දානෙ ගෙදර

2015-10-12 10:07:00       729
feature-top

සියක් අවුරුද්දක් ආයු වලඳා මිය ගිය ආච්චි අම්මා ගේ තෙමස් පින්කම අවසන් වූයේ ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කළ අපට මහා සැහැල්ලුවක් ලබා දෙමිනි.

කවදත් හැමට ම කලින් ආපසු යෑමට බලා සිටින මද්දු නැන්දා ගේ කට ඉස්සර විය.

ලොකු මල්ලියෙ, අපි නං දැම්ම ම යන්ඩ ඕනෑ. ඔයාලත් යනව නං අපිත් එක්ක ම කුරුණෑගලට යා ගන්ඩ පුළුවනි.

අනේ මද්දුවො, උඹල යනව නං පලයල්ල! කිරි හොද්දට බහිනකං අපි නං යන්නෑ'. ලොකු මාමා හයියෙන් කෑ ගෑවේ මද්දු නගා ගේ ආත්මාර්ථකාමිත්වයට හීං පහරක් ගහන ගමන් ම පොදුවේ කාටත් විනෝදය සපයමිනි.

මොකක්ද බං ඒ කියපු හරුපෙ?

ඇයි උඹල අහල නැද්ද ඔය ඉස්සර කාලෙ ගංවල මඟුලක් - මරණයක් - දානයක් වුණා ම හතර වටෙං එන නෑයො කට්ටිය සුමාන ගානක් යනකං ඒ ගේ දාල යන්නෙ නැහැල්ලුනේ. අන්තිමේ ඒ ගෙදර උයා ගන්ඩ දෙයක් නැතු ව කිරි හොද්දට ම හි‍ඳෙනවලු. එතකොටලු කට්ටිය ආපහු යන්නෙ. අපිත් හිතාන ඉන්නෙ මෙදා පාර පොඩි මල්ලිව කිරි හොද්දට ම හින්දන්ඩ.

පොඩි මාමා ද දුන‍්නේ ඊට කැපෙන යස අපූරු උත්තරයකි.

ඉඳපල්ල ඉඳපල්ල! උඹල ඉන්නව නං කොච්චර එකක් ද? උඹලට මං කිරිහොදියි බතුයි විතරක් නෙමේ බඩ පැළෙනකල් ම කන්ඩ හොඳ සම්බෝලෙකුත් හදල දෙන්නං.

අපේ විනෝදය දෙගුණ තෙගුණ විය. අප කොක් හඬලා හිනැහෙන්නට වූයේ ඉකුත් මාස කිහිපය පුරා ආච්චි අම්මාගේ දුක ඇසුරෙහි විඳි මහා විඩාව අමතක කර දැමුවාක් මෙනි.

සමුගෙන ගියේ මද්දු නැන්දා හා සිය පවුල පමණි. අනෙක් පවුල් හතට අටට ම විසිරී යෑමට හිතක් නොවූ සේ ය.

ඕකි පුංචි සන්දියෙත් ඔය වගේ ම තමයි. ඔය ආත්මාර්ථකාමීකම හින්ද පුංචි සන්දියෙ ඕකි අපේ අම්මගෙන් කොච්චර ටොකු කාල ඇද්ද? මද්දු නගාගේ රිය නොපෙනී යන තුරු බලා සිටි ලොකු නැන්දාගේ මුවින් පිට විය.

අනේ ඉතිං මද්දු ඔහොම ගියාට ගෙදර ගිය හැටියෙ කෝල් කරනව. අපි නං කරදරයක් නැතුව ආව මල්ලියෙ, උඹලත් එක්ක නොහිට ආවට හිතටත් ලෝබයි බං කියල. පොඩි මාමා සුසුමක් පිට කළේ ය.

පවුල් හත අටේ දරු පැටවු පොල් වත්ත පුරා දුව පනිමින් කෑකෝ ගාමින් අමුතු මිහිරක් විඳිමින් සිටියහ. ඒ දසුන දිස් වූයේ පුංචි අවුරුදු උත්සවයක් ලෙස ය.

මාපියෝ ඔවුන් සෙල්ලම් කරන හැටි බලා සතුටු වූහ.

ටිකකින් පිරිස මැදට පිවිසියේ විශාල රසකැවිලි වට්ටියකි. ඒවා අතින් කටට යද්දීම ආවේ තේ කෝප්ප බන්දේසි පේළියකි.

ළමයින්ටත් තේ බොන්ඩ කතා කරමු!

ඕන්නෑ. ඔන්නොහෙ සෙල්ලං කරපුවාවෙ

හොඳට ම තෙහෙට්ටුවෙලා එන්නැතෑ. එතකොට දෙමු.

ඒක හරි. අනේ ඉතිං මේ දරුවන්ටත් නිදහසේ සෙල්ලමක් කරන්ඩ තියෙන්නෙ මේ වගේ වෙලාවක් තමයි. ඇයි ගෙවල්වල සෙල්ලං කරන්ඩ යැ. හැම තිස්සෙ ම පන්ති! පන්ති!!

එසේ ඇරැඹුණු මාතෘකාව පැටලුණේ අධ්‍යාපන අර්බුදයේ ය.

එක්තරා ජාත්‍යන්තර පාසලක ඉගෙන ගනිමින් සිටි දරුවකු ගේ ඉගෙනුම හිටි හැටියේ අවසන් වූ ශෝක ජනක කතාව පැන නැගුණේ මේ අවස්ථාවේ දී ය.

එය කෙටියෙන් මෙසේ ය.

මේ පාසලේ පන්තියක දඟ ළමයෙක් සිටියේ ය. ළමයා කෙතරම් දඟ ද යත්: හැමදාම ඔහු පන්තියේ සෙසු ළමයින්ට පහර දුන්නේ ය. ළමයාට එරෙහිව පන්තියේ දරුවන්ගෙන් පමණක් නොව ඔවුන් ගේ දෙමාපියන්ගෙන් ද විරෝධය නැගිණ. එය පාසලට ද ලොකු ප්‍රශ්නයක් වූයේ ය. අවසානයේ පාසලේ බලධාරීන් ප්‍රශ්නය විසඳුවේ දරුවා පාසලින් ඉවත් කර දමමිනි.

දරුවන් ඉබේ ම දඟයන් වන්නේ නැත. ඊට හේතු බිහි වන්නේ වැඩිහිටියන්ගෙනි. ළමයා එහි ගොදුරකි. අවසානයේ සිදු වන්නේ අධ්‍යාපනයේ අවසාන අරමුණ හෙවත් යහපත් පුරවැසියකු බිහි කිරීම පසෙක තබා අනාගත යහපත් පුරවැසියා අඩපණ කර දැමීම ය.

අපරාදෙ! ඒ දරුව ගැන වගකීමෙන් හිතන එක්කෙනෙක්වත් හිටියෙ නැද්ද?

ඉස්කෝල කියන්නේ ළමයින්ව ගොඩනඟන තැන්. ඇයි මෙහෙම වෙන්නෙ?

මේ අනුන්ගේ දරුවකු වෙනුවෙන් මේ නෑ පිරිස දුක් වූ අයුරු ය.

මේ පිරිස මැද විශ්‍රාමික ගුරුවරයෙක් ද සිටියේ ය. ඔහු දරුවන් ගැන වගකීමෙන් වැඩ කළ එක්තරා විදුහල්පතිවරයකු ගැන අපූරු කතාවක් මතක් කළේ ය.

ඒ මෙසේ ය.

මේ කියන ප්‍රාථමික පාසල පිහිටා තිබුණේ දුප්පත් ගම්මාන කිහිපයක් මැදිකොටගෙන ය. මේ පාසල ආරම්භ වූයේ දරුවන් පංචශීලයෙහි පිහිටුවා බුද්ධ පූජාව ද තැබීමෙන් පසුව ය.

බුද්ධ පූජාව වශයෙන් තබන ලද්දේ බනිස් ගෙඩි කිහිපයකි.

සිරිතක් විදිහට ම මෙහි බුද්ධ පූජාව අතුරුදහන් වෙමින් තිබිණි.

විදුහල්පතිවරයා දිනක් රහසේ ම සැඟවී සිට බුද්ධ පූජාව සොරකම් කරන්නවුන් කවුරුන්දැයි සැක හැර දැන ගත්තේ ය.

එදින අවසාන කාල පරිච්ඡේදයේ දී ඔහු ඉන් දරුවකු කැඳවා බුද්ධ පූජාව කෑවේ ඇයි දැයි ඇස‍ුවේ ය. මුල දී නැහැ යි කීවද දෙවනුව වරද පිළිගත් දරුවා මින් මතු ඒ වරද නොකරන බව කියා ඒ ගැන කිසිවකුට නොකියන ලෙස අයදමින් හැඬුවේ ය.

මං මේක රහසක් හැටියට තියා ගන්නං. මට කියන්ඩ ඇයි ඔය ළමය ඒක කෑවෙ කියල.

බඩගින්නට සර්, අපේ ගෙදර කන්ඩ නෑ.

වෙන වෙන ම ප්‍රශ්න කරන ලද සෙසු දරුවන් දෙදෙනාගෙන් කියැවුණේ ද මෙබඳු ම දේ ය.

ඊළඟ සතියේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඒ කෙරෙහි ඔවුන් ගේ අවධානය යොමු කරවීය. එහිදී එතෙක් සැඟවී තිබූ දේ ද එළියට ආවේ ය.

හවස පන්ති තියන දවස්වල අපිට ගෙදරින් ගෙනාපු බත් මුල කන්ඩ විදිහක් නෑ සර් ගුරුවරියක් කීවා ය.

ඇයි? විදුහල්පති ඇසුවේ ය.

බඩගින්නෙ ඉන්න ළමයි බලාගෙන ඉන්නකොට අපි කොහොමද සර් කන්නෙ. ඒක ඒගොල්ලන්ට ම දීල අපිත් බඩගින්නෙ ඉන්නව.

උත්තර නොසෙවිය හැකි ප්‍රශ්නයක් හමුවේ ගුරු පිරිස මොහොතක් නිරුත්තර වූහ.

මේ අතර ඉතා හැඟීම්බර ගුරුවරු කීවේ උදේට තම නිවෙස්වල පිසින අහර ප්‍රමාණය මදක් වැඩි කොට ඒ කොටස ගෙනැවිත් මේ දරුවන්ට දිය හැකි බව ය.

අවසානයේ විදුහල්පතිවරයා සිය මතය ප්‍රකාශ කළේ මේ අයුරිනි.

අපිට කරන්ඩ පුළුවන් එක ම දේ මේ දරුවන්ට උගන්නන එක විතරයි. කොච්චර ප්‍රශ්න තිබුණත් අපි මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමු. එතකොට ඒගොල්ලො ඒ මාර්ගයෙන් ජීවිතය ජය ගනීවි.

පිරිස මේ කතාව අසා සිටියේ බණ කතාවක් ශ්‍රවණය කරන පරිද්දෙනි.

අන්න ඒ වගේ ගුරුවරුත් ඉන්න රටක් මේක.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »