දිරිය මව

2015-09-07 09:23:00       730
feature-top
ඇය මා නෙත ගැටුණේ රෙදි පිළි වෙළෙද සලක දී ය.

මට ඒ වත හුරු පුරුදු ය.

ඇය ද මා දෙස බලා සිටියා ය. මා මුව මෙන් ම ඈ මුව ද පළල් විය.

ඈ මා කරා ආවා ය.

හඳුනනව ද? මම ඇසීමි.

ඒක තමයි ළඟට ආවෙ ඇය කීවා ය.

අපි අතීතය සිහිපත් කරන්නට වීමු.

ඒ මීට දශක තුනකට පමණ පෙර යුගයකි. එවක අප සේවාව කළේ ගාලු පෙදෙසහි ය.

අපි ගාලු ආයේ මාතර සිට ගාලු කුමාරි දුම්රියෙනි. එවක අපට යහළු යෙහෙළියෝ බොහෝ වූහ.

ඇතැම් දිනවල දුම්රිය පිටත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දීත් ඇය ආවේ නැත. මම විමසිලිමත් වීමි. ඒ අන්තිම නිමේෂයේ ඇය දුවගෙන එන හැටි දකින මගේ හිතට අස්වැසිල්ලක් ලැබෙයි.

අද්දන දුම්රියට නැගීම බිහිසුණුය. ඇය බොහෝ විට නැග්ගේ එසේ ය. මෙයින් දුම්රිය සේවකයන් කෙතරම් කරදරයට පත් වී ද යත් සිදු විය හැකි අන්තරායයෙන් ඇය බේරා ගනු පිණිස ඔවුහු වේදිකා ගේට්ටුව වසා දැමූහ.

පමා වීමට හේතු ඇයට ඕනෑ තරම් විය.

ගෙදර වැඩ සියල්ල කළ යුතු ය. දරුවන් පාසල් යැවිය යුතු ය. කරදර දහසකි. සියලු වැඩ කර, සියලු කරදර විඳ දුම්රියට ගොඩවන්නට දුවගෙන එන්නට සිදු වන්නේ අන්තිම මොහොතේ ය.

ඇතැම් දිනවල ඇය එන්නේ අවුරුදු දෙක හමාරේ පුංචි පුතු ද කැටුවය. රෑ හරි හැටි නින්දක් නැති බැවින් ඇය දුම්රියේ දී නිදි කිරා වැටෙන්නී ය. එවිට අසල සිටින මිතුරියක් ඇගේ පුතු තම තුරුලට ගනියි.

දරුවන්ගේ ඉරුණු ඇඳුම් මසන්නට ද ඇයට වෙලාවක් නැත. ඒවා ද දුම්රියට ගෙනැවිත් යද්දී එද්දී මසන්නට ඇයට සිදු වී තිබිණි.

ඒ එදා ය. සියලු දුක් අතීතයට ගියා සේය.

ඉතින් කොහොම ද? මම අසමි.

හොඳින් ඉන්නව ඇය සතුටින් සිනා සෙන්නී ය.

අද ඇගේ දියණිය වෛද්‍යවරියකි. පුත්තු දෙදෙනා ම ඉංජිනේරුවෝ ය. ලොකු පුතා සිටින්නේ විදේශයක ය. ඇය ද ඔවුන් හා විටෙක එහි යයි.

එදත් ඇයට සම්පත වූයේ ඇගේ දරුවන් ය. අදත් ඇගේ සම්පත ඒ දරුවන්මය. ඇය දරුවන් ගැන කතා කරන්නේ හද පිරී යන සතුටිනි.

අප සමු ගත්තේ ද සතුටිනි.

මගෙන් සමුගෙන ඉවත ඇදී යන ඈ දෙස මා බලා සිටියේ ගෞරවයෙනි.

සැබෑ දිරිය මවක්!

ඔව් මිතුරිය, මම ඔබට ඒ ගෞරවය පිළිගන්වමි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »