ගොවිපළේ නෑයෝ

2015-10-05 09:24:00       724
feature-top

ළා හිරු කිරණ, කෙසෙල් පඳුරේ පුළුල් පත් අතරින් රිංගා ජනෙල් පියන් මත පතිත වෙමින් තිබේ.

සාලයේ බිත්ති පුරා දේදුනු දහසක් නටයි. ඒ දේදුනු මැවෙන්නේ ජනෙල් රාමුවේ එල්ලා ඇති පලිඟු බෝලය විනිවිද එන හිරු කිරණිනි. බෝලය සුළඟට යාන්තමින් පැද්දෙයි.

මා දැන් එළියට බැසිය යුතු ය. තේ දලු නෙළීමට තිබේ.

මොහොතකින් නව උදෑසන මා ඉදිරියේ ය.

තලගොයා යාබද පස් කණ්ඩියේ ඇති උගේ බෙනයෙන් එළියට ඇදෙන්නේ හිරු රැස් තපිනු පිණිස විය යුතු ය. ඒ ඇසිල්ලෙහි විදුලියක් මෙන් ඉගිළ ආ පිළිහුඩුවෙක් උගේ හිසට කොටා වහා ඒ වේගයෙන් ම ඉගිළ යයි. අන්ද-මන්ද වූ තලගොයා ආපසු බෙනයට දිව යනු පෙනේ. බෙනයට රිංගූ ඌ යළිදු හිස එළියට දැම්මේ සිදු වන්නේ කුමක් දැයි තේරුම් - බේරුම් කර ගනු පිණිස විය යුතු ය. ඒත් පිළිහුඩුවා යළිදු වේගයෙන් විත් දෙවන කෙටුම ද කෙටුවේ ය.

මම ඒ මොකදැයි විපරම් කළෙමි. කුරුලු පැටවුන් කිහිප දෙනකුගේ කිචි බිචියක් යාබද තැනෙකින් ඇසෙයි. මට කාරණය වැටහිණි. මම තේ දලු නෙළුමට බැස්සෙමි.

ගත වූයේ මොහොතකි. නැඟුණේ ඊට වෙනස් කිචිබිචියකි. මම කඩුල්ල දෙස බැලීමි. ඒ අසල කුඩා දරුවන් පෙළකි.

මම කුහුලින් එදෙසට ගියෙමි. විදුහල්පතිතුමා ද, ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් ද දරුවන් සමඟ කඩුල්ලෙන් පිටත සිටිති. ඒ ගැටකොස්ගහහේන ධර්මාශෝක ප්‍රාථමිකයේ අයයි.

ප්‍රදීප් මහත්තය, අපි ආවෙ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගෙට වැදගත් වෙන ගෙවත්තක් බලා ගන්නයි. ඒ වගේම ගහකොළ ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලබා ගන්නයි. ඒකයි අපි ප්‍රදීප් මහත්තයගෙ වත්ත තෝර ගත්තෙ විදුහල්පතිවරයා සිනාවක් පායි.

ආ එන්ඩ සර්, කලින් දවසකත් මතක් කළානෙ. එන්ඩ! කට්ටියම එන්ඩ! මම කඩුල්ල විවර කළෙමි.

දරුවෝ පෝලිමට අප ගෙවත්තට ඇතුළු වෙති. ගේ ඉදිරිපිට නිල්ල ගැසුණු ගොයම පිස එන සනීප සුළඟ ගත සිත පොබ කරයි.

දරු පිරිස එළවළු පාත්ති නරඹමින් පෙළින් පෙළට යති, පලතුරු ගස් අතරින් රිංගා යන මම ඔවුනට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයත්, කාබනික ‍දියර පොහොර නිෂ්පාදනයත් ගැන කිසියම් අවබෝධයක් ලබා දෙමි.

ඒ අතර මට යමක් සිහිපත් වෙයි. මම වහා ගෙට ගොස් ඔවුන් වෙනුවෙන් ගෙනැවිත් තිබූ ටොෆී පාර්සලය රැගෙන එමි. ඒ සමඟම එය දරුවන් අතර බෙදී යයි, ඔවුහු ටොෆී රස විඳිමින් මට සවන් දෙති.

ඉන් පසු මා, ඔවුන්ට අවබෝධයක් ලබා දුන්නේ ගෙවත්තක පාවිච්චි කෙරෙන ආයුධ වර්ග ගැන ය. පායන කාලයේ දී ප්‍රයෝජනයට ගනු පිණිස සකසා ඇති ජල ටැංකිය කාගේත් සිත් ගත්තේ ය.

අනතුරුව මම දරු පිරිස ස්වයංජාත ඇල් වී වගා කර ඇති කුඹුරට කැඳවාගෙන ගියෙමි. මට මේ ඇල් වී ලබා දුන්නේ මිතුරෙකි. එය අඩි අටක් පමණ උස වී ගසකි. ඉරිඟු ගසට සමානය. එක ගොයම් ගසකින් සහල් ග්රූම් 500 ක් පමණ ලබා ගත හැකි බව මිතුරා කී අයුරු මට මතක ය. මෙහි සහල් ඇට පැළවීම ද විශේෂත්වයකි.

අප ගෙවත්තේ විකල්ප බඳුන් වගාව ද නිවෙසින් බැහැර වන ජලය කොහිල, කන්කුන්, මුගුණුවැන්න වැනි වගාවන් සඳහා යොදාගෙන ඇති අයුරු ද කාගෙත් සිත් ඇද ගනු පෙනිණ.

සත්ත්ව පාලන කොටස ද දරුවන්ගේ සිත් ගත්තේ ය. එහි ජමුනාපාරි වර්ගයට අත් එළුවෝ කිහිප දෙනෙක් සිටිති. උන් ගේ කන් අඩි එකහමාරක් පමණ දිග ය. ඔවුහු දරුවන්ගේ නොමඳ ආදරයට ලක් වූහ.

මේ සත්තු මං සත්ත්ව ඝාතනාගාරෙකින් නිදහස් කර‍ ගෙන ආපු අය මම කීමි.

අනේ පව් දරුවෝ අනුකම්පාවෙන් උන් දෙස බැලූහ.

දරුවෝ සතුනට අහර දෙන්නට ද වූහ. මම ඒ දසුනින් ලොකු සතුටක් වින්දෙමි.

මේ ඓතිහාසික ගමන සිහිපත් කරනු පිණිස විදුහල්පතිතුමා පොල් පැළයක් ද රෝපණය කළේ ය.

සමුගැනීමේ මොහොත එළඹියේය.

අපි ගෙවත්තෙන් නෙළා ගත් නැවුම් පලතුරු යොදා තැනූ සිසිල් බීමකින් පිරිසට සංග්‍රහ කළෙමු.

විදුහල්පතිතුමාගේ ස්තුති කතාවෙන් පසු දරු පිරිස විසිර ගියේ අලුත් යමක් ජීවිතයට එකතු කර ගැනීමේ සතුටිනි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »