"/>

සොයුරු බැම්ම

2015-08-04 10:27:00       725
feature-top
ලොක්කෙ මාමා හොඳ ගැමියකු වුවද සිය ජීවිත කාලයෙන් වැඩි කොටස ගෙවා දැමුවේ නගරයේ ය. එහි ව්‍යාපාරිකයකු ගේ වැඩ පොළක් බලා කියා ගත්තේ ඔහු ය. වැඩපොළ ගැන ඇස ගසාගෙන සිටීමට සිදුවූ නිසාත්, ව්‍යාපාරිකයාට වුවමනා වූ විට ළඟ සිටීමට සිදුවූ නිසාත් ලොක්කෙ මාමාගේ ජීවිතයේ වැඩි කොටස නගරයට ම ගෙවී ගියේ ය.

සැමියා නැති ගෙදර මුළු මහත් වගකීම පැවරුණේ නැන්දාට ය. ඇය දරුවන් ලොකු මහත් කරමින් ද සැමියාගේ පොල් ඉඩම පාලනය කරමින් ද කල දවස ගෙවා දැමුවා ය.

ලොක්කෙ මාමා ගෙදර ආවේ මාස කිහිපයකට සැරයකි. ඒ වනවිට ඔහු අපි හැමෝටම මොන මොනවා හෝ ගෙනාවේ ය. එහෙයින් ඔහු එන තුරු අපි ඇඟිලි ගනිමින් සිටියෙමු.

හිටි අඩියේ ගමේ පාරෙන් මතුවන කාරයක් පොල් වතු මැද්දෙන් පැමිණ ලොක්කෙ මාමාගේ ගේ දොරකඩ නවතියි. ලොක්කෙ මාමා ඉන් බහින්නේ උජාරු හිනාවකින් යුතුව ය. මුවිටි රෙද්ද හැඳ එය හිරවෙන පරිදි පටියක් පැළඳ කෝට් බෑයක් බඳු කමිසයක් ඇඳ සිටින ඔහුගේ පෙනුම ගරු ගාම්භීර ය.

ඔහු රියෙන් බට තැන ම නැවතී ඉඩමේ හතර අතට නෙතු දුවවන අතර අපි ඩිකිය හැර එහි ඇති දේ පිටතට ගනිමු. ලොක්කෙ මාමා ගෙනැවිත් බැස්ස වූ කොම්පැනියේ රිය ටිකකින් පොල් වත්ත මැද්දේ නොපෙනී යයි.

මේ පොල් ඉඩම ලොක්කෙ මාමාට ලැබුණේ පිය උරුමයෙනි. ඔහු ගේ සහෝදරයන් ඊට යාබදව විසුව ද ඔවුන්ට එතරම් ලොකු බිම් කොටස් උරුම වී නොතිබිණි.

නිසි වයසේ දීම සිය ලොකු දියණිය විවාහ කර දුන් ලොක්කෙ මාමා තම නිවෙසම පෙනෙන දුරකින් ඇයට නව නිවෙසක් තනා දී නව යුවළ එහි පදිංචි කරවූයේ ය.

මගෙ දරුවො මට පේන්ඩ ඉන්ඩ ඕනෑ ඔහුගේ අදහස එය විය.

ඊළඟ පුතු ද බිරියක සරණ පාවා ගත්තේ මහ ගෙට පෙනෙන මානයේ දුරක නව නිවෙසක් හැදුවාට පසු ය. මේ අයුරින් ඔහු ගේ දරුවෝ හැමෝ ම මහ ගෙට පෙනෙන මානයේ ම සිය කැදලි තනා ගත්හ.

ගමේ ආ ලොක්කෙ මාමා සිය දරුවන්ගේ ගෙවල්වලට යමින් එමින් ද මහ ගෙදර හාන්සි පුටුවේ දිගෑදි දරුවන්ගේ නිවෙස් දෙස බලා සිටිමින් ද අපූරු සැහැල්ලුවක් වින්දේ ය.

මෙලෙස කලක් ගත වී ගියේ ය.

සිය සැමියාගේ ඉඩම ඔහු ගේ ඇතැම් සහෝදරයන් විසින් තැනින් තැන අල්ලා ගනු ලැබ ඇති බව ලොක්කෙ නැන්දාට නිරීක්ෂණය විය. ඉන් කම්පාවට පත්වූ ඇය ඒ බව සැමියාට සැල කළා ය. එහෙත් ඒ ගැන ලොක්කෙ මාමා කලබල වූ බවක් පෙනෙන්නට නොවී ය.

ඉනික්බිති, ලොක්කෙ මාමා ගෙදර එන වාරයක් පාසා ලොක්කෙ නැන්දා කළේ ඉඩම් අවුල නිරවුල් කර දෙන ලෙස ඉල්ලීම ය. ලොක්කෙ මාමාගේ උදාසීනකම හමුවේ ඇය කේන්තියට පත් වූවා ය.

කියන එක අහන් නැත්තං අපි නඩු දාමු! ඇය යෝජනා කළා ය.

කලබල‍ වෙන්ඩ කාරි නෑ. මාමා සැර බාල කළේ ය.

අපේ දරුවන්ගෙ ඉඩම්නේ මෙහෙම නාස්ති වෙන්නෙ

වැඩේ වැරදියි තමයි. ඒ වුණත් උං මගෙ සහෝදරයො. මට බෑ උන්ව උසාවි ගෙනියන්ඩ. ඒක මොන ලැජ්ජ නැති වැඩක් ද?

මින් පසු ලොකු මාමා ගෙදර ඒමට හොර කළේ ය.

නැන්දා නඩු කියා, අල්ලා ගන්නා ලද ඉඩම් කොටස් නැවත මහ ඉඩමට යා කර ගත්තා ය.

විශ්‍රාමික වයස එළඹි ලොක්කෙ මාමා වැඩ පොළෙන් සමුගෙන ගෙදර ආවේ කැමැත්තකින් නොවන වග ලොක්කෙ නැන්දාට වැටහිණ. සිය කුටියට වැදී දොර වසා ගන්නා ඔහු බැරිම තැන දරුවන්ගේ ගෙවල්වලට යයි. ඒවායේ රවුම් ගසා පැමිණ යළි කුටියට වදියි.

ඉඩම් නඩුවෙන් පසු සැමියා තමන් සමඟ අමනාපයෙන් පසුවන වග නැන්දා දැන සිටියා ය. එහෙත් ඇය ඉන් දුක් නොවූයේ තමා දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටු කළ බව දැන සිටි නිසා ය.

ලොක්කෙ මාමා සිය බිරිය සමඟ වචනයක්වත් කතා කළේ නැත. ඉන් කම්පාවට පත් නොවූ ලොක්කෙ නැන්දා සැමියා වෙනුවෙන් සියලු යුතුකම් නිහඬවම ඉටු කළා ය.

ඊයෙ පෙරේදා ලොක්කෙ මාමා මිය ගියේ ය. අවමඟුල ගරු සරු ඇතිව පැවැත්විණ.

ලොක්කෙ මාමාගේ නිසල සිරුරට ඇල වී ඔහු ගේ දෑත තම දෑතින් අල්ලාගෙන සිටි ලොක්කෙ නැන්දාගේ රුව මට මැවි මැවී පෙනේ.

මිය යනතුරු තමන් හා වදනක් හෝ නොදෙඩූ ආදරණීය සැමියා සදහටම ගොළු වී ගොසිනි. වාවා ගත නොහැකි දුකකින් ඇගේ දෙතොල වෙව්ලනු මම දුටිමි. ඇගේ මුවින් හඬක් පිට නොවී ය. එහෙත් ඇගේ දෑසින් මහා කඳුළු ගංගාවක් ඇද හැළුණේ ය.
 



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »