ගුරු පුවරුව

2015-09-21 09:29:00       724
feature-top

මීට සති කිහිපයකට පෙර නෙළුම්විලෙහි ගුරු දෙවියෝ යන හිසින් වටිනා ලිපියක් පළ විය. ඉන් කියැවුණේ ගමේ පාසලක ඇද වැටෙමින් තිබු බිත්තියකට තම ජීවිතය බිලි දී සිසු දරුවන් ගේ ජීවිත බේරා දුන් උතුම් ගුරු පියකු ගැන ය.

වාරියපොළ, තඹරව, මලගනේ, සෝමපාල කරුණානායක නමැති මහතකු ගේ නමින් පළ වූ අදාළ ලිපිය යට පහත සඳහන් සංස්කාරක සටහන ද පළ විය.

මේ සිද්ධිය ගැන දන්නා අයකු ඒ කතාව විස්තර සහිතව නෙළුම්විලට ලියා එවන්නේ නම් මැනවි

මා මේ ලිපිය ලියන්නේ ඒ ඉල්ලීම ඉටු කරනු පිණිස ය.

මා ඉපදී ඇත්තේ 1957 දී ය. මේ කියන ඛේදවාචකය සිදු වූ 1958 වසර වන විට මා පසු වී ඇත්තේ බිලිඳු වියේ ය. අද මගේ වයස 61 කි.

නොබෝදා ගුරු පත්වීම් ලද නවක ගුරු පිරිසක් ඉදිරියේ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශ‍යෙන් මම කතාවක් කළෙමි. යට කී ගුරු දෙවියා පිළිබඳ කතාව මා හෙළි කළේ ඒ අවස්ථාවේ දී ය.

මා අත්පොත් තැබූයේ මගේ ගම් පියස වූ මහව ඇඹෝගම කනිටු විදුහලෙනි. එදවස ඇඹෝගම කනිටු විදුහල් ප්‍රධාන ගොඩනැගිල්ලේ එක් බිත්තියක සවිකර තිබූ අනුස්මරණීය සටහනක් නිතර මගේ නෙත ගැටෙමින් තිබිණ.

ඒ සටහන මෙසේ ය.

1958. 7. 10 දින ඇති වූ මාරුතයේ දී පාසල් සිසු කැල රැකීමෙහි ලා තම ජීවිතය දානය කළ හේරත් මුදියන්සේලාගේ ලීලාරත්න ගුරු මහතා සිහිවීම පිණිස

එහෙත් එදවස ළපටි වියේ සිටි මට එය තේරුණේ නැත. එහෙයින් මම එහි තේරුම කුමක් දැයි ගෙදර ගොස් කිරි අත්තාගෙන් විමසීමි. කිරි අත්තා මට ඒ වින්නැහිය තේරුම් බේරුම් කර දුන්නේ ය.

ඒ මෙසේ ය.

සුපුරුදු පරිදි එදින ද පාසල පටන් ගැනිණ. වෙනදා තිබූ උදෑසන සිරිය පරිසරයේ නොවී ය. අහස අඳුරු වෙමින් පැවතිණි.

පාසලේ වූයේ එකම ගොඩනැඟිල්ලකි. එය තනා තිබුණේ වරිච්චි බිත්තිවලිනි. දරුවෝ එහි අකුරු කරමින් සිටියහ.

ගොඩනැඟිලි වහලේ පොල් අතු දිරා ගොස් තිබිණ. එහි වහල අලුතින් හෙවිල්ලනු පිණිස ගම් වැසියන් විසින් එක් රැස් කරන ලද පොල් අතු ගොඩ ද පාසල් බිමේ පසෙක දක්නට ලැබිණ.

පාසලේ දහවල් විවේකය ද ළංව තිබිණ.

කෙමෙන් අහස කළු පැහැ ගැන්විණ. සියොත් ගී ගොළු විණ. සුළඟ තද විය. එය හිටි හැටියේ චණ්ඩ මාරුතයක් බවට පත් විය.

අවට පොල් ගස්වල කරටි ඇඹරිණ. මොර ගෙඩි තරම් දිය බිඳු කඩා වැටිණ.

මාරුතය දරුණු විය. මහ වැසි ඇද හැලුණේ ය.

බිය පත් ළමයි පොල් අතු ගොඩනැඟිල්ල තුළ උනුන් හා තුරුලුව සිටියහ. ඉහළ ගල් කන්දේ සිට ආ දිය පහරින් පාසල් බිම යට වී ගියේ ය.

ලොකු මහත්තයා සිටියේ රාජකාරියකට අධ්‍යාපන කාර්යාලයට ගොසිනි. චණ්ඩ මාරුතය හේතුවෙන් ඔහුට ද ආපසු පාසලට ඒමට හැකි වූයේ නැත. පාසලේ වගකීම පැවරී තිබුණේ ලීලාරත්න ගුරුතුමාටය.

සුළඟ දැඩි වත්ම පාසලේ උස වරිච්චි බිත්තිය සෙලවෙන්නට වූයේ ය. වහා සිය දෑතින් බිත්තිය ඇද වැටීම තර කොට වළක්වා ගත් ලීලාරත්න ගුරුතුමා පාසල් දරුවන්ට මෙසේ කෑ ගැසුවේ ය.

දරුවනේ, එළියට දුවපල්ලා! ඒ මොහොතේම දරුවෝ එළියට පැන වැස්සේ තෙමෙමින් ගහක් යටට දුව ගියහ.

දරුවන් එහි දුව ගියා පමණි. වරිච්චි බිත්තිය ඇද වැටුණේ ය. ලීලාරත්න ගුරුතුමා ඊට යට විය.

දරුවන්ගේ විලාපය ගම සිසාරා ගියේ ය.

ගැමියෝ දුව ආහ.

පාසල් ගොඩනැඟිල්ල ඇද වැටී තිබිණ.

අනේ අපේ ඉස්කෝලෙ මහත්තය යට වුණා! දරුවෝ කෑ ගසා කීහ.

ගම්මු වහ වහා පස් ගොඩ අයින් කරන්නට වූහ. අවසානයේ ලීලාරත්න ඉස්කෝලෙ මහතාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ගම්මු සිය දෝතින් ඔසවා ගත්හ.

වැස්ස තුරල් විය. සුළඟ නැවතිණ. පාසලක් නොවීය. දරුවෝ මිය ගිය ගුරු පියා වට කොට හඬා වැටෙමින් සිටියහ.

ගුරු පියකු දරු කැල වෙනුවෙන් සිය ජීවිතය පූජා කළේ එසේ ය.

මේ කතාව මා නවක ගුරු පිරිස හමුවේ කියා පෑවේ ගුරුවරයකු සතු උත්තම ගුණාංග ගැන කියා දෙනු පිණිස ය.

මේ විපත සිදු වූයේ හැට වසරකට කලිනි.

පසු කාලයේ මේ පාසලට අලුත් ගොඩනැඟිල්ලක් ලැබිණි.

මෑත කාලයේ මම එහි ගියෙමි.

අර පුවරුව මගේ නෙත ගැටිණ. මා ඒ වදන් කිහිපය කියැවූයේ සැලෙන හදිනි.

ලීලාරත්න ගුරු තුමනි, ඔබ ගුරු දෙවියෙකි.

ඔබට නිවන් සුව පතමි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »