හැන්දෑවක හිමිදිරිය

2015-08-31 10:37:00       725
feature-top

හිමිදිරිය බෙහෙවින් සොඳුරු ය.

මම ළා හිරු එළියෙන් පැහැ ගැන්වුණු වෙල් එළියේ සුන්දරත්වය නරඹන්නට වීමි.

දැන් එහි කෙළවර ද හොඳින් පෙනේ. ඒ අපේ ගමේ අනිත් අන්තය යි.

අපේ කුඹුරු යාය පිහිටියේ එහි ය. මා හිත ගොවිතැන කෙරෙහි බැඳී ඇතත් ඒ හුරුව පමණක් නොව හයිහත්තිය ද දැන් මට නැත. හුරුවත්, හයිහත්තියත් ඇත්තෝ ඒවා වැඩ කර අස්වනු උපද්දවති. සිය මහන්සිය ගෙන අපේ කොටස ගෙනැවිත් දෙති.

අම්මා ඒ කොටසට කීවේ පරවේණිය කියා ය.

දැන් අම්මාගේ වයස හරියට ම අවුරුදු සියයකි.

ඇගේ සිය වැනි ජන්ම දිනය සමරනු පිණිස කොළඹින් පිරිසක් ආහ.

හාමුදුරුවරු දීගායු පැතූහ.

මා ඇගේ දෙවැනි පුතු ය.

සෙසු සොහොයුරන්ගේ මිතුරෝ ආචාර්ය මහාචාර්යවරු ය. ඒත් හැමෝම වාගේ විශ්‍රාමිකයෝ ය. ඔවුහු ඇය දැක බලා වැඳ සමුගෙන ගියහ.

සිය සමකාලීන සරසවි මිතුරන් සමඟ පැමිණි මල්ලිලා මට ද වැන්දහ. කීමට අමුතු දෙයක් නොවූ බැවින් මම අම්මා කී පරිදිම බුදු සරණයි! දෙවි පිහිටයි කීමි.

අයියෙ අපි ගිහින් එන්නම්

විද්වත්හු මගෙන් ද සමු ගත්හ.

හොඳයි

කාර් පෙළ නික්ම යනු පෙනිණ.

වපුරා ඇති කුඹුරුවල නියරවල් දිගේ එළවළු බීජ හිටවන ගොවියෝ කාර් පෙළේ සිරි අසිරි විඳිමින් සිට යළි සිය වැඩට බැස්සහ.

මම ඔවුන් දෙස බලා සිටියෙමි. නැමෙන දිග හැරෙන ඒ ඉරියව් නෙත් බඳියි.

කළු මහත්තයෝ...!

ඒ හඬ අමිල ගේ ය. ගොවීන් අතර සිටින ඔහු මා දෙස හැරී සිටියි.

ආස ද එළවළු හිටවන්න? ඔහු යළිත් ඇසුවේ ය.

ආසයි! ඒත් ඉතිං අපේ කුඹුරු මෙහෙ නෑනෙ මම කීමි.

ඉතිං මේ තියෙන්නෙ මගෙ කුඹුරු! හිටවන්න බැරියැ!

ඔහු මගේ ආශාව පුබුදු කළේ ය. මම යාබද වෙ‍ෙළඳ සලට ගොස් එළවළු ඇට පැකට් කිහිපයක් ගෙන ඔහුගේ කුඹුරේ නියරක ඒවා හිටවන්නට වීමි.

හිරු එළිය ටිකින් ටික සැර වේගන එයි.

අම්මා ගේ බාල නැගණිය, දයා පුංචි විශ්‍රාමික තැපැල් නෝනා වන කුසුම් පුංචිත් සමඟ අම්මා බැලීමට එනු පෙනේ. ඔවුහු මුත්තාගේ තෙවැනි බිරිය ගේ දරුවෝ ය. මුත්තා ගේ තෙවැනි බිරිය මොරවක අක්කා ය. ඇයට දූවරුම දහයකි.

දෙදෙනා නියරේ බීජ වපුරන මා දැක හිනැහෙති.

පුතාට දැන් ද වවන්න හිතුණෙ?, මම නිහඬවම සිටියෙමි. අමිල ද ඔවුන් ගේ හිනාවට එක් වෙයි.

සමහරු මා එළවළු බීජ සිටවන අයුරු තම ෆෝන්වලින් ඡායාරූප ගත කරති.

මගේ කටයුත්ත ඉවර නැත, මෑ ඇට, රාබු ඇට, කැකිරි ඇට තවත් ඉතිරිය. මම ඒ සියල්ල නියරක තබා ගොඩට විත් ඔවුන් හා කතා කළෙමි.

අපි යනවා. ගිහින් එන්නම්! ඒ මුහුණුවල ඇත්තේ හිනාවකි.

මම ද ගෙදර ගොස් ඇඟ පත සෝදා ඇඳ පේවී අම්මාට වැන්දෙමි.

ඕ කුහුලින් මදෙස බලා සිට අනතුරුව තමා ළඟ සිටි අසූ හැවිරිදි මගේ අක්කා දෙස බලා මෙසේ මිමිණුවා ය.

කවුද ඒ?




Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »