කන්තෝරු දෙවියා

2015-07-27 09:55:00       725
feature-top
තමන්කඩුවේ උප්පැන්න, මරණ හා විවාහ ලේකම් තනතුර සඳහා සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් කැඳවන බව අදාළ ගැසට් නිවේදනයෙන් දැනගත් මම ඊට ඉල්ලුම් කිරීමට ඉටා‍ ගතිමි.

ඉල්ලුම් පතක් ලබා ගතිමි. ලකුණු ලබා ගැනීම සඳහා පුරවන ලද ඉල්ලුම් පත අදාළ සියලු සහතික පත් පමණ ලිපි ගොනුවක් ලෙස ඉදිරිපත් කළ යුතු විය.

මම ඒ ලිපි ගොනුව සහිත ඉල්ලුම්පත ලියාපදිංචි තැපෑලෙන් යැවීමි.

වසර ගණනාවක් ගත වී ගියේ ය.

සම්මුඛ පරීක්ෂණය ගැන හෝ මගේ ලිපි ලේඛන ගැන කිසිදු තොරතුරක් දැනගත නොහැකි විය.

දිනක් මම දිසාපති කාර්යාලයට ගොස් ඒ ගැන විමසීමි. ලිපි ගොනු ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යවා ඇති බව කියැවිණි. එපමණක් නොව ඊට අදාළ ප්‍රධාන නිලධාරියා ද මාරු වී ගොසිනි.

සිටියේ අලුත් නිලධාරීන් පිරිසකි‍. ඔවුන්ට මගේ ප්‍රශ්නය කීමි.

මගේ ලිපි ගොනුව සොයා ගැනීම ගැටලුකාරී විය. එහෙත් මගේ හද දවන ප්‍රශ්නය තේරුම් ගැනීමට සමත් එක් මිනිසෙක් එහි සිටියේ ය.

ඔයාගේ ෆයිල් එක හොයල දෙන්ඩ මං පුළුවන් උත්සාහයක් දරන්නම් ඔහු කීවේ ය.

මම ඔහුට මගේ ලිපිනය ලියාදී ආපසු ආවෙමි.

දින කිහිපයක් ගෙවී ගියේ ය.

අර මහතාගෙන් ලිපියක් ආවේ ය. මගේ ලිපි ගොනුව සොයා ගැනීමේ කාර්යය අත්නොහැර දිගටම සිදු වන බව ඔහු එහි ලියා තිබිණ.

ම‍ගේ දුක තේරුම් ගැනීමට සමත් මිනිසකු මෙලොව සිටීම ගැන මම සැනසුම් සුසුමක් හෙළීමි.

මට තව ලිපියක් ලැබිණ.

ඔබේ ලිපි ගොනුව හම්බ වුණා. පැමිණ මා හමුවන්න එහි ලියැවී තිබිණ‍.

මම මහත් සතුටින් ඔහු සොයා ගියෙමි.

හිනා මුවින් යුතුව ඔහු මගේ ලිපි ගොනුව මා අත තැබුවේ ය.

පිං සිද්ධ වෙනව මහත්තයො මම ඔහුට කීමි.

ඔහුගේ මුව පිපී ගියේ ය. මගේ ළය සැහැල්ලු විය.

මගේ ලිපි ගොනුව සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබුණේ එහි මුහුණතේ කිසිදු සටහනක් යොදා නොතිබූ නිසා ය. එහෙයින් එය කිසිවකුගේ අවධානයට ලක් නොවී පැත්තක තිබී ඇත.

මම මේ දෙවියාට යළිත් තුති පුදා මගේ ජීවිතය හා සම ඒ වටිනා ලියවිලි ටික තුරුලු කොට ගෙන ගෙදර ආවෙමි.

මා ඒ තනතුරට ඉදිරිපත් වූයේ අදාළ සුදුසුකම් මට තිබූ බැවිනි. කුමක් හෝ හේතුවක් නිසා කිසිවකු මගේ ලිපි ගොනුව සඟවා තිබිණි.

අදාළ නිලධාරියා මාරු කොට යවා තිබුණේ ද මෙබඳු වැඩ නිසා විය යුතු ය. රැකියාව නොලැබුණත් මගේ ලිපි ලේඛන ටික මට ලැබීමට සැලැස්වීමට ඔහුට යුතුකමක් තිබිණි. එහෙත් ඔහු එය කර නැත.

මගේ ලිපි ලේඛන සොයා දීමට කැමැත්තෙන් ම ඉදිරිපත් ව මහත් වෙහෙස ගෙන ඒ කා‍ර්යය ඉටු කළ පොළොන්නරු ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පී.ආර්.බී. කීර්තිසිංහ මහතාණන්ට සියලු යහපත පතමි.
 



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »