අමුතු හමුවීම

2015-10-29 08:39:00       724
feature-top

දුර බැහැර මංගල උත්සවයකට මටත් මගේ හොඳම මිතුරාටත් ඇරියුම් ලැබී තිබිණ.

අපි එහි ගියෙමු.

පිරිස අතර අප දන්නා හඳුනන අය නොසිටි ගාණය. එහෙයින් අපි හුදෙකලා වීමු.

උත්සවය චාම් ය. පෙනුණු ආකාරයට දෙපාර්ශ්වයේ ම ඥාතීන් ගේ බහුතරය අහිංසක ගැමියෝ ය. එහෙයින් දෝ උත්සවයේ කටයුතු සිදු වූයේ ඇදි ඇදී ය.

වේලාසන ම පිරිමි පක්ෂය අතුරුදහන් ව තිබිණ. ශාලාවේ ඉතිරිව සිටියේ ස්ත්‍රී පක්ෂය හා කුඩා දරුවන් ය.

කට්ටිය මෙලහකට සෙට් වෙලා ඇති ම'මිතුරා කීවේ උද්‍යෝගයෙනි.

අපි විමසිලිමත් වීමු. මිතුරා සිතූ දේ නිවැරදිය. පුරුෂ පක්ෂය ශාලාවෙන් පිටත හැංගුණු තැනක මධුවිත පානය කරමින් සිටියහ.

ඒ දුටු හැටියේ ම මසිතට දැනුණේ අපුලකි. එහෙත් මතට ප්‍රිය කළ මමිතුරා එහි යමුයි මට පෙරැත්ත කළේ ය. ඔහු ගේ තනියට මම ගියෙමි.

මිතුරා තනිය ම පදම් වූයේ ය.

ඔය ඇති දැන් යං මම කීමි. එහෙත් ඔහුට එය නෑසුණු ගාණය. ඔහු සිටියේ සිහින ලොවක ය.

මත් පැන් ගඳත්, මිනිසුන්ගේ විකාරත් නොඉවසිය හැකි වූ මම පිටතට ආවෙමි.

උද්‍යානයට යහමින් අව්ව වැටී තිබිණි. ඈත තුරු සෙවණක් විය. එහි බැංකු ද තිබිණ. බංකුවක යමකු හිඳ සිටිනු ද පෙනුණි.

මම ඒ අමුත්තා සිටි පැත්තට පිය මැන්නෙමි.

ඔහු වියපත්ය. ගරු ගාම්භීර ගතියක් දිස් විය. ඔහු අසල හිඳ ගත් මම ඔහුට මඳ සිනාවක් පෑවෙමි. ඔහු ප්‍රතිචාරයක් නොදක්වා මා නිරීක්ෂණය ‍කොට යළි ඉවත බලා ගත්තේ ය.

මම හුදෙකලා වීමි.

සෑහෙන වෙලාවකට පසු මට ඒ අසුනේ ම අඩ නින්දක් ගියේ ය. කිසිවකු මගේ උරහිසට තට්ටු කළෙන් මම ඇස් ඇරියෙමි. මා මිතුරා මා සොයාගෙන විත් ඇත.

යං කන්ඩ! ඔහු මට හිනාවක් පෑවේ ය. එහි වරදකාරී හැඟීමක් සැඟවී තිබිණ.

යං මම ද නැගිට්ටෙමි.

එකෙණෙහි ම ම‍ගේ මිතුරා ගේ ඇස් යාබද අසුනේ හිඳ සිටි වියපත් තැනැත්තා ගේ නෙතු හා ගැටිණ.

ඔහු අමුත්තා හඳුනාගත් බව පෙනිණ. ඒ සමඟ ම ඔහු ගේ මුහුණට කෝපයක් ආරූඪ විය. ඔහු කෝපය සඟවාගෙන අමුත්තා හා උස් හඬින් කතා කළේ ය.

ඔයාට මතකද ටවුන් එකේ කෙරෝලෙ බිල්ඩිමේ උඩ තට්ටුවෙ ඔයා මැත්ස් ක්ලාස් එකක් කෙරුව. ඒ කාලෙ ඔයා හරි ජනප්‍රිය ටියුෂන් මාස්ටර් කෙනෙක්.

ඔය කාලෙ අපේ ඉස්කෝලෙ මැත්ස් ගුරුවරයගෙන් අපිට වැඩක් වුණේ නෑ. එයා හරි සැරයි. බණිනව. පොත් අල්ලල විසි කරනව. එයාගෙං ටොක්කක් කෑවට පස්සෙ දවසෙ ම ඔළුව උස්සගෙන ඉන්ඩ බෑ. ඒ තරමට රිදෙනව. ඒ හින්ද අපි එයාට හරි බයයි. බය හින්ද ම ඉගෙන ගන්ඩත් බෑ.

ඉතිං කොහොම හරි විභාගෙ ගොඩදාගන්ඩ ඕනැ හින්ද මට ඕනැ වුණා ඔයාගෙ පන්තියට ගිහිං හොඳට ඉගෙන ගන්ඩ.

මං අම්මට කිව්ව අම්මෙ, මට අර සර්ගෙ පන්තියට යන්ඩ ඕනැ. ගාස්තු ගෙවන්ඩ පුළුවං ද? කියල. මොකද අපේ තාත්ත කෙරුවෙ පුංචි රස්සාවක්. ඒ පඩියෙං අපි යාන්තමින් තමයි ජීවත් වුණේ. ඒ හින්ද අම්මත් ඔය මොනව මොනව හරි කැවිලි ජාති හදල ළඟ කඩේට දාල කීයක් හරි හෙව්ව. අම්ම ඒ ගමන කිව්ව මං කොහොම හරි ගාස්තු හොයල දෙන්නං. උඹ ඒ පන්තියට පලයං කියල. ඒ හින්ද මං ඔයාගෙ පන්තියට ඇවිත් ඔයා හම්බ වෙලා සර් මාවත් පන්තියට ගන්ඩ පුළුවන්ද? කියල ඇහුව. එක පාරටම ඔයා මගෙං ඇහුවෙ, තමුසෙගෙ වාර විභා‍ෙග ලකුණු කීයද? කියල. හොඳට ම අඩුයි සර් කියල මං ඇත්තම කිව්ව. මං මේකට මොට්ටයො ගන්නෙ නෑ. තමුසෙට මේකට එන්ඩ බෑ. යනව යනව. කියල ඔයා මාව පැන්නුව. මගෙ දෑහින් කඳුළු පැන්න. මං කිව්ව සර් එහෙම කියන්ඩ එපා. මං දුර්වල බව ඇත්ත. ඒත් මං ආසයි ඉගෙන ගන්ඩ. මං මහන්සි වෙලා ඉගෙන ගන්නං. මාව බාර ගන්ඩ සර් කියල. මං කිව්වනෙ තමුසෙට මේකට මොට්ටයො ගන්නෑ කියල. මේකට ගන්නෙ දක්ෂයො විතරයි. තමුසෙ යන අතක් බලාගෙන යනව කියාගෙන ඔයා මාව ආයෙත් එළෝගත්ත.

එදා මං කොච්චර ඇඬුවද කියල කිව්වොත් ගෙදර මිනිස්සුත් රෑට කෑවෙ නෑ. ඔය විදිහට දවස් ගාණක් මං දුකෙන් ඉන්දැද්දි තමයි ක්‍රිස්ටි කියන මගෙ යාළුව අලුත් ආරංචියක් ගෙනාවෙ.

මට හොඳ මැත්ස් සර් කෙනෙක් හම්බ වුණා. එයා ආණ්ඩ‍ුවෙ ගුරුවරයෙක් නෙමේ. වෙන රස්සාවක් කරන කෙනෙක්. එයා මුල ඉඳන් ම උගන්නනව. මං නං ඒ පන්තියට යනව. උඹත් එනව ද? කියල ක්‍රිස්ටි ඇහුව. ඉතිං මාත් ක්‍රිස්ටි එක්ක ඒ පන්තියට ගියා.

ඒ සර් බැන්නෙ නෑ. ගැහුවෙ නෑ. මුල ඉඳල හොඳට ගණං ටික කියල දුන්න. අපිත් හොඳට හිතට අරං මහන්සිවෙලා ඉගෙන ගත්ත. එහෙම කරල තමයි අපි විභාගෙ ගොඩ දාගත්තෙ. මං සර්ව ගෙදරට හොයාගෙන ගිහිං කකුල් දෙක අල්ල වැන්ද? අන්න ගුරුවරු! හැම පීඩාවෙන් ම බැට කාල පන්තියෙ පිටිපස්සෙ පේළියට විසිවෙච්ච අපි ගොඩ ඇවිල්ල අද මේ වාගෙ රස්සාවක් හරි හොයාගත්තෙ ඒ වගේ සර්ලට පින් සිද්ධ වෙන්ඩයි. ඔයාව නං මං කවදාවත් ගුරුවරයෙක් විදිහට සලකන්නෙ නෑ. ඔයා ගුරුවරයෙක් නං එදා මාව පන්තියට බාර ගන්නෙ නැතුව එළෝල දාන්නෙ නෑ. ඔයා ගුරුවරයෙක් නෙමෙයි. ඔයා ටියුෂන්වලින් හම්බ කරපු බිස්නස්කාරයෙක් විතරයි. මගෙ හිතේ ඔයා ගැන සත පහක ගරුත්වයක් නෑ. අන්න ඒක ඔයාට කියාගන්ඩ ලැබිච්ච එක ගැන මට සන්තෝසයි.

මම මිතුරා පසකෙට ඇද ගතිමි.

දැං ඉතිං යමං. මගෙ හිත යට පැහැව පැහැව හිටිය දේ මට මිනිහගෙ මූණටම කියා ගත්ත. මිතුරා කීවේ ය.

මම අර වියපත් තැනැත්තා දෙස බැලුවෙමි. ඔහු ගල්පිළිමයක් සේ නිහඬව බිම බලාගත්වන ම සිටියේ ය.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති ගම්පහ ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

ජීවන සුවඳ

විශ්‍රාමික ගුරු මහත්මියගේ නව ගොඩනැඟිල්ලේ කොන්ක්‍රීට් ස්ලැබ් එක දැමූ පෙදරේරුවෝ පසුදා නො ආහ.

පසුදා ඇගේ පවුලේ හිතවතුන් දෙදෙනකු ගෙට ගොඩවූයේ ආගිය තොරතුරු දැන ගනු පිණිස ය.

අලුත් වැඩක් කරන්ඩ වගේ! දෙදෙනා නව ගොඩනැඟිල්ල දෙස බලා සතුට පළ කළහ.

ඔව්. මේකෙ ස්ලැබ් එක දැම්මේ ඊයේ ගුරු මහත්මිය කීවා ය.

ඊයේ දැම්ම නං අද ඉඳල සතියක් දෙකක් යන කං ස්ලැබ් එකට හොඳට වතුර අල්ලන්ඩ ඕනෑ. නැත්තං බොල් වෙන්ඩ පුළුවං හිතවත්තු කීහ.

ගුරු මහත්මිය සසල වූවා ය.

ඇත්තද? හරි වැඩේ තමයි! වතුර දම්මන්ඩ මේ වෙලාවේ කවුරුත් හොයා ගන්ඩ නෑනෙ. මහත්තයත් ඊයෙ කොළඹ ගියා. එන්ඩ රෑ වෙයි!

මොකක් හරි ක්‍රමයක් බලන්‍ඩකො හිතවත්තු සමු‍ෙගන ගියහ.

ගුරු මහත්මිය ගෙදර - දොරේ වැඩකටයුතුවල යෙදුණේ ස්ලැබ් එකට වතුර ටික දාගන්නේ කොහොමදැයි දස අතේ කල්පනා කරමිනි.

පෙරදා වේළෙන්නට දමා තිබූ රෙදි ටික ගෙට ගන්නට ඇය එළියට ආවේ හොඳටම හවස් වීය. ඒ අතර ස්ලැබ් එක දෙස බැලුණේ නිකමට ය.

කවුදෝ දෙදෙනකු ස්ලැබ් එක උඩට නැග වතුර බටය ආම්බාන් කරමින් ඊට වතුර දමනු ඇය දැ‍ක්කේ මෙවිට ය.

මේ කවුදැයි ඇය මොහොතක් බලා සිටියේ පුදුමයෙනි‍.

ඒ මීට දෙපැයකට පමණ පෙර ගෙදර ආ අර දෙදෙනා ය. ඇගේ හිත පහන් වී ගියේ ය.

ඇය පූජාදාස සර්රුත්, වෙද මහත්තයාත් දෙස දෑස මහත් කොට බලා සිටියා ය.

අනේ ඔයාලට පින් සිද්ධ වෙනව ඇය සිතුවා ය.

පූජාදාස සර් ද වෙද මහත්තයා ද බළංගොඩ ප්‍රදේශයේ ප්‍රකට මානව හිතවාදීහු ය.

පූජාදාස සර් මෑතක දී මිය ගියේ ය.

කරදිය වළල්ලෙහි ඉපිද බළන්ගොඩ සිහිල් කඳුකරය ජීවන පරිසරය කරගත් පූජාදාස තේනුවර සර්ගේ නාමයටත්, මාතලේ ජන්මය ලබා බළන්ගොඩ සිසිලසට පෙම්බැඳි වෙද මහත්මයාටත් මෙය උපහාරයක් වේවා!



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »