ලොකු අම්මා

2015-09-28 11:10:00       725
feature-top
මා ඒ නිවහනට ගොඩ වූයේ නෑයකු ගේ ප්‍රතිකාරයකට වුවමනා බෙහෙත් පැළෑටි වගයක් සොයා ගනු පිණිස ආගන්තුක ගම් පෙදෙසක බොහෝ වේලාවක් ඇවිද ලද මහන්සිය නිවා ගනු පිණිස ය.

වතුර ටිකක් බොන්ඩ පුළුවන් ද? මම කඩුල්ල ළඟ සිට නිවැසියන් ඇමතීමි.

බල්ලෙක් බුරා ගෙන පැන්නේ ය.

මම බියෙන් හැකිළුණෙමි.

බය වෙන්ඩ එපා! එයා හපන්නෙ නෑ කියමින් මා අසලට ආවේ මිත්තණියකි.

ඇගේ කොණ්ඩය සුදෝසුදු ය. ඇය ඇඳ සිටි ඇඳුම ද සුදු ය. මුහුණ පින් පාට ය. වයස හැඟවුණේ බෙල්ලේ හා දෑතේ වැටුණු රැළිවලිනි.

යං පුතේ ගෙට!

ඇය මා සිය නිවහනට කැ‍ඳෙව්වා ය.

ඉපැරණි වලව්වක හැඩරුව ගත් ඒ නිවහනෙහි ආලින්දයේ තිබූ වේවැල් පුටුවක වාඩි වූ මට අමුතු සිසිලක් දැනිණ.

ඇය මට පිවිතුරු ජල වීදුරුවක් පිරිනැමුවා ය.

පින් සිද්ධ වෙන්ඩ ඕනැ යි කියමින් මම එය ගුඩුස් ගුඩුස් හඬින් ගිල දැමුවෙමි.

පුතා කොහෙ ද? ඇය ඇසුවා ය.

අනේ ලොකු අම්මෙ, මං ටිකක් ඈත කෙනෙක්. මං මේ අපේ නෑයෙකුට බේත් බඩුවක් හොයා ගන්ඩ ආ ගමන්. මගෙ මෝටර් බයිසිකලෙත් ගෙදරක තියලයි මං අර කන්ද නැග්ගෙ මම කීමි.

මගේ බලාපොරොත්තු කඩවීම ගැන ඇය ද දුක් වූවා ය.

අපරාදෙ පුතා ආපු එකේ තව ටිකක් ඇවිදල බැලුවනං නේද හොඳ?

ෂඃ පුතාට උදවුවට අරින්ඩ කෙනෙකුත් ළඟ පාතක නෑනෙ. හැමෝම වැඩට - පළට ගිහිල්ල

කමක් නෑ ලොකු අම්මෙ, මං ආයෙත් කන්ද නැගලම යන්නං. වතුර පිපාසෙත් ඇරුණනේ. මං ගිහිං එන්නං ලොකු අම්මෙ මම ඇයට සමු දීමට නැගිට්ටෙමි.

අනේ පුතේ චුට්ටක් ඔහොම ඉන්ඩකො කී ඇය වහා ගෙතුළට ගියා ය.

ඈ ආපසු ආවේ රසකැවිලි බන්දේසියක් අතැතිව ය. එය මා අසල ටීපෝව මත තැබූ ඇය කන්ඩ පුතේ කන්ඩ! ඕව මං හදපුව. මේ තාමත් උණුයි කියමින් හැලපයක් මා අතේ තැබුවා ය.

මම කෑල්ලක් කෑවෙමි. රස නහර පිනා ගියේ ය.

රහයි මම කීමි.

මං ටග් ගාල පුතාට තේ එකක් හදාගෙන එන්නං. පුතා ඇති තරං කන්ඩ!

ඇය යළි ගෙතුළට වැදුණේ කිටී, ටොමී, ඔයාල මාමට කරදර නොකර මෙහාට එන්ඩ! යි කියමිනි. එබස ඇසූ බල්ලාත්, පූසාත් ඈ පසුපසින් ගෙට දිව ගියහ.

ගිය හැටියේම වාගේ බල්ලා ගේ වටෙන් ඉස්තෝප්පුවට ආයේ මා ගැන සැකයෙන් විය යුතු ය. මම ඌට ජුඃ කීමි. ඌ වල්ගය යාන්තමට සොලවා බිම වැතිරුණේ ජිල් බෝල දෙකක් බඳු දෑසින් මා හොඳින් නිරීක්ෂණය කරමිනි.

වැඩි වෙලාවක් නොගොසින්ම ගෘහිණිය තේ කෝප්පයක් අතැතිව මා ළඟට ආවා ය.

කන්ඩ පුතේ කන්ඩ! තව කන්ඩ! ඇය යළිත් මට පෙරැත්ත කළේ තේ කෝප්පය නොනිවීමට පීරිසියෙන් වසා තබා ය.

හරිම රහයි ලොකු අම්මෙ මං දෙකක්ම කෑව

තව කන්ඩ පුතේ තව කන්ඩ. දැන් ආයෙත් කන්ද නගින්ඩ එපායැ. කන්ඩ! තව කන්ඩ!

ඇගේ පෙරැත්තයෙන් බේරීමට බැරි තැන මම තුන්වැනි හැලපය ද අතට ගතිමි.

මේ ආගන්තුක සත්කාරයෙන් ඇය වින්දේ අසීමිත ප්‍රීතියකි. ඇය උතුරා යන සතුටින් යුතු ව පුටුවකට බර දුන් හැටියේ ම පූසා ඇගේ ඔඩොක්කුවට පැන්නේ ය.

ඇයි පුතේ ඔයාටත් ඕනැ ද? ඔයා බඩ පිරෙන්ඩ කාල කිරිත් බීලනෙ ඉන්නෙ කියමින් ඕ පූසා ගේ හිස පිරිමදින්නට වූවා ය. ඌ ද ඤාව් ගාමින් හුරතල් වූයේ ය.

මෙවිටම බල්ලා ද දුවගෙන විත් ඇගේ උකුලෙහි දෑත තබා සිය හිස ඈ තුරුලෙහි සඟවන්නට වූයේ ය.

ආ ඔයාට ඒ ගමන ඉරිසියා හිතුණ ද? කී ඇය උගේ හිස පිරිමදින්නට වූවා ය. ඌ ද වල්ගය නටවමින් ඌ! ඌ! යි ගාමින් හුරතලය පෙන්නුවේ ය.

මේ අමුතු අත්දැකීම මට බොහෝ මිහිරි විය.

මා තේ කෝප්පයේ රස විඳින්නට වූයේ ඈ සමඟ කතා කරමිනි. ඇය ද සිය තොරතුරු නොවළහා හෙළි කරන්නට වූවා ය.

ඈ වූකලි මිත්තනියකි. ඇගේ දරුවෝ විවාහ වී වෙන්ව ගොසිනි. සැමියා මිය ගිය ඇය මේ පරණ ගෙදරම හුදෙකලාව වෙසෙයි. අද ඇගේ ගෙදර දරුවන් වී ඇත්තේ මේ බල්ලා සහ පූසා ය.

මාසෙකට විතර සැරයක් මගෙ දරුවො මාව බලන්ඩ එනව එයාලගෙ දරුවොත් එක්ක. ඇවිත් දවසක් දෙකක් ඉන්නව. ඒ ගොල්ලො වටවෙච්චම මට තියෙන්නෙ පුදුම සතුටක්!

ඉතිං ලොකු අම්මට පුළුවන්නෙ මාරුවෙන් මාරුවට දරුවන්ගෙ ගෙවල්වල ඉන්ඩ.

ඒ ගොල්ලොත් ඔය කතාවමයි කියන්නෙ. ඒ වුණාට පුතේ මේ ජීවිතේ මටත් පහසුයි, ඒගොල්ලන්ටත් පහසුයි. අපි ජීවත් වෙන්ඩ ඕනැ කාටවත් බරක් නොදැනෙන්ඩනේ

ඇගේ චින්තනය ගැන මම පැහැදුණෙමි.

මං මගෙ පැන්ෂන් එකෙන් ජීවත් වෙනව. මහත්තයගෙ පැන්ෂන් එක දෙකට බෙදල අහිංසක දක්ෂ ළමයි දෙන්නෙකුගෙ උසස් අධ්‍යාපනයට වියදම් කරනව. ඒ ගොල්ලොත් ඉඳල - හිටල මාව බලන්ඩ එනව. ඒ දරුවොත් මගෙ දරුවො වාගෙම තමයි හරි කරුණාවයි

මට දැනුණේ ඇය මගේ මිය ගිය මව ලෙස ය. මම ඇගේ දෙපා නැමැද සමු ගතිමි. ඇය මා හිසට අත තබා සෙත් පැතුවා ය.

ඇය මා සමඟ කඩුල්ල ළඟට ආයේ හුරතලුන් දෙදෙනා ද සමඟ ය.

මං ආයෙ දවසක ලොකු අම්මව බලන්ඩ එන්නං

ගෙදර අයත් එක්ක එන්ඩ පුතේ

ඇය එසේ කියමින් ම මා අත සිලිකවරයක් තැබුවා ය.

මොනවද ලොකු අම්මෙ මේ?

ඔය හැලප ටික ගෙදර අයට ගිහින් දෙන්ඩ, ඕව ආදරෙන් හදපුව.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »