"/>

පාට පැන්සල්

2015-07-14 02:20:00       723
feature-top
මා උදෑසන පෙර පාසලට ගොස් ගුරු මේසය මත මගේ බෑගය තැබුවා පමණි.

වේගයෙන් ආ මෝටර් බයිසිකලයක් පෙර පාසල් මිදුලේ නැවතිණ.

එහි නැඟී ආවේ පෙර පාසලේ දරුවකු කැඳවාගෙන ආ පියෙකි. ඔහු සිටියේ දරුවා පන්තියට හැරලා සිය රාජකාරියට යෑමේ හදිසියෙනි.

ඔහු අතකින් සිය දරුවා අල්ලා ගෙන අනිත් අතින් අලුත් පාට පැන්සල් පෙට්ටියක් මවෙත පාගෙන මා ඉදිරියට ආවේ ය.

ටීචර්, අර පාට පැන්සල් පෙට්ටිය ඒ ළමයට ම දෙන්ඩ! මං අපේ එක්කෙනාට අලුත් එකක් ගෙනාව

එසේ කියමින් ම ඔහු එය මට ද පෙනෙන පරිදි සිය දරුවා අත තැබුවේ අවවාදයක් ද කරමිනි.

හැබැයි පුතේ මේකෙන් එක පැන්සලක්වත් කාටවත් දෙන්ඩ බෑ ඔන්න!

මම නිරුත්තරව ඔහු දෙස බලා සිටියෙමි. ඔහු ගේ උස් හඬට පන්තියේ ඇතැම් දරුවන් ගැස්සී ගිය බව ද මට පෙනිණ.

වහා පන්තියෙන් එළියට බට හෙතෙමේ සිය යතුරු පැදියට නැඟී ආ වේගයෙන් ම යන්නට ගියේ ය.

උදෑසනම මගේ හිත රිදිණ. හිත හදා ගන්නට ද ටික වෙලාවක් ගියේ ය.

ආයුබෝවන් දුවේ, පුතේ! මම දරුවන් දෙස බලා හිනැහෙන්නට හැදුවෙමි.

ආයුබෝවන් ටීචර්!

පන්තිය මුළුමනින්ම පිරී නැත. එක්කෙනා දෙන්නා එමින් සිටිති.

මිත්තණියක සමඟ ආ පුංචි දැරිය පන්තියට පා තැබුවේ ලස්සන හිනාවක් ද පාගෙනය. ඇගේ අතෙක සිලි සිලි බෑගයක ලූ රෝස මල් පැළයක් විය. එහි කහ පාට රෝස මලක් පිපී තිබිණ.

ටීචර්, අම්ම කිව්ව මේක ටීචර්ට දෙන්ඩ කියල ඇය එය මේසය මත තබමින් කීවේ හුරතල් ස්වරයෙනි.

ෂඃ හරිම ලස්සන රෝස මලක්නේ. අම්මට කියන්ඩ මං බොහොම ස්තුතියි කිව්ව කියල.

ටීචර්, අපිට රෝස ගස් ගොඩාරියක් තියනව. ඒවල පාට පාට මල් පිපිලත් තියනව. අම්ම රෝස අතු පැළ කරල විකුණනව. ටීචර් මේක හිටෙව්වම ගොඩක් ලස්සන මල් පිපෙයි

පන්තියේ දරුවෝ බො‍හොමයක් ද දිවැවිත් රෝස මලෙහි සිරි විඳගන්නට වූහ. එහෙත් පන්තියේ පිටුපස සිටි අහිංසකයා ආවේ නැත. ඔහුගේ වත ද මැළවී තිබිණ, මම ඔහු ළඟට ගියෙමි.

ඇයි පුතේ?

ඔහු අමාරුවෙන් මදෙස බැලුවේ කඳුළු පුරෝගෙනය.

අර මාම ටීචර්ට බැන්න එකට මට දුකයි.

එයා මට බැන්නෙ නෑ පුතේ. ඒ එයා කතා කරන හැටි. පුතා දුක්වෙන්ඩ එපා!

ටීචර් ඒ මාමගෙන් බැණුම් ඇහුවෙ මට පාට පැන්සල් දුන්න හින්දනෙ. මට දුකයි ටීචර්

ඕව ඔයා ගණන් ගන්ඩ එපා දරුවො යි කියූ මම දරුවන් සමඟ ගීයක් ගයන්නට වීමි.

රෝස මලේ නටුවෙ කටූ - වන බමරෝ ඔහොම හිටූ...

පාට පැන්සල් පෙට්ටියට සම්බන්ධ සිද්ධියට දින කිහිපයක ඉතිහාසයක් තිබේ.

පන්තිය කෙළවරෙහි කැමැත්තෙන්ම කොන්වී සිටින අහිංසක දරුවාගේ මව ඉතා දිළිඳු ය. පියා ඔවුන් හැර ගොසිනි. මව ගෙවල්වල ආවතේවකම් කරමින් දරුවා රැක ගනී.

අහිංසකයා සිතුවම් ඇඳීමට රුසියෙකි. පාට පැන්සල් නැති බැවින් අඳින්නේ නිකම් පැන්සලෙනි.

යතුරු පැදියෙන් ආ පියා ගේ දරුවාට අගහිඟකම් නැත. ඔහු දරුවාට අත දිග හැර වියදම් ද කරයි. එහෙත් ඒ දරුවා සිතුවම් අඳින්නට වැඩි කැමැත්තක් නොදක්වයි. එදින මා ඔහු ගෙන් පාට පැන්සල් දෙක තුනක් ඉල්ලා ගෙන අහිංසකයාට දුන්නේ ඔහු ගේ හිත තවත් දිරිමත් කරනු පිණිස ය. එය ඉබේම සිදු වූවකි.

පෙර පාසල නිම වෙද්දී අර පාට පැන්සල් කිහිපය ඉල්ලා ගෙන හිමිකාර දරුවාට දීමට මට අමතක විය. අහිංසකයා ද ඒවා ආපසු බාර නොදී ගෙදර ගෙන ගොස් තිබිණි. උදා වී තිබුණේ ද සති අන්තයකි.

සති අන්තයේ මේ අහිංසකයා අර පාට පැන්සල් කොට වනතුරු චිත්‍ර ඇඳ තිබිණි. ඊළඟ සතිය ඇරැඹෙන දින ඔහු ඒ චිත්‍ර ගෙනැවිත් මට පෙන්නුවේ ය.

මේ සිද්ධියෙන් පසු පාට පැන්සල් හිමිකාර දරුවාගේ මව පාට පැන්සල් ටික ආපසු ඉල්ලා දෙන ලෙස මට කීවා ය. මා ඊට හා යි කීව ද පාට පැන්සල් කොට ආපසු දීමට බැරි හෙයින් ගැටලුවකට මුහුණ දු‍න්නෙමි. අලුත් පාට පැන්සල් කිහිපයක් මිලදී ගෙන දීමට මම ඉටා ගතිමි. එහෙත් එය හදිසියේ නොකළ හැකි විය.

අර පියා මා හමුවේ ව්‍යංගයෙන් කෝපය පළ කළේ මේ සිද්ධියට ය. ගොළු වත රකිනු හැර මා කුමක් කරම් ද?

කුඩා දරුවන්ගේ මෙබඳු දේ හමුවේ වැඩිහිටියන් වන අපි සංවේදී විය යුතු වෙමු. අප ද බාල කාලයේ මෙබඳු දේ කර ඇත. අප පසු කර ආ ළමා විය මේ සා ඉක්මනින් අපට අමතක කර දැමිය හැකි ද?


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »