මිනිස් මහිම

2015-09-14 09:07:00       725
feature-top
හතරට පහට නවන ලද කළු පොලිතින් මල්ලක් මඟ යන - එන්නන්ගේ පයට පෑගෙමින් තිබුණේ පෙර දා හවස සිට ය. සිය සාප්පුවේ හුන් මංගල මෙය හොඳින් දුටුවේය.

හැන්දෑවේ සාප්පුව වසා දමන්නට එළියට බට මංගල ගේ පයේ ද ඒ කරදරකාර පොලිතින් මල්ල පැටලුණේ ය. මොන කරදරයක් දැ යි සිතුණ ද ඔහු නැමී එය අතට ගත්තේ නිකමට ය.

අතට දැනුණේ කිසියම් බරකි. ඒ සමඟ ම හිතට ආවේ අමුත්තකි. ඔහු කුහුලින් ම මල්ල දිග හැර බැලුවේ ය.

පුදුමයෙනුත් පුදුමයකි!

රුපියල් පන්දාහේ නෝට්ටු තොගයකි.

මංගල වහා එය ගණන් කර බැලුවේ ය. හරියට ම අනූ පන් දහසකි. බැංකු පොතක් ද ණයවර පතක් ද, හැඳුනුම්පතක් සහ ණයවර පතෙහි රහස් අංකය සඳහන් කොළයක් ද ඒ අතර තිබිණ.

මේ අරුමය දැක කුහුලින් මංගල ළඟට ආ කිහිප දෙනෙක් ඔහුට අපූරු යෝජනා වගයක් කළහ.

ඕව විසි කරල සල්ලි ටික තියා ගනිං!

විසි කරන්ඩ එපා! සල්ලි අරං ඕව ටික තැපැල් කරල දාපං!

හැබැයි, ගෙදරට යවන්ඩ එපා! බැංකුවට යවපං!

සියල්ල හිනාවෙන් ඉවසූ මංගල සාප්පුව වසා දමා ගෙදර ගියේ ය.

සල්ලි මිටිය ඇහිලූ කතාව ගෙදර ප්‍රධාන මාතෘකාව බවට පත් විය.

බැංකු පොතේ ඇඩ්‍රස් එක තියනවනේ. හෙට උදේ ම හොයාන ගිහිං මේක දීල දාන්ඩ ඕනැ! මංගල කීවේ ය.

ඔව් අනේ, අහිංසකයෙකුගෙ සල්ලි වෙන්ඩ ඇති බිරිය සඳමාලි ද ඔහුට දිරි දුන්නා ය.

පසු දා උදේ ම මංගල සිය මිතුරකු ද සමඟ අර ලිපිනයේ සඳහන් සමරසිංහ ‍හොයාගෙන කිලෝ මීටර හත අටක දුරක් ගියේ ය. එහෙත් ගෙදර අංකය ලිපිනයේ සඳහන් නොවීම නිසා දහවල් වනතුරුත් සමරේ සොයා ගැනීමට බැරි විය.

බැරි ම තැන දෙදෙන ගම්වැසියකු ගේ පිහිට පැතූහ.

අන්න අතන මළ ගෙදරකට හාල්, පොල් එකතු කරනව. එතන අපේ අවමංගල්‍යාධාර සමිතියෙ ලේකම් මහත්තය ඉන්නව. උන්නැහැ මේ පැත්තේ හැමෝව ම දන්නව. ගිහිං අහල බලන්ඩ'. ගැමියා ඔත්තුවක් දුන්නේ ය.

දෙදෙන ගොස් ලේකම් මහත්තයා හමු වූහ.

ආ... මේ අර සමෘද්ධි බැංකුවට පිටිපස්සෙ ගෙදර ඉන්න සමරෙනේ. ඔහොම යන්ඩ... ලේකම් මහත්තයා පාර පෙන්නුවේ ය.

මිතුරෝ දෙදෙන සමරෙගේ ගේ දොරකඩට ගියහ. එහෙත් ගෙදර කිසිවෙක් නොවීය.

අලුත් විදුලිබිල ගෙදර විදුලි මීටරයේ රඳවනු ලැබ තිබිණ. මංගල එහි නමත්, බැංකු පොතේ ඇති නමත් සැසඳුවේ ය. නම් දෙක අගේට පෑහිණ.

යාබද කඩයක් විය. දෙදෙන එහි ගොස් සමරෙ ගැන විමසූහ.

සමරෙ මේසන් වැඩකට යන්ඩ ඇති. එයාගෙ නෝනත් ඔය කොහාට හරි ගිහිල්ල ඇති මුදලාලි කීවේ ය.

මිතුරන් දෙදෙනා ආපසු හැරී යන්නට වූයේ පසුව දා පැමිණ සමරෙ හමුවන අදහසිනි.

එහෙත් පසු දා මංගලට කලින් යොදා ගත් වැඩක් තිබිණ. එහෙයින් සමරේ සොයා යෑම පැවරුණේ මිතුරාට ය.

පසුව දා මිතුරා සමරෙගේ ගෙදරට යන විට ද සමරේ නොසිටියේ ය. සිටියේ බිරිය පමණි.

මේසන් වැඩකට සමරෙ හොයාගෙනයි ආවෙ. කෝ? මිතුරා බිරියගෙන් විමසුවේ ය.

එයා ගෙදර නෑ.

එවිට ම වාගේ සමරේ ආපසු ගෙදර ආවේ ය.

ආ සමරෙ අපි ඔයාව හොයාගෙන ඊයෙත් ආව.

පොඩි වැඩකට ගියා මහත්තයො

ඒක නෙමේ, කෝ ඔයාගෙ අයිඩෙන්ටිය?

ඒක නැතිවෙලානෙ

අන්න ඒක මහත්තයෙක් ළඟ තියනව. ගිහිං ඉල්ල ගන්ඩ! කී මිතුරා මංගල ගේ ගෙදරට යන පාර කියා ආපසු ගියේ ය.

හැඳුනුම්පත ලබා ගැනීමේ වුවමනාව තදින් ම දැනුණු සමරේ අමුත්තා කී මග තොරතුරු ඔස්සේ පසු දා උදයේ ම මංගල හොයාගෙන ඔහු ගේ ගෙදරට ගියේ ය.

දෙදෙනා මුණ ගැසුණ හ.

කොහොමද ඔයාගෙ හැඳුනුම්පත නැති වුණේ? මංගල ඇසුවේ නිකමට ය.

සමරෙ දිග කතාවක් කීවේ ය.

‍ඒ මෙපරිදි ය.

සමරෙ කලකට පෙර සිය ගෙයත්, ඉඩමත් උකසට තබා පොඩියට කොහු මෝලක් පටන් ගත්තේ ය. දවසක් හදිසියේ ම එහි විදුලි මෝටර් දෙකක් පිච්චී මෝල නැවතුණේ ය. ඒ සමඟ ම සමරෙගේ බලාපොරොත්තු සියල්ල කඩා වැටුණේ ය. මානසිකව ඇද වැටුණු හෙතෙමේ ඉඩමෙන් කොටසක් විකුණා උකස පියවා, ඉතිරි මුදල බැංකුවේ දැම්මේ ය.

මෝල කර‍ගෙන යා නොහැකි හෙයින් ඔහු මේසන් වැඩට බැස්සේ ය. එහෙත් කොන්දේ අමාරුවක් හැදුණු නිසා එය ද දිගට ම කරගෙන යා නොහැකි විය. ජීවත් වෙන්නට රස්සාවක් කළ යුතු ම වූ හෙයින් මාළු වෙළෙඳාමට බැසිය යුතු යැයි ඔහුට සිතිණ. ඊට මෝපෙඩ් බයිසිකලයක් මිල දී ගත යුතු යැයි සිතූ සමරෙ බැංකුවෙන් රුපියල් ලක්ෂයක් ආපසු ගෙන බයිසිකලයක් මිල දී ගැනීමේ නගර සංචාරය ඇරඹුවේ ය. ඔහු සතුව පැවති සියලු වත්කම මහ මග වැටී තිබුණේ මේ ගමනේ දී ය.

හෙට්ටිපොළින් ගමන පටන් අරගෙන රවුමක් ගහල ආයෙත් හෙට්ටිපොළට ම ඇවිත් මහන්සියට තේ එකක් බොන්ඩ කඩේකට ගියාමයි දෙලෝ රත්වුණේ! මොන දෙයියට කියන්ඩ ද? බැංකුවට ගිහිං කාඩ් එක අවලංගු කරව ගෙන මෝපෙඩ් එක ගන්ඩ තව ලක්ෂෙකුත් අ‍රගෙන ගෙදර ගියා. මේ වගේ වගක් ගෙදරට කිව්වෙත් නෑ...

ඔහොම ඉන්ඩකො කියූ මංගල ගෙට ගොස් ආපසු ආයේ අර කළු පොලිතින් මල්ල ද රැගෙන ය.

පොලිතින් මල්ල දුටු හැටියේ සමරෙ ගේ ඇස් උඩ ගියේ ය.

මේක ඇතුළෙ සේරම ඇති! මංගල එය සමරෙට දිගු කළේ ය. සමරෙ වහා එය අතට ගෙන කුහුලින් දිග හැරියේ ය.

සල්ලි මිටිය ද, බැංකු පොත, හැඳුනුම්පත ඇතුළු හැම දේ ම එහි විය.

ගණං කරල ම බලන්ඩ! මංගල කීවේ ය.

සමරෙ නෝට්ටු ගණන් කළේ ය. අනූපන්දහස නිවැරදිව තිබිණ.

සමරෙ මංගල දෙස බැලුවේ දෙවියකු දෙස බලන්නා සේ ය.

මං කවදාවත් හිතුවෙ නෑ මහත්තයො මේ සල්ලි මට ආපහු ලැබෙයි කියල. මහත්තය නං දෙවි කෙනෙක්! සමරෙ ගේ දෑස් පෙඟුවේ ය.

එකෙණෙහි ම සමරෙ සිය මුදල් මිටියෙන් කොටසක් වෙන්කොට සුරතට ගත්තේ ය.

මහත්තය මේ සල්ලි ටික තියාගන්ඩ! මං මේ සන්තෝසෙට දෙන්නෙ.

මංගලට පොඩි හිනාවක් ගියේ ය.

පිස්සු ද? එහෙනං මට සේරම තියාගන්ඩ තිබුණනෙ

ඒ කතාවට දෙදෙනාට ම හිනා ගියේ ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »