දරු සම්පත

2015-11-02 10:37:00       729
feature-top
නිකිණි පාසල් නිවාඩුව එළඹෙමින් තිබිණි.

නගරයේ ප්‍රකට පාසල් දෙකක ඉගෙනුම ලබන මපුතුන් දෙදෙනා මෙන් ම මා ද ඒ නිවාඩුව එනතුරු බලා සිටියේ සතුටිනි.

මගේ ලොකු පුතු අදක්ෂ නැත. එහෙත් සතුටු විය හැකි තරමින් අධ්‍යාපන ජයග්‍රහණ පෙන්වා නැත. චූටි පුතු එසේ නැත. ඉගෙනුමට රුසියෙකි.

ඔයාගෙ පුතාල දෙන්න නං හරි ආදරෙන් ඉන්නව නේද? ඔවුන් දෙදෙනා ගෙදරින් පිටත දී එකට සිටිනු දකින කිසිවකු එසේ අසද්දී මම නිහඬ සිනාවක් පාමි. ඒ, ගෙදරදී ඔවුන්ගේ හැසිරීම මා දන්නා බැවිනි.

පාසල් නිවාඩු දෙන දිනය එළැඹිණි. ඔවුහු පාසල් ගියහ. මම ද වැඩට ගියෙමි.

මගේ හිත පිරී තිබුණේ දරුවන් දෙදෙනා කෙලෙස විභාගවලට මුහුණදී ඇද්ද යන කුහුලිනි.

දහවල් දෙක පමණ වනවිට මට ගෙදරින් දුරකථන ඇමතුමක් ආයේ ය.

අම්මෙ! ඒ චූටි පුතාගේ ප්‍රීතිමත් හඬය.

මගෙ පුතේ! කොහොමද?

හොඳයි!

පන්තියෙ කීවෙනියද?

අම්මෙ, මං පන්තියෙ පළවෙනියා!

අනේ මගෙ රත්තරං පුතා! ඔයා මට සම්පතක් පුතේ! කෝ අයිය?

ඉන්නව

එයාට දෙන්ඩ පුතේ!

අයියෙ, අම්ම කතා කරනවෝ යි චූටි පුතා ගෙතුළට කෑගෑවේ ය. ලොකු පුතා මට හෙමිහිට කතා කළේ ය.

අම්මේ

මගෙ පුතේ, ඔයා පන්තියෙ කීවෙනියද?

විසි වෙනිය. ඒ වුණාට අම්මේ මේ පාර විභාගෙ අමාරුයි. මගෙ ලකුණු ප්‍රතිශතය 72 යි. ඔහු නිදහසට හේතු කියන්නට වූයේ ය.

මම ගොළු වීමි.

හදවතේ එක පැත්තක් උද්දාමයට පත් ව තිබිය දි අනිත් පැත්ත දුකින් තැවෙයි.

හරි හරි අම්මෙ ඉතිං මං අනිත් පාර ලකුණු ගන්නංකො.

හා කමක් නෑ පුතේ, ඔයා ගිහින් බත් කන්ඩකො

සවස වැඩ ඇරිණ. මම ලහි ලහියේ ගෙදර ගියෙමි.

පුතුන් දෙදෙනාට මට කියන්නට කතා බොහොමයක් තිබිණ.

දවසේ වීරයා, චූටි පුතා මුලින් ම කට ඇරියේ ය.

අද අපූරු වැඩක් උණානෙ අම්මෙ! මං අද ප්‍රින්සිපල් සර් අතින් මගෙ රිපෝට් කාඩ් එක ගන්නකොට ළමයි වෙන කාටවත් නැති විදිහට මට අත්පුඩි ගැහුවනේ

ඇත්තට! මොකද පුතේ ඔයාට විශේෂයක්?

ඒ මොකද දන්නවද අම්මේ ලොකු පුතා පැහැදිලි කරන්නට වූයේය.

ඔන්න මල්ලිගෙ නම කියන කොටම අපේ පන්තියෙ කොල්ලො මගෙන් ඇහුව, ඕ ඔයාගෙ මල්ලිද? කියල. මං ඔව් කිව්ව. ඉතිං ඒ ගොල්ලො මටත් වඩා හයියෙන් මල්ලිට අත්පුඩි ගැහුව!

මගේ සතුට උතුරා ගියේ ය.

මම පුතුන් දෙදෙනා තරයේ වැළැඳ ගතිමි.
 

මාතලේ, ජනිතා කමලනී ෆොන්සේකා මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

සුනඛ දානය

නුවර සිට කොළඹ බලා දිවෙන උදා දුම්රිය වේයන්ගොඩට එන්නේ නවයට පමණය.

මම එය එනතුරු බලා සිටිමි. සුපුරුදු මගීහු ද තැන් තැන්වල සිටිති.

තෙවන වේදිකාවේ මා රැඳී සිටින තැන පසෙක වියපත් වෙළෙන්දියක් සිටියි. ඇය බිත්තියට පිටදී බිම හිඳ ගෙන රටකජු මුල් බඳියි. අතරින් පතර රටකජු ඇටයක් දෙකක් මුවෙහි ලා ගනියි.

මයිනෙක් ඇගේ රටකජු කූඩයට කිට්ටු කරයි. ඇය ඌට රටකජු ඇටයක් දෙකක් විසි කරයි. ඌ එය ගිල දමා කූඩයට තවත් ළං වෙයි. ඇය තවත් කිහිපයක් විසි කරයි. ඌ ඒවා ද ගිල දමා කූඩයට හොඳටම ළං වෙයි.

මෙවිට රටකජු වෙළෙන්දිය කළේ රටකජු මිටක් ගෙන ඌට කිට්ටු කොට අත්ල විදහා පෑමය. ඒත් ඌ ඊට කොටන්නට හොර කළේ ය.

කාපං! කාපං! ඉඳා කාපං! හිස එහා මෙහා නැටවූ මයිනා ගෙල දිගු කර හොටින් ඇටයක් ගත්තේ ය.

කාපං! කාපං! කාපං බං කාපං!

මයිනා එවර කෙළින්ම ඇගේ අත්ලට පැන රටකජු ගිල දමන්නට වූයේ ය.

ඉක්මනට කාපං! මට වැඩ තියනව

මොහොතකින් සියල්ල ගිල දැමූ මයිනා හඬක් නගා ගෙන ඉගිළ ගියේ ය.

වෙළෙන්දිය කිසිත් නොවූ ගාණට යළිත් තම කටයුත්තට බැස්සා ය.

මගේ සිත පහන් විය. සෙස්සන්ගේ මුහුණ ද පහන් වී ඇති සැටි මට පෙනිණ.

දුම්රිය වේදිකාවල නිදා සිටින සුනඛයන් හීං කෙඳිරියක් නගා ගෙන හිස උස්සනු පෙනිණ.

ඈ පැමිණ ඇති සේ ය.

හරියට ම මේ වෙලාවට ඇය සිවු වැනි වේදිකාවෙන් මතු වන්නීය. මම හිස හරවා එදෙස බැලීමි.

ඇය සිනාවක් පාගෙන එහි සිටින්නීය. කළු, තර මුහුණේ සුදු සිනාව ඈතට ද පැහැදිලිව පෙනෙයි.

එන්ඩ!

ඇය සුපුරුදු පරිදි සුනඛ රැළ ඇමතුවා ය.

එන්ඩ! එන්ඩ!

සුනඛ රැළ ඌ ගාමින් තැනකට රැස්ව ඈ එයිදෝ අප ඈ වෙත යා යුතු දෝ යි සිතමින් වල්ගා වනන්නට වූහ.

එන්ඩ! ඇය යළිත් ඇමතුවා ය.

එවර සුනඛ රැළ එකවරම වේදිකාවෙන් දුම්රිය මගට පැන ඒ හරහා දිව ගොස් ඒ වේගයෙන්ම සිවු වැනි වේදිකාවට ගොඩ වී ඈ වට කර ගත්හ.

ඇය මහත් ප්‍රීතියෙන් බිස්කට් පැකැට්ටුවක් දෙකක් කඩා වේදිකාවේ දෙතැනක තබා සුනඛ දානය පිරිනැමුවා ය.

මේ සංග්‍රහයට සහභාගි නොවිය හැකි වයසක සුනඛයෙක් අප රැඳී සිටි වේදිකාවේ සිට රිඳුම් කෙඳිරියක් නැගුවේ ය. අබලන් ඌට දුම්රිය මග හරහා දිව යෑම අපහසු ය.

ඔයා ඔහොම ඉන්ඩ! මං එනව! ඈ කීවා ය. ඌ ද ඒ බසින් හුරතල්ව සිය කඳ ද සමඟ වල්ගය නටවන්නට වූයේ ය.

ඇය දුම්රිය මග හරහා පැමිණ අප සිටි වේදිකාවට නැගුණා ය. සුනඛයා ද ඈ වෙත ගියේ ය.

ඔයාට දුක හිතුණ ද? ආ ඔයත් කන්ඩකො ඇය පොඩි බිස්කට් පැකට්ටුවක් කඩා ඌට කන්නට දුන්නා ය. ඌ වල්ගය වැනීමේ වේගය වැඩි කරමින් බිස්කට් හපන්නට වූයේ කම්මැලි කමිනි.

මෙය උදෑසන සුපුරුදු දසුනකි. මෙයින් මසිත සැහැල්ලුවක් ලබයි. සෙස්සන් ද එසේ ය. විදේශ සංචාරකයන් ද ඉන් මිහිරක් විඳින බව පෙනිණි.

ඇය තර ය. සතුට වැඩිකමට විය යුතු ය. ඇතැම් විට ඇය එන්නේ පිරිමියකු සමඟ ය. ඒ ඇගේ සැමියා හෝ සොහොයුරකු විය හැකි ය. ඔහු ද ඇයට උදවු කරන්නේ සතුටිනි.

හැන්දෑවේ අප වැඩ ඇරී එන බොහෝ අවස්ථාවල ඇය මරදානේ තුන - හතර වේදිකා දෙක මැද පඩි පෙළින් බසින තැනට ඔබ්බෙහි රටකජු විකුණමින් සිටිනු මම දකිමි.

රටකජු කන්නට මා එතරම් කැමැති නැත. එහෙත් ඇයට රුපියල් විස්සක් දී මම රටකජු මුලක් ගතිමි. ඒ ඇයට උදවුවක් හැටියට ය.

රටකජු මුලක් දෙකක් මිලදී ගන්නා මගියෙක් ඇතැම් විට කිසියම් දුම්රියක් ආවා දැයි ඇගෙන් අසයි.

අයියෝ, ඒක මේ දැන්නෙ ගියේ මහත්තය ඇය මගියා සමඟ දුක් වෙයි. ඒ සමඟම ඇය ඊළඟ දුම්රිය එන වෙලාව ද කියයි.

ඇය උදේට සුනඛ රැළට බිස්කට් දානයක් දෙන්නේ ඇයි දැයි මම නොදනිමි.

බොහෝ දෙනා ආසාවෙන් බලන දසුන් තිබේ. ලස්සන තරුණ තරුණියන්, විලාසිතා, නවීන යානවාහන ඒ අතර වෙයි. දිළිඳු මිනිසකු දෙස දයාවෙන් බලන කෙනකු දැකිය හැක්කේ කලාතුරකිනි. හිමිකරුවකු නැති අහිංසක සුනඛ රැළකට ආදරයෙන් සංග්‍රහ කරන ඈ බඳු උතුම් කතුන් නම් දැකීම විරල ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »