ජීවිත ඔට්ටුව

2015-10-19 09:38:00       725
feature-top
මහාචාර්යවරයෙක් සිය රියෙන් ගමනක් යමින් සිටියේ ය.

අතරමඟ දී ඔහු දුටුවේ ඇද වැටුණු මිනිසෙකි. රිය නැවැත්වූ ඔහු තුවාල ලබා කෙඳිරි ගාමින් සිටි ඒ තැනැත්තා රියෙහි නංවා ගෙන රෝහලකට ගෙන ගියේ ය.

රෝහලේ දී තුවාලකරු මිය ගියෙන් රෝහල් පොලීසිය මඟින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු තමාගේ නිරවද්‍යතාව හෙළි කළේ ය. පුද්ගලයකු ගැටුණු බවට ඔහු ගේ රියේ ද කිසිදු සලකුණක් නොවී ය. ඒ තබා මියගිය පුද්ගලයා වෙනුවෙන් ඉදිරිපත් වූවකු ද නොවූ බැවින් වැඩේ දුරදිග ගියේ නැත. එහෙත් මහාචාර්යවරයාට සතියකට වරක් පොලීසිය ඉදිරියේ පෙනී සිටීමට සිදු විය.

මේ මිනිසකු ගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ සත්පුරුෂයකුට සිදු වූ දේ ය.

මෙබඳු අත්දැකීමක් මට ද තිබේ. එහෙයින් එහි වේදනාව මම හොඳින් දනිමි.

එවක මම පාසල් සිසුවකුව සිටියෙමි. ‍

මේ කාලයේ මා පාසල් ගියේ පාසලේ ගුරුතුමියකගේ රියෙනි. (ම'පියා එහි ගාස්තුව ගෙවන්නට ඇත.)

එදින මට හොඳින් මතක ය. ඒ වැසි දිනකි. එදින ද මම සුපුරුදු පරිදි පාසල ඇරී විත් අප නිවෙස ඉදිරිපිට දී රියෙන් බැස්සෙමි.

අප නිවෙස ඇති පෙදෙසෙහි සිට ගමේ පන්සල දක්වා වූ කුඹුරු යායම ගංවතුරින් යට වී තිබිණි. පන්සල පැත්තේ වූයේ ලොකු කලබලයකි. මිනිස්සු කෑ කෝ ගසමින් ඒ මේ අත දිවූහ. මොනවා දෝ සොයා බැලූහ.

අතට ගත් පොත් මිටිය යළි රියෙහි අසුන මත අත හළ මම වහා පන්සල දෙසට දුවන්නට වීමි.

කුඩා ළමයකු අතුරුදහන්ව ඇති බව මට දැන ගන්නට ලැබුණේ එවිට ය. සමහරු ඒ වන විටත් කුඹුරු යායේ සෙවුම් - බැලුම් කරමින් සිටියහ.

මගේ පුංචි මොළයට ආ කල්පනාවකට අනුව මම වහා ම පන්සල් ළිඳ කරා දිව ගියෙමි. එය පොකුණක් මෙන් විශාල වූවකි.

ළි‍ඳෙන් දිය බුබුළු නැ‍ඟෙනු මට පෙනිණ. සපත්තු ලිහා දැමු මම වහාම ළිඳට පැන කිමිදුණෙමි.

මට කුඩා සිරුරක් අසු විය. මම එය ද රැගෙන ගොඩට ආවෙමි.

ළමයා ගේ පණ රැකිණ.

මම මගේ වික්‍රමයෙන් මහත් සේ තෘප්තියට පත් වීමි.

හැමෝ ම මා පැසසූහ.

දායක සභාවේ සභාපති ගමේ වෙද මහතා පන්සලේ යකඩ කටින් පැයක් පමණ තිස්සේ මගේ ගුණ වර්ණනා කළේ ය.

කලක් ගත වි ගියේ ය.

දිනක් පාසලේ දී විදුහල්පතිවරයා මා සිය කාර්යාලයට කැඳවීය.

ඔය ළමය හරි පහත් වැඩක් කරල තියනව. ගමේ පන්සලේ ළිඳට පොඩි එකෙක්ව තල්ලු කරල වීරය වගේ ඒ ළමයව ගොඩට ගත්ත නේද? ඒක වීර වැඩක් ද? පහත් වැඩක් ද?

මම ගල් ගැසුණෙමි. මට සාධාරණ කේන්තියක් ආවේ ය.

මං ළමේක්ව ළිඳට දාල ආපහු ගොඩට ගත්තෙ නෑ සර්. වැටිච්ච ළමයව තමයි මං ගොඩට ගත්තෙ

මම මගේ නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස අර ගුරුතුමියට ද කීමි. ඇය ද මා වෙනුවෙන් කරුණු කීවා ය.

ඔයා කොහොමද ඔය තරම් නිර්භීත වුණේ? කොහොමද පීනන්ඩ දැනගත්තෙ? විදුහල්පතිවරයා ඊළඟට ප්‍රශ්න කළේ ය.

මසිත එකෙණෙහි ම දිව ගියේ බෙංගමුවේ ගඟට ය.

සර්, අපේ පප්පට බෙංගමුවෙ වත්තක් තියනව. ඒ වත්ත ළඟින් ගඟක් ගලාගෙන යනව. මං ඒ ග‍ඟේ පීනනව. ගංවතුරෙත් මට පීනන්ඩ පුළුවන් සර්. එහෙව් එකේ ළිඳක කිමිදෙන එක මට ලොකු වැඩක් නෙමේ... මම කීමි.

ගුරුවරු පිරිසක් ද මගේ අහිංසකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුහු ද අපේ පප්පගේ වත්තේ හා ග‍ඟෙහි සුන්දරත්වය දන්නා අය වූහ.

පෙස්සම අහක ගියේ ය.

පෙස්සම ගසා තිබුණේ කවුරුන්දැයි පසුව මම දැන ගතිමි. ඒ එදා පන්සලේ ශබ්ද විකාශනයෙන් ඇසුණු මගේ ගුණ වරුණාව නොඉවසූ අයෙකි.
 

කිරිළිපනේ පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
 

බළල් පැටවු‍

ඇය රිය පදවාගෙන ආවා ය.

පාරෙහි පසෙක බළල් පැටවුන් දෙදෙනකු වැතිරී සිටින'යුරු ඕ දුටුවා ය.

අනේ පව්! ඇයට දුක සිතිණ.

රිය පසෙකට කර නැවැත්වූ ඇය ඔවුන් දෙස විමසිල්ලෙන් බැලුවා ය.

ඔවුන්ගේ කුස් ඇලී ගොසිනි. ඔවුහු හේබෑවී සිටිති.

සිය දිවා අහර මුලින් ඔවුන් ගේ කුසගින්න නිවිය යුතු යැයි ඇයට සිතිණ. රියෙන් බට ඇය අහර මුල ද රැගෙන ඔවුන් ළඟට ගියා ය.

බළල් නොදරුවෝ ඤාව් ගාමින් ඈ දෙස බැලූහ.

ඇය බත් පත දිග හැර ඔවුන් ළඟ තැබුවා ය.

පැටවු ලහි ලහියේ අහර ගිල දමන්නට වූහ.

ඇය පහන් සිතින් ඔවුන් දෙස බලා සිටියා ය.

අතු පතර බිඳෙනා හඬක් නැඟිණ. යාබද නිවෙසක කතක් වැටකින් රිංගා පාරට බැස්සා ය.

දෙදෙනාගේ නෙත් ගැටිණ.

ඇය ගැමි කතට මඳ සිනා පෑවා ය.

අහර ගිල දමන බළල් පැටවුන් දුටු ගැමි කතගේ මුහුණ රළු විය.

ඈ නෝන, ඔහේ උදෙන් ම මෙතෙන්ට බළල් පැටවු ගෙනත් දැම්ම නේද? ඔයා මහ පුදුම ගෑනියක්නෙ. ඔයාගෙ කරදර අපිට ගෙනත් දානව! යස අගෙයි!

අභූත චෝදනාවෙන් සසලව කරුණ පැහැදිලි කර දීමට බැරි තරමට අසරණ වූ ඇය මොහොතක් ගල් ගැසී සිටියා ය.

ඔයාට කටඋත්තරත් නෑ නේද නෝන? වහාම මේ බළල් පැටව් දෙන්න වාහනේට පටවගන්ඩ! වහාම!

බිය පත් ඇය රියට නැගුණා ය.

ගැමි කත කෑ ගසමින් රියට ළං වූවාය.

එවිට ම රිය වහා ඉදිරියට ඇදී ගියේ ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »