"/>

දිවියක මිහිර

2015-07-20 10:11:00       723
feature-top
විවේකී දිනයකි.

මම කොරිඩෝවේ හාන්සි පුටුවේ ඇලවී සිටියෙමි.

මා නෙතු මානයේ දිස්වනුයේ අස්වනු නෙළා අවසන් වූ වෙල් ඉපනැල්ලය.

වෙල් වැඩ අවසන් බැවින් හිතට දැනෙන්නේ සැහැල්ලුවකි.

කහ පාට වෙල් ඉපනැල්ලේ පුංචි කළු බෝල ගෙඩි මෙන් ඒ මේ අත දුවන්නේ කොරවක් පැටවුන් ය. ඉන් මෙහා කිරළ අරෝවකි. ඒ හඬ පරිසරය පීරා දමයි.

මගේ පිටිඅත්ලට පුංචි මැටි ගුළියක් වැටිණ. මම උඩ බැලුවෙමි. වැහිලිහිණි, ජෝඩුවක් අපේ කොන්ක්‍රීට් වහලේ සිය නිවහන තනමින් සිටිති. මා අත මත වැටී ඇත්තේ උන් ගෙන යමින් සිටි මැටි පිඬකි. ලිහිණි ජෝඩුව මගේ හිසට උඩින් කරනමක් ගසා පිට ව ගියහ. ඒ ටිකකින් යළි පැමිණ නිවහනට තවත් මැටි ගුළියක් අලවන්නට පටන් ගත්හ.

මම යළිදු ඉපනැල්ල දෙස බැලීමි.

මසිත අතීතය සොයා ගියේ ය.

ඉකුත් හතළිස් වසරක් තිස්සේ ගෙවා දමමින් තිබූ නාගරික ජීවිතය අත හැර මා මේ ගමට පැමිණ ගෙවී යන්නේ තෙවැනි වසර ය. මා එන විට මෙහි වූයේ පුරන් වෙල් යායකි. ඊට ජීවය පිඩීමට මට හැකි වී තිබේ. වස විසෙන් තොර බත් වේලක රස ගුණ විඳීමට මගේ දරු පවුලට හැකියාව ලැබී තිබේ.

ගමට ආ මුල් දිනවල මා සතුව පැවතුණේ ගොවිකම කෙරෙහි වූ පිවිතුරු ආසාව පමණි. කෙසේ වුව ද අන්‍යයන්ගේ ද උදව්වෙන් මම කුඹුර කළෙමි. මගේ කුඹුර ද ඇතුළු වෙල් යාය රන් කරලින් බර විය.

යාබද කුඹුරේ ගොයම් කැපිල්ලක් විය. එය මගේ හිතවතකුගේ ය. මම උදව්වට ගියෙමි. ගොයම් කැපීම නුහුරු මට කළ හැකි එකම දෙය වූයේ කපන ලද ගොයම් මිටි බැඳ කමතට ඇදීමට එකතු වීම ය.

පැසී කරලින් බර වී තිබුණු මගේ කුඹුර ද මට දිස් විය. එහි ගොයම ද කප්පවා ගත යුතු විය. මම ගොවීන් අතර සිටි අයකුට මගේ කුඹුර පෙන්වා එහි ගොයම කප්පවා ගත යුතු බව කීමි. ඔහු කපා දිය හැකි බව කීවේ ය.

කීයක් ඕනැ ද? මම ඇසීමි.

ඕකට නං පන්දහක්වත් නැතුව බෑ ඔහු ගත් කටටම කීවේය.

මම කරබා ගතිමි.

ගෙවිලියෝ කමතට ඇඹුල ගෙන ආහ. එහෙත් ගොවියෝ ගොයම් කැපීම නොනැවැත්වූහ. මම ඔවුනට ළංවී අත කපා නොගෙන ඔවුන් දෑකැත්තෙන් ගොයම් කපන හැටි නිරීක්ෂණය කරන්නට වීමි.

ආ, දැන් ඉතින් ඔය කවුරු කවුරුත් මූණ කට හෝදගෙන ඇඹුල කන්ඩ එන්ඩ! මා හිතවතා ගෙන් පිරිසට ඇරියුම් ලැබිණ. පිරිස හිස් ජටා හා තොප්පි ගලවමින් නියරට ගොඩ වූහ.

මටත් ආසයි ගොයම් කපන්ඩ පුරුදු වෙන්ඩ. මට ඔයාගෙ දෑකැත්ත ටිකකට දෙන්ඩ පුළුවන් ද? මම ඇසීමි.

පරිස්සමට මහත්තයො මේක දැලි පිහිය වාගෙ. අත කපා ගන්ඩ එපා! කියමින් ඔහු මට දෑකැත්ත දුන්නේය.

නියර දිගේ ගිය ගොවීහු වක්කඩකින් මුහුණ කට හෝදාගෙන කමතට ගොඩ වූහ.

මම මා අතේ රැඳුණු දෑකැත්ත දෙස ආසාවෙන් බලා සිටියෙමි. එහි දැති හිරු රැසට දිලිසෙයි. මම ඒ තියුණු දැති උඩින් ඇඟිල්ල යාන්තමට දුවවා බැලීමි. දෑකැත්තේ ලී මිට රෙදි පටියකින් තරකොට වෙළා ඇත. එහෙයින් අතට පහසු ය.

මම කුඹුරට බැස නැමී දකුණතින් දෑකැත්ත ගෙන වමතට ගොයම් අහුරක් අල්ලා කැපීමි. ගොයම් මිට බාගෙට කැපී හිර විය. මම කැපුණු ගොයම් ගස් ටික බේරා පසෙකට කර එතැන් පටන් ගොයම් ගස් දෙක තුන එකට අල්ලා හෙමිහිට කපන්නට පටන් ගතිමි. ටිකකින් අත හුරු විය. ඉන් පසු ගොයම් මිට ටිකින් ටික ලොකු කළෙමි. විනාඩි කිහිපයකින් මට වැඩේ හුරු විය. මම කැපිල්ල වේගවත් කළෙමි.

ආං මහත්තය ගොයම් කපනව! ගොවීන් ඇඹුල බුදිමින් මදෙස හැරී බැලුවේ තරමක පුදුමයෙනි. මම රිදෙන කොන්ද දිග හැර ඔවුන්ට හිනාවක් පෑවෙමි. ඔවුහු ඇඹුල කෑමට මට අඬ ගැසූහ. එහෙත් මට කුසගින්නක් නොදැනිණ. ගොයම් කැපීමේ සතුටින් මගේ හිත පිරී තිබිණ. මම දිගින් දිගටම ගොයම් කැපුවෙමි. ඔවුන් ඇඹුල කා කෙටි විවේකයක් ද ගෙන යළි වැඩට බසින විට මා ලියැද්දක්ම කපා අවසන් ය.

ෂඃ ඔය අගේට කපල තියෙන්නෙ ඔවුහු මා පැසසූහ.

මට ලොකු සතුටක් දැනිණ. මගේ කුඹුරේ ගොයම් කැපිල්ලට පන්දහක් ඉල්ලූ කෙනාගේ මුහුණ නරක් වී තිබිණ.

ඒක නෙමේ, මගෙං සාධාරණ ගාණක් අරං මගෙ කුඹුරෙ ගොයම් ටික කපල දෙන්ඩ! මම ඔහුට කීමි.

එහෙනං මහත්තය මට රුපියල් දෙදහක් දෙන්ඩකො. මං හෙට උදේ ඇවිදින් වැඩේ කරල දෙන්නං ඔහු ස්ථිරව වචනය දුන්නේය.

ගාස්තුව තුන්දහසකින් බැස්සේ මට ද ගොයම් කැපිය හැකි බව මා ඔහුට පෙන්වූ නිසා ය. මගේ හිතේ සතුට උතුරා ගියේ ය.

ඔහු ද කී ලෙස ම පහුවදා පැමිණ වැඩේ කර දුන්නේ ය. මම ඔහුගේ හිත වචනයකින් හෝ නොරිදවා ගාස්තුව ගෙවා දැමුවෙමි.

මිනිසුන් හඳුනා ගන්නට නම් ඔවුන් සමඟ වැඩ කළ යුතු ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »