කිරිල්ලියක් නැති කැදැල්ල

2015-06-29 09:53:00       725
feature-top
හිතට ඉස්පාසුවක් ලැබුණු උදය වරුවකි. මම මිතුරකු බැහැදකිනු පිණිස නගරයේ පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගියෙමි.

අප හමු වූයේ කාලෙකිනි. සතුට වැඩි කමට ඔහු මා බදා ගත්තේ ය.

අපි සාමීචියේ යෙදෙන්නට වීමු.

හදිසියේ අමුත්තෙක් ආයේ ය. කෙසඟ ය. තරමක් වයස ය.

තරහ නැතුව මට පොඩ්ඩකට කතුරක් ඉල්ල ගන්ඩ පුළුවන් ද? ඔහු අප දෙස ආයාචනාත්මක බැල්මක් හෙළුවේ ය.

දෙන්ඩ බැරිකමක්නං නෑ. මොකට ද? ම'මිතුරු ප්‍රශ්නයක් දැම්මේ ය.

මේකයි මල්ලි වැඩේ. මං පුංචි දරුවන්ට ප්‍රසංග කරන කෙනෙක්. පොසොන් බලන්ඩ ටවුමට එන පුංචි උන් සන්තෝස කරන්ඩ පුංචි පහේ ප්‍රසංගයක් කරන්ඩයි මං හදන්නෙ. ඒක පුංචි දැන්වීම් කීපයක් හයි කරන්ඩයි මේ ආවෙ. ඒ වැඩකටයි කතුරක් ඉල්ලුවෙ ඔහු ඉවසිලිමත්ව පැහැදිලි කළේය.

ෂඃ! ඔයා අපූරු වැඩක්නෙ කරන්ඩ යන්නෙ! ඔයා වගේ කෙනෙකුට උදවු නොකර අපි කාට උදවු කරන්ඩ ද? මෙන්න කතුර! තව ඕනැ දෙයක් තියනව නං ඇවිත් ඉල්ලන්ඩ ම'මිතුරු හිනැහී උත්තර දුන්නේ ය.

කතුර රැගෙන ගිය ඔහු ටික වේලාවකින් ආපසු පැමිණ, කතුර දී ස්ටේපර් මැෂිමක් ඉල්ලා ගෙන ගියේ ය.

ඔහු තෙවන වර වන විට අපි අපට ලැබුණු උණු උණු මඤ්ඤොක්කා මුලක් දිග හැර බුදිමින් සිටියෙමු.

අයියත් එන්ඩකො මඤ්ඤොක්ක කෑල්ලක් කන්ඩ ම'මිතුරා ඔහුට ඇරියුම් කළේ ය.

කන්ඩ නං ආසයි මල්ලි. ඒ වුණාට මගෙ උදවුවට ආපු දෙන්නෙක් ඉන්දැද්දි මං විතරක් කන එක හරි නෑ. අමුත්තා ටිකක් අදි-මදි කළේ ය.

අයියෙ, දැං අපේ බඩ පිරිල. මෙතන තව බාගයක් විතර තියනව. අයිය කැමති නං මෙහෙම්මම අරගෙන ගිහින් ඒ ගොල්ලන්ටත් දීල කන්ඩ ම'මිතුරා මඤ්ඤොක්කා මුල ආපසු ඔතා අමුත්තා අත තැබුවේ ය.

ඔහු එය ද රැගෙන යන්නට ගියේ ය.

ඊළඟ මොහොතේ ඔහු ආවේ හිනාවක් ද පා ගෙන ය.

මඤ්ඤොක්ක එක නං අල්ලල ගියා මල්ලි. හරිම ටේස්ට්. අමුත්තා කෙළෙහි ගුණ පළ කළේ වර්ණනාවෙනි.

මොකක්දෝ හිතා ගත නොහැකි හේතුවක් නිසා අපට ඔහු හැඟුණේ දන්නා කියන අයකු සේ ය. එනිසාම අපි ඔහු සමඟ වඩාත් සුහද වීමු. අපේ විමසීම්වලට පැකිළීමකින් තොරව උත්තර දුන් හේ කලක සිට තමන් පුංචි දරුවන්ට ප්‍රසංග පවත්වන බවත් ඔවුන් අතර තමා ගේ නම ප්‍රකට බවත් කීවේ ය.

එයා ද ඔයා? ම'මිතුරා ඇසුවේ කිසියම් කුකුසකින් මෙනි.

මං ඉස්සර සනීපෙට හිටිය. පස්සෙ කාලෙ ඩයබෙටික් හැදිල මාව කෙට්ටු වුණා. ඔහු හිනැහුණේ ය.

එතකොට අයියගෙ පදිංචිය කොහෙද? ම'මිතුරා ඇසුවේ ය. ඒ ගැන විස්තර කරමින් සිටි ඔහු ගේ මුහුණ හිටි හැටියේ වෙනස් විය.

ගෙදර පාළුයි. නෝනයි මායි ඔහේ කල්පනා කර කර ඉන්නව

ඇයි?

අපිට හිටියෙ එකම දුවයි. එයත් දැං රට. එහෙ පදිංචිය. ගිය අවුරුද්දෙ එයා අපිව බලන්ඩ ආවට අපි අනේ යන්ඩ එපා දුවේ කියල කන්නලව් නොකෙරුව විතරයි. නොයා කොහොම ද? මගෙ ජීවිතේ තියෙන්නෙ එහෙනෙ. කියල එයා යන්ඩ ගියා. මට එතකොට දැනුණෙ මගෙ ජීවිතෙන් බාගයක් එක පාරටම දිය වෙලා ගියා වගේ.

ඔහු දෑස් මුල ඇඟිල්ලකින් පොඩි කළේය. සතුටින් සිටි මේ මනුස්සයාට එකවරම සිදු වූයේ කුමක් දැයි විමතියක් අප තුළ ඇති විය.

ඔහු කඳුළු පිස දාගෙන හිනැහෙන්නට උත්සාහ ගත්තේ ය. ඒ දුටු අපට කිසියම් අස්වැසිල්ලක් ඇති විය.

මල්ලිල මේ කතාවත් අහන්ඩකො ඔහු අලුත් යමක් එකතු කළේ ය.

අපේ ගේ ළඟ දුප්පත් පවුලක් ඉන්නව. ඒගොල්ලන්ට පුංචි දරුවො රොත්තක් ඉන්නව. ළඟදි දවසක මේ තාත්ත කොහොම හරි කරල ත්‍රීවිලර් එකක් අර ගත්ත. දැන් මිනිහ ඒකෙ වැඩ කරනව. නිවාඩු දවස්වල මිනිහ නෝනයි දරු පැටවු ටිකයි පටෝගෙන ඇවිදින්ඩ යනව. ඒ දරු පවුල ඉන්නෙ හරිම සැහැල්ලුවෙන් - විනෝදෙන්. අපි දරුවො හදල රට රාජ්‍යවල යවල හිතින් වැලපෙනව. අර දුප්පතා කීයක් හරි හම්බ කරගෙන තමන්ගෙ දරු පවුල එක්ක පුදුම විදිහෙ සතුටකින් ජීවත් වෙන්නෙ. ජීවත් වෙනව කියන්නෙ අන්න ඒකයි මල්ලි!

අපි ගොළුවන් සේ ඔහුට සවන් දීගෙන සිටියෙමු.

මල්ලි අපේ නෝන බලාගත්තු අතේ බලාගෙන ඉන්නව. එයාට දුක දරා ගන්ඩ මාධ්‍යයක් නෑ. මං කවියක් හරි සින්දුවක් හරි ලියල එහෙම නැත්තං පොඩි උන්ට ප්‍රසංගයක් හරි කරල මගෙ දුක පාලනය කර ගන්නව. මං ළඟදි මගෙ දූ ගැන සින්දුවක් ලිව්ව. මං ඒකෙ කොටසක් කියන්ඩ ද මල්ලි? ඔහු අපේ මුහුණුවලට එබුණේ ය.

අපි හා යි කීමු.

ඔහු හඬ නඟා ගයන්නට වූයේ ය. එහි පද ටික මට දැන් අමතක ය. එහෙත් අරුත මතක ය. ඒ මෙබඳු ය.

මගෙ දුවේ නුඹ රට ගියේ කිම? රට නොගොස් නුඹ මෙරට සිටියා නම්, ඇඟලුම්හලක හෝ රස්සාව කළා නම්, ත්‍රීවීලර් රියැදුරකු හෝ බැන්දා නම්, නුඹලා සමඟ අපට සතුටින් ඉන්න තිබුණා. නුඹලාගේ දරු පැටවුන් සමඟ සතුටින් ඉගිළෙන්න තිබුණා. කොත්තුවක් හෝ කා සැහැල්ලුවෙන් නිදාගන්න තිබුණා...

ගැයුම නැවතිණ.

අයිය ඔය තරම් පීඩාවකින් ඉඳගෙන කොහොම ද ළමයින්ට ප්‍රසංග තියන්නෙ? අපි ඇසීමු.

මේකවත් නොකළොත් මං ජීවත්වෙලා ඉවරයි මල්ලියෙ. මගෙ හිතේ දුක තුනී කරගන්ඩ තමයි මං මේක කරන්නෙ. පුංචි උං ගොඩක් සන්තෝස කරල ගෙදර ගියාම හිතට දැනෙන සැහැල්ලුව කියල නිම කරන්ඩ බෑ

ඔහු සමුගෙන ගියේ ය.

ජීවිතයේ අත්දැකීම් අඩු අප දෙදෙන ඔහු කී දෙයෙහි ගැඹුර විඳ ගත නොහැකිව මොහොතක් මුහුණට මුහුණ බලා සිටියෙමු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »