යයෙහි නිමැවුම්කරු වන ඔහු විල්බට් රණසිංහ ගුරුතුමා ය. පාසලේ සිටින එක ම ඉංග්‍රිසි ගුරුවරයා ද ඔහු ය.

රණසිංහ මහතා කී හැටියට ඔහු ගේ මේ උදෑසන ඉංග්‍රිසි වැඩසටහනට වසර 13ක අතීතයක් තිබේ. ආරම්භය බෙහෙවින් දුෂ්කර වූයේ පාසලේ දරුවන් ඇති - හැකි නිවෙස්වල සැප සම්පත් විඳි දරුවන් නොවූ නිසා ය.

කැටවල කනිටු පාසලේ දරුවෝ අහිංසකයෝ ය. ඔවුන්ගේ මාපියෝ බොහෝ විට කුලීකරුවෝ ය.

වසර 13ක් තිස්සේ පාන්දර පහට ගුරු සේවාවට වාර්තා කර ඇති රණසිංහ මහතා ඉකුත් වසර කිහිපය පුරා එකදු නිවාඩුවක් හෝ ලබාගෙන නැත.

රණසිංහ මහතාණන් නිසා ම පාසලට ලැබුණු සම්පත් රැසකි. කොළඹ රොටරි සමාජයෙන් ලැබුණු අංග සම්පූර්ණ පුස්තකාලය විශේෂ ය. මේ ගැමි දරුවන් ඉංග්‍රීසි කතා කරනු දැක සතුටු වූවන් බෙහෙවින් ආධාර උපකාර කර ඇති බව ද දැන ගන්නට තිබේ.

මා රණසිංහ ගුරු මහතා සමඟ කතා කරමින් සිටි තැනට එකොළොස් වැනි ශ්‍රේණියේ දරුවෙක් පැමිණියේ ය.

පුතේ, ඉංග්‍රිසි සර්ට ඔයා ලියපු කවිය මේ නෝනටත් ඇහෙන්ඩ එක්ක කියන්ඩකො අප ළඟ සිටි ගුරුතුමියක් සිසුවාගෙන් ඉල්ලා සිටියා ය.

දරුවා නැඟී සිටියේ ය.

කැපෙන කඩුව පුංචි අපිත්
රෑ දුටු සිහිනයක් වගේ
හුරු කරනා බව කිව්ව ම
දැනුණේ විහිළුවක් වගේ

හිතේ හයිය පෙරටු කරන්
සිදු කළ මෙහෙවර මෙලෙසට
අද අප ලොව ජය ගන්නේ
පින් සිදු වෙන්නයි ඔබ හට

උපන් රටට ණය නැතී
ඇදුරු තුමා ඔබ නිතී,

මගේ දෑස පෙඟුණේ ය.

මා රණසිංහ ගුරුතුමා, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයෙනුත්, ආදරණීය දරු දැරියන්ගෙනුත් සමුගත්තේ අපේ අනාගත පරපුරේ හැකියාවන් ගැන උපන් අහිංසක ආඩම්බරයෙන් නව පණක් ලද්දියක මෙනි.

ර‍ෙට් හැම ගුරුවරයකු ම සිය වෘත්තියේ උදාරත්වය රැක ගෙන සිසු දරු දැරියන් වෙනුවෙන් වෙහෙස නොබලා උගන්වනවා නම් පැළ ගොයම සදිසි රටේ දරු පරපුර යහමින් කිරිවද්දන එක මහ දෙයක් නොවන වග රණසිංහ ගුරුතුමා මට කියා දුන්නේ ය. එසේ නම් රට පුරා දෙමාපියන් සිය දරුවන් ගේ ටියුෂන්වලට වැය කරන කෝටි ප්‍රකෝටි මහා ධනස්කන්ධය ඔවුන් අත ම ඉතිරි වී සමාජය ද සමෘද්ධිමත් වනු ඇතැයි මට සිතේ.

ආපසු එන අතර මට සිහිපත් වූයේ ගුරු ගීතය නවකතාවේ දුයිෂෙන් ගුරුතුමාගේ චරිතය ය. රණසිංහ ගුරුතුමා ගේ සිසුවියක් විසින් සිය ඉංග්‍රිසි ගුරුතුමා ගැන ලියා ඇති අපේ යුගයේ දුයිෂෙන් පොත ද මට කියවීමට ලැබිණ.

නව යුගයේ ශ්‍රී ලංකාවකට නව අරුත සපයන විල්බට් රණසිංහ ගුරු පියාණනි, ඔබට දීගායු වේවා!



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »