සැඟවුණු ලෝකය

2015-11-08 01:33:00       723
feature-top
පසු ගිය ටිකේ ම අපේ ගෙදර මාතෘකාව වූයේ මේසන් බාස් උන්නැහේ ය.

ඔහු ගේ අවශ්‍යතාව අපට තදින් ම දැනෙන්නට වූයේ ගෙයි ඉතිරි කොටසෙහි වැඩ ඉවර කර ගැනීම අත්‍යවශ්‍ය ව පැවති හෙයිනි.

ගෙය මුළුමනින් ම සාදා නිම කර ගැනීමට අපට වත්මක් නොවී ය. එහෙයින් අප පදිංචි ව සිටියේ ගෙයි කොටසක් තනා ගෙන ය.

ඉතිරි කොටස සඳහා මුදල් සොයා ගැනීමට කලක් ගියේ ය. ඒ අතරතුර ඉඩක් ලද විටෙක අප නිවෙසට ගොඩ වැදී යෑමට ද බාස් උන්න‍ැහේ අමතක නොකළේ ය.

බාස් උන්නැහේ අපට දී තිබූ දුරකථන අංකය ද ක්‍රියාත්මක නොවී ය.

අපි එහෙනං වෙනින් අතක් බලමු ද? අම්මා ඇසුවා ය.

නොදන්න බාස්ල පස්සෙ යනවට වැඩිය නරක ද දන්න බාස්ව හොයා ගන්න එක? අනිත් එක මනුස්සයත් හොඳයිනෙ. අපි පොඩ්ඩක් ඉවසල බලමු! ම පියා තීන්දුව දුන්නේ ය.

දිනක් ඉරිදාවක අප කවුරුත් සැහැල්ලුවෙන් ඉඳින අතරේ හුරුපුරුදු මෝටර් බයිසිකලයක් ආවේ ය. අප හොයමින් සිටි බාස් උන්නැහේ හිනා කටක් පුරවාගෙන හෙල්මටය හිසින් ගැලෙව්වේ ය.

මගෙ අම්මේ, බාස් උන්නැහෙ නං ලේසියෙං මැරෙන්නෙ නෑ. අපි පහුගිය ටිකේ ම බැණ - බැණ හිටියෙ! ඇයි නහය දෑවෙ නැද්ද? ම පියා කෑගැසුවේ ය.

මහත්තේල මට බණින් නැති බව මං නොදන්නවයැ යි කියාගෙන බාස් උන්නැහේ ගෙට ගොඩ වූයේ ය.

ඇයි පහුගිය ටිකේ නාවෙ?

මට පොඩි කරදරයක් වුණානෙ මහත්තයො.

ඇයි අසනීපයක්වත් ද?

නෑ. ඊට වැඩි දෙයක්!

ඒ කියන්නෙ?

මාව හිරේ වැටුණනෙ මහත්තයො. සුමාන දෙකක් රිමන් එකේ තැප්ප!

අපි මුහුණට මුහුණ බලා ගතිමු.

මේකයි වුණේ? බාස් උන්නැහේ ම කතාව පටන් ගත්තේ ය. ඕ දවසක් මං හැන්දෑ කොරේ වැඩ ඉවර කරල ගෙදර යද්දි කාපට් පාරෙන් අතුරු පාරට හැරෙව්වයි කියමුකො. එතකොටමත් මං දැක්ක වයසක කෙනෙක් පාර අයිනෙ යනව. පුදුමෙ කියන්නෙ මහත්තයො එකපාරට ම මේ යකා පාර හරහා පැන්නනෙ. මිනිහ හැප්පිල එහාට විසිවුණා. බයිසිකලෙත් එක්ක මාව පෙරළුණා. ඕං එතකොට ම සෙනඟ පිරුණ. අර මනුස්සයව ඉස්පිරිතාලෙ පැටෙව්ව. බැලින්නං ඒ මනුස්සය පහුවදා මැරිල! පොලිසියෙං ඇවිත් මාව අල්ලගෙන ගිහිං කූඩු කෙරුව.

ෂඃ බාස් උන්නැහේට වෙච්ච කරදරේ! ම'පියා කනගාටුව පළ කළේ ය. අපි දු ඔහු සමඟ කනගාටුව බෙදා ගතිමු.

කොහොමද බාස් උන්නැහැ රිමන් ‍එකේ ජීවිතේ? ටිකකින් ම පියා ඇසුවේ ය.

ජීවිතේට පොලිසියකටවත් ගොඩවෙලා නොතිබිච්ච මට රිමන් එකේ ගතකරපු කාලෙ කවදාවත් අමතක වෙන්නෑ මහත්තයො

හැබෑට!

මං අහල තිබුණ රිමන් එකේදි ගහනව කියල. ඒ හින්ද මර බයෙං හිටියෙ. හැබැයි, එහෙම දෙයක් වුණ් නෑ. ‍මොකද මෙහෙ ආවෙ? කියල පරණ කට්ටිය මගෙන් ඇහුව. මට හංගන්ට දෙයක් නෑනෙ. මං ඇත්ත ම කිව්ව. ඒ ගමන මොකක්ද රස්සාව? කියල ඇහුව. මං කිව්ව මං මේසන් බාස් කෙනෙක් කියල. එච්චරයි. ඕං එදා රෑ තරුණ පහේ තුන් දෙනෙක් මං ළඟට කිට්ටු කළා. මට හොඳට ම බය හිතුණා. මං කිව්ව මල්ලිල මට ගහන්ඩ එපා! මගෙ අතේ වැරැද්දක් නෑ. ඒ මනුස්සය තමයි එකපාරට පාර හරහා පැන්නෙ. මට කරගන්ඩ දෙයක් නැති වුණා. කියල. ඒකෙන් අපිට වැඩක් නෑ. අයිය මේසන් බාස් කෙනෙක් කිව්වනෙ. අයිය ලොකු ගෙවල් හදනවද? තට්ටු දෙකේ තුනේ ඒව? කියල ඇහුව. මං කිව්ව ඕව් කියල. අයිය කැමතිද අපිට සෙට් වෙන්ඩ? කියල ඇහුව. මං කිව්ව මට තේරෙන්නෙ නෑ කියල. අයිය හදන ගෙවල්වල ප්ලෑන් එක අපිට දෙන්ඩ! ඒ ගෙවල්වලට වහලෙන් බහින්ඩ ලේසි විදිහ අපිට කියන්ඩ. වහලෙන් බහින්ඩ ලේසි වෙන විදිහට ගෙවල් හදන්ඩ! ගෙවල්වලට හයි කරන දොරවල් ගැන, ලොක් ගැන අපිට විස්තර දෙන්ඩ, අයියට කරන්ඩ තියෙන්නෙ එච්චරයි. අයියගෙ කොටස කෙළින් ම ගෙදරට ගෙනත් දෙන්නං. අයියට කිසිම මහන්සියක් නෑ. නිකම් ම සල්ලි අතේ! අයිය කැමතිද? කියල ඇහුව. මේ ඇත්තමයි මහත්තයො, මාව හොල්මං වුණා. මං කිව්ව මගෙ දැන් මොළේ ගිනි අරං තියෙන්නෙ. මං පස්සෙ මල්ලිලට උත්තරයක් දෙන්නං කියල. මහත්තයො මුං ගෙවල් බිඳින හොරු! පල් හොරු! රිමන් එක කියන්නෙ හොරුන්ට හොරු මුණ ගස්සන තැනක්! බාස් උන්නැහේ කීවේ අප පුදුමයට පත් කරවමිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »