"/>

විකල් නැටුම

2015-08-10 10:03:00       723
feature-top


මේ ගෙදරත් ඒ ගෙදරත් පිහිටියේ ළඟ ළඟ ඇති පුංචි කඳු ගැට දෙකක් මත ය. ගෙවල් දෙක ඉදිරියෙන් ම ඇත්තේ බෑවුම් දෙකකි. බෑවුම් දෙක හමුවන තැන කුඩා දිය පාරක් ගලා බසියි.

මේ ගෙදර ඇත්තෝ නගරය කිට්ටුවෙන් ගත් ඉඩමක අලුතින් ගෙයක් හදාගෙන පදිංචියට ගියහ. එතැන් පටන් මේ ගෙදර කුලී නිවෙසක් බවට පත් විය.

ඒ ගෙදර ද පරණ පවුල විසිරී ගොසිනි. එහි හිමිකම පැවරී ඇත්තේ බාලයාට ය. ඔහු සිය නිවෙස කිට්ටුව කාර්මික වැඩපොළක් පවත්වාගෙන ගියේ ය.

හොඳට ම මහන්සි වී හැන්දෑවේ ගෙදර එන ඒ ගෙදර මිනිසා පසුදාට වැඩ කරන්නට ගතට සිතට ප්‍රාණයක් ලැබ ගන්නේ මදු විත තොල ගාන අතර, වේග රිද්ම ගී උස් හඬින් අසමිනි.

මේ ගෙදර කුලියට ගත් අය ආසා කළේ නිස්කාන්සු දිවියකි. එහෙත් එහා කන්දෙන් ආ වේග රිද්ම සින්දු කරදරය මේ කන්දට වැදුණේ කන් අඩි දෙදරවාගෙන ය.

කරදරයෙන් පීඩාවට පත් මේ ගෙදර කට්ටිය ඒ ගෙදර මිනිසා සමඟ හිත හොඳින් ප්‍රශ්නය බේරා ගන්නට උත්සාහ කළත් බැරි විය. එහෙයින් ඔවුහු වෙනත් ගෙයක් සොයා ගෙන යන්නට ගියහ.

මේ ගෙදර පාළුවට තිබුණේ ටික දිනකි. අලුත් පවුලක් එහි පදිංචියට ආහ.

සින්දු කරදරය නැවත පැන නැංගේ ය.

මෙදා සැරේ මේ ගෙදර කුලියට ගත් පවුලේ පියා ද වැඩ ඇරී ගෙදර විත් නිස්කාන්සුවේ රැය ගත කිරීමට ආසා කළේ ය. සින්දු කරදරය දැන දැන ම ඔහු මේ ගෙය කුලියට ගත්තේ මෙබඳු තැනක් හෝ කුලියට ගැනීමට නැති නිසා ය.

සින්දු සද්දෙ මට ප්‍රශ්නයක් නෙමේ ගේ කුලියට ගනිද්දී ඔහු බය නැතිව ම කීවේ ය. එහෙත් ප්‍රශ්නයේ ඇති බරපතළ බව ඔහුට වැටහුණේ පදිංචියට ආ පසුව ය. ඔහු මුල දී ඉවසුවේ ය. එසේ වුව ද ඉවසීමේ සීමාවක් තිබිණ. තම දරු පවුලේ නිස්කාන්සුව එහා ගෙදර මිනිසාගේ බාල විනෝදය වෙනුවෙන් කැප කිරීමට සිදු වීම ඔහු නොරිස්සුවේ ය.

ඒ ගෙදර මිනිසා සටන් කර පරාජය කිරීමට බැරි මට්ටමේ පුද්ගලයකු බව මේ ගෙදර මිනිසා දැන සිටියේ ය. එහෙයින් අලුත් ක්‍රමවේදයක් අත්හදා බලන්නට ඔහු අදිටන් කර ගත්තේ ය.

එදින ඔහු වැඩ ඇරී ගෙදර ආවේ මහන්සියෙනි. එහා ගෙදර මිනිසා හැකි වැරෙන් බයිලා දාගෙන ඔහු ගේ මිදුලේ නටමින් සිටියේ ය. ඒ හඬට බියෙන් තම දරුවන් දෙසවන්හි ඇඟිලි ගසාගෙන කඳුළින් සිටිනු දුටු ඔහු කෝපයට පත් විය.

කෝපයෙන් ලැබෙන්නේ පරාජය බව ඔහු දැන සිටියේ ය. කෝපය යටපත් කර ගෙන මොහොතක් කල්පනා කළ ඔහුගේ හිතට හොඳ අදහසක් ආවේ ය. ඒ ගැන දෙවරක් නොසිතූ ඔහු වහ වහා මිදුලට විදුලි බල්බයක් සවිකර ඒ එළිය මැදට වී නටන්නට පටන් ගත්තේ ය.

ඒ ගෙදර ඔහු නටයි. මේ ගෙදර මොහු නටයි. බයිලා හඬ කඳු අතර ගිගුම් දෙයි.

මොනවද අනේ ඔයා ඔය කරන්නෙ? විකාර නොකර ගෙට එන්ඩ! බිරිය ගේ ආයාචනය ද‍ නොතකා මේ ගෙදර මිනිසා ද ආවේසයෙන් මෙන් නැටුවේ ය.

නැටුමෙන් වෙරිය හින්දවාගත් ඒ ගෙදර මිනිසා නැටුම නවත්වා කැසට් යන්ත්‍රය වසා දැමුවේ ය. නැටුමෙන් හොඳට ම තෙහෙට්ටුවට පත් මේ ගෙදර මිනිසා ද මිදුලේ ඇද වැටුණේ ය.

පසු දා වූයේ ද මේ දේම ය. ගෙවල් දෙකේ දෙදෙනා ගස් වැල් අතරින් උන්නු දෙස බලමින් නටන්නට වූහ.

මේ ගෙදර මිනිසා පසුදා වැඩට ගියේ ඒ ගෙදර මිනිසාට පෙනෙන පරිදි ගසක දැන්වීමක් අලවා තබා ය. ඒ ගෙදර මිනිසා දැන්වීම් කොළය දැක කුහුලින් ඒ වෙත ආයේ ය.

... ඔයා සල්ලි වියදම් කරගෙන නටනවා. අපි ඔයාගෙ සද්දෙට නොමිලේ නටනවා. අපි දිගට ම නටමු...

කෝපයෙන් දැන්වීම ඉරා දැමූ ඒ ගෙදර මිනිසා ආපසු ගියේ මේ ගෙදර මිනිසාට හොඳ පාඩමක් ඉගැන්වීමට හිතාගෙන ය.

එහි ප්‍රතිඵලය වූයේ එදින හැන්දෑවේ ඒ ගෙදර මිනිසාගේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම ය.

බලමු නටන හැටි! ඒ ගෙදර මිනිසා ගස් වැල් අතරින් මේ ගෙදරට නෙතු දිවැවූයේ හපන්කමක් කළාක් මෙනි.

මේ ගෙදර මිනිසා ද හැන්දෑවේ මිදුලට බැස ඒ ගෙදර මිනිසා සද්දෙ දාන තුරු බලා සිටියේ ය.

සිදු වී ඇති දේ උත්ප්‍රාසතර ය. ඒ ගෙදර මිනිසා සින්දු නොදැමීමේ හපන්කමින් ප්‍රීති වුණේ ය. මේ ගෙදර මිනිසා සින්දු කඩාකප්පල් කිරීමේ හපන්කමින් ප්‍රීති වුණේ ය.

ඉන් පසු දින කිහිපයක් ම සින්දු ඇසුණේ නැත. ඒත් හිටි හැටියේ රෑ දෙගොඩ හරියක සින්දු ඇහුණේ ය. එවිට මිදුලට බට මේ ගෙදර මිනිසා සුපුරුදු ලෙස නටන්නට පටන් ගත්තේ ය. ඒ දුටු ඒ ගෙදර මිනිසා වහා සින්දුව නිවා දැමුවේ ය.

තවත් දිනෙක පාන්දර ම සින්දු ඇහුණේ ය. ඒ ඇහුණු හැටියේ ම නැගිට ගත් මේ ගෙදර මිනිසා මිදුලේ ලයිට් එක යටට ගොස් නටන්නට තියා ගත‍්තේ ය. ඔහු නටන'යුරු දුටු ඒ ගෙදර මිනිසා සින්දුව නවතා දැම්මේය.

තවත් සතියක් පමණ සින්දු නෑසිණ.

මේ ගෙදර මිනිසා අර ගසෙහි තවත් දැන්වීමක් ඇලෙව්වේ ය.

අනේ සින්දු දාන්ඩකෝ

එය ද ඉරා දැමූ ඒ ගෙදර මිනිසා හොඳයි පුතෝ, මං උඹට සින්දු අස්සන්නංකෝ යි කියමින් දැඩි තීන්දුවක් ගත්තේ ය.

ඒ අනුව ඔහු දැන් සින්දු දාන්නේ ගේ පිටුපසිනි. ඒත් ඉතා සෙමෙනි.

දැන් පරිසරය නිස්කාන්සු ය.

මේ ගෙදර දරුවෝ කිසිත් නොවූ ගානට පාඩම් වැඩ කරති.

එහෙත් ගෙවල් දෙකෙන් ඇතැම් විට සෝපාහාස සිනා හඬ නම් ඇසෙයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »