සෝයුරු පවුල

2015-08-24 08:51:00       723
feature-top
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ...

පැදුරු සාජ්ජය දිගට ම යයි.

සංගීතය සපයන්නට ආ කිහිප දෙනා හැර මේ පැදුරු සාජ්ජය එකම පවුලේ සහෝදර සහෝදරියන් ගෙන් හා දූ දරුවන් සමූහයා ගෙන් සැදුම් ලද්දකි.

පවුලේ සහෝදර සහෝදරියන් දස දෙනෙකි. ඔවුන්ගේ බිරියන් ද සැමියන් ද දස දෙනෙකි. මේ විස්සේ ලොකු කුඩා දරු දැරියන් විසි හතරකි. පවුල් ඒකකයේ මුළු සාමාජික සංඛ්‍යාව හතළිස් හතරකි.

සාජ්ජය උණුසුම් වෙයි. හැමෝම ගී ගයති. තාලය අල්ලති. සාජ්ජය පැවැත්වෙන සොහොයුරා ගේ නිවෙස දැන් එකම රස සාගරයකි. ‍

පැය කිහිපයක් එක දිගට ඇදී ගිය සාජ්ජය නිමාව දකිත්ම භෝජන සංග්‍රහය ඇරැඹෙයි.

බාහිර ඇත්තන් ද සමඟ පනහක් හැටක් පමණ වූ මේ පිරිසට අහර පිළියෙල කැරෙන්නේ ද මේ නිවෙසෙහි ය. පිරිස වෙනුවෙන් තාවකාලික මඩු ඇවැසි නොවේ. මේ සොහොයුරාගේ ගෙය මෙන් ම හැම සොහොයුරු සොහොයුරියකගේම නිවහන තනා ඇත්තේ ඥාති සමූහයාට ඉඩකඩ, සැප පහසුව සැලසෙන අයුරිනි.

සංග්‍රහය නිමා වෙයි. දැන් ඇත්තේ සමුගැනීමේ අවස්ථාවයි. ඊට පෙර කඩිමුඩියේම ඒ ඒ අයට බත් මුල් බැ‍ඳෙයි නිවෙස්වලට ගොස් ඊළඟ අහර වේල සකසා ගන්නට කාල වේලාව නැති බැවින් ඒ අහර වේල ද මෙයින් ම පිරිමසා ගැනීම සිරිතකි.

මාපියන් ජීවතුන් අතර නැති මේ පවුලේ අද ප්‍රධානයා වී සිටින්නේ වැඩිමල් සොහොයුරා ය. එහෙයින් සෙසු හතළිස් තුන් දෙනාම ඔහුට වැඳ සමුගත යුතු ය. ඊළඟ සොහොයුරාට හතළිස් දෙදෙනකු වැඳිය යුතු ය. බාලම දරුවා වැඩිමලුන් හතළිස් තුන් දෙනකුට වැඳිය යුතු ය. මේ ව්‍යායාමයට සෑහෙන වේලාවක් ගත වෙයි.

මේ අපූරු සහෝදර පවුලේ පියා රාජ්‍ය සේවකයකු ව සිටියේය. දුර බැහැර සේවාව සිදු කළ හෙයින් ඔහුට ගෙදර ඒමට සිදු වූයේ මසකට පමණ වරකි. මාසයේ මුළු පඩියම බිරිය අත තැබූ හේ පසු දා පහන්දොරම සිය රාජකාරි ස්ථානය බලා යෑමට පුරුදුව සිටියේය. එහෙයින්දෝ මේ දරුවන් දස දෙනා තුළ සිය පියාණන් කෙරෙහි ඇති ගෞරවනීය මතකය සිහිනෙන් ගෑ සුවඳක් මෙනි.

අම්මා හුදු ගෘහිණියක පමණක් ම නොවූවා ය. දරුවන් දස දෙනාගේ මුළුමහත් බරට උර දී සිටියේ අම්මා බැවින් දරුවන් තුළ ඈ පිළිබඳ මතකය අවුකන පිළිමය සේ නැඟී සිටින්නේ ය.

එදා ඒ මෑණියන් සිය දරුවන් දස දෙනාගේ සිත් තුළ තැන්පත් කළ නිදන් වස්තු රැසකි. මේ ඉන් කිහිපයකි. හොඳට ඉගෙන ගන්න ඕනැ. දෙපයින් නැගී හිටින්න ඕනැ. හොඳ රස්සාවක් හරි, ව්‍යාපාරයක් හරි කරන්න ඕනැ. ගෙයක් - දොරක් හදා ගන්න ඕනැ, කඩිසර වෙන්න ඕනැ, දහ දෙනා දහ දෙනාට උදවු කර ගන්න ඕනැ. පවුලෙ හැමෝම හැමදාම සතුටින් එකට ඉන්න ඕනැ...

දරුවෝ කවුරුත් ඒ ඔවදන්හි පිහිටා සිටියහ. මවගේ මඟ පෙන්වීම හා උනන්දු කරවීම නිසාම සිය නැණස පාදා ගත් මේ දරුවෝ හැමෝම අද ඉහළ රැකියා, වෘත්තීන් හෝ ව්‍යාපාර කරති; තම දරුවන් ද එමගෙහිම යවමින් සිටිති.

මේ සහෝදර පිරිස මසකට වරක් හෝ දස දෙනාගෙන් එක් අයකු ගේ නිවහනට එකතු වෙති. ඒ එකතුවට අපූරු හේතුවක් ද පෑදෙයි. ඒ එක්කෝ පින්කමකි. පිරිතකි. දානයකි. උපන් දින සාදයකි. නැත්නම් පැදුරු සාජ්ජයකි. හේතූන් විවිධ විය හැකි ය. එහෙත් එකතුවම මූලික ය.

ඔවුන් පවුලේ අරමුදලක් ද පිහිටුවාගෙන තිබේ. හැමෝම තමන්ට නියමිත මුදල මාසිකව ඊට එක් කළ යුතු ය.

එකතුවට ඇරියුම් කෙරෙන්නේ මෙසේ ද විය හැකි ය.

පොඩි මල්ලියෙ අපේ චූටිගෙ උපන් දින පාටිය ලබන සඳුදා රෑ. එදාට වැඩ මොකුත් දාගන්ඩ බෑ හරි ද?

හරි අක්කෙ

කතා කර කර ඉන්ඩ වෙලා නෑ. අනිත් අයටත් කියන්ඩ ඕනැ නේ. නවතිනව. බුදු සරණයි!

බුදු සරණයි!

හැබැයි, කල්වේලා ඇතිව ඒමට නොහැකි වුවහොත් බැණුම් ගොඩකි.

පොඩි මල්ලියෙ, තවම මොකද නැත්තෙ? හැමෝම ඇවිත්නෙ. ඇයි පරක්කු?

මග එනව අක්කෙ. වාහනේ කැඩුණ! ත්‍රීවිලර් එකක් හොයාගෙන ටග් ගාල එනව.

උත්සවය පැවැත්වෙන ගෙදරට කල්වේලා ඇතිව පැමිණ වැඩ කටයුතුවලට උදවු වීම කාගේත් යුතුකමකි. පමාවීම සමාවට නොව ලජ්ජාවට කරුණකි.

ඥාතීන් පැමිණෙන වාහනවලින් වත්ත පිටිය ද පාර අයින් ද පිරී යයි. ඔවුන් ගේ සිනා හඬින් ගෙදරම පිරී ගොසිනි. සතුට, සෙනෙහස, නෑ සුවඳ දෝරේ යයි.

පවුලේ පියා කලකට පෙර මිය ගියේය. අවමඟුල ඉතා ඉහළින් ම සිදු විය. පියාගේ මරණින් පසු මව තනි නොකළ එක්තරා දරුවෙක් වහාම ඇය තම නිවෙසට කැඳවාගෙන ගියේය. එහෙත් මවට වැඩි දවසක් එහි විසිය නොහැකි විය. දියණියක් ඇය සොයා ආවාය. අම්මෙ යං අපේ ගෙදර කියමින් ඇය මව සිය නිවෙසට කැඳවාගෙන ගියාය. මවට එහි ද වැඩි දවසක් සිටිය නොහැකි වූයේ තවත් දරුවකු ඇය සිය නිවෙසට කැඳවාගෙන යෑමට පැමිණි බැවිනි. මවට සලකන්නට දූ දරුවෝ පොරකන්නට වූහ. හැමෝටම සාධාරණය ඉටු කළ යුතු යැයි සිතූ මව එතැන් පටන් හැමෝගේම ගෙවල්වල මාරුවෙන් මාරුවට නැවතී සිටීමට පුරුදු වූවාය.

මව මිය යෑමට පෙර ඉඩකඩම් කොටස් එකොළහකට බෙදන ලදි. එකොළොස් වැනි කොටස හිමි වූයේ මවට ය. එය විකිණීමෙන් ලද මුදලින් ඇය සිය ගමේ පන්සලේ ධර්ම ශාලාව ගොඩ නැංවූවා ය.

මවගේ අවමඟුලට අති විශාල සෙනඟක් ආහ. එහි වියදම දරුවන් අතරේ සමසේ බෙදී ගියෙන් කිසිවකුට වැඩි බරක් දැරීමට සිදු නොවීය.

මාපියන්ට අදාළ වාර්ෂික පින්කම් ද ඉහළින් සිදු වෙයි.

ඔන්න තාත්තගෙ ලබන පින්කම අපේ ගෙදර දරුවෙක් කල්තියාම කටයුත්ත බාර ගනී.

එහෙනං ඊළඟ එක අපේ ගෙදර

ඔයාල විතර ද පින් කර ගන්නෙ? අපිටත් දෙන්ඩකො

ඒ සොඳුරු පොරයකි.

මේ අපූරු පවුලෙන් රටට ගත හැකි ආදර්ශ බොහෝ ය. පවුලේ ප්‍රශ්නය් ඇති වුවහොත් සියලු දෙනා ම රැස්ව සාකච්ඡාවකින් තීරණ ගැනීම ඉන් එකකි. සමූහයා එකතු වන අවස්ථාවලදී රට ගොස් සිටින්නන් වුව සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වීම, සාමාජිකයකුගේ උපන් දිනය දා උදෑසන හැමෝම ඔහුට සුබ පැතීම ආදිය ඒ අතර වෙයි. අදාළ තැනැත්තා කළ යුත්තේ ආසිරි විඳ ගනු පිණිස උදෑසනම ටෙලිෆෝනය අසලට යෑම පමණි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »