වාහන සන්නිය

2015-06-22 08:54:00       728
feature-top
මම බස් නැවතුමට යමින් සිටියෙමි. එහි යා ගැනීමට පෙර ලංගම බසයක් ආවේ ය. මම අත දැමීමි. පුදුමයකට මෙන් එය නැවැත්වී ය.

බසය නැවතුණේ ඉදිරි දොර මට සමීප කරවමිනි. මම එහි නගින ගමන් රියැදුරු දෙස බැලුවෙමි. ඔහු තරුණ ය. මුහුණ ප්‍රසන්න ය.

මග නවත්තයි කියල හිතුවෙ නෑ කියමින් ම මම ඔහු ළඟ අසුනකට බර දුනිමි.

හෝල්ට් එක කෙසේ වෙතත් මිනිහෙක් අත දැම්මොත් අපි නවත්තන්ඩ ඕනැ, බස් තියෙන්නෙ මිනිස්සුන්ට යන්ඩනේ ඔහු කීවේ ය.

කොන්දොස්තර ද මවෙත පැමිණ ටිකට් පත නිකුත් කළේ ය.

මෙවිටම පසුපසින් ආ පෞද්ගලික බසය අප පසු කොට වේගයෙන් ඇදී ගියේ ය. එහි හදිස්සිය කෙතරම් ද කිවහොත් එය බස් නැවතුමේ සිට ඊට අත දැමූ මගියා ද තැකුවේ නැත. ලංගම බසය ද එය හා තරග වදිනු ඇතැයි මට සිතිණ. එහෙත් එසේ නොවී ය. බස් නැවතුමේ සිටි මගියා ද බසයට නංවා ගත් ලංගම රියැදුරා ඉන් මෙපිට සිට අත දැමූ වියපත් තැනැත්තා ළඟ ද බසය නැවැත්වීය.

වැඩිහිටියා ඉදිරි දොරින් බසයට නගින්නට වූයේ වෙව්ලමිනි.

වැටෙයි මාමෙ. පරිස්සමින්! කී රියැදුරු බසය ඉදිරියට ඇද්දුවේ වැඩිහිටියා අසුන් ගත් පසුය.

පෞද්ගලික බසය යාබද මන්සන්ධියේ වැඩි මගීන් පිරිසක් සිටි නැවතුමේ නවතා තිබුණේ විශේෂයෙන් ඔවුන් පමණක් නග්ගවා ගන්නට ආ විලාසයෙනි. එහෙත් ඊට පසුපසින් ලංගම බස් රිය නවත්වනු දුටු මගීන් ගෙන් පිරිසක් දුවැවිත් ලංගම බසයට ගොඩවනු පෙනිණ.

එයා රේස් එකේ ඇවිත් වැඩි ගොඩ දාගත්ත මට කියැවිණ.

අපිටත් පුළුවන් රේස් එකේ ඇවිත් ගොඩ ගොඩවල් දාගන්ඩ. එතකොට මග ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නෙ? දැක්ක නේද අරකට නගින්ඩ හිටපු මිනිස්සු මේකට ආපු හැටි! මිනිස්සු තාම ලංගමට ආදරෙයි. මේකෙ තමන්ගෙ කියන හැගීම තියනව. අපි මිනිස්සුන්ගෙ හිත්වලින් ඒ හැඟීම නැති කරන්ඩ හොඳ නෑ! රියැදුරු කීවේය. මට ඔහු කෙරෙහි පැහැදීමක් ඇති විය.

අප වෙල් යාය පසුකොට නගරයට පිවිසෙද්දීම වාහන තදබදයකට අසු විය.

මෙතැන අලුතින් එළවළු කඩයක් දා තිබේ. ඊට මිදුලක් නැත. එතැනින් එළවළු මිලදී ගැනීමට ආවුත්, එතැන ම සිය වාහන නතර කර තිබේ.

අනෙක් පස කඩ පෙළ ඉදිරියේ ද වාහන පෙළකි. ඒ පැත්තේ කඩදොරක ත්‍රීවිලරයක් නවතා ඉන් පලංචි වගයක් බාමින් සිටිනු පෙනේ. එය නවතා ඇත්තේ එහි පිටුපස පාරේ සුදු ඉරෙන් ද පාර පැත්තට වන ලෙස ය. එහෙයින් අප බසය ඉදිරියට ගත නොහැකි ය.

ඒගොල්ලො පලංචි බානකං අපි මෙතන බලන් ඉන්ඩ ඕනැ රියැදුරු කීවේ ය.

පලංචි බෑ පසු ත්‍රිරෝද රිය අයිනට ගත්තේය. අපට යන්නට ඉඩ ලැබුණේ එවිට ය.

එහෙත් මෙවිටම ඉදිරිපස විරුද්ධ දිසාවෙන් ආ තවත් ලංගම බසයක් අප ඉදිරියේ හිර විය. දැන් දෙකෙන් එකකටවත් යා නොහැකි ය.

මචං උඹ පොඩ්ඩක් පස්සට ගන්ඩ බලපං! අප රියැදුරු ඒ රියැදුරුට කීවේය. ඔහු එබසට අවනතව සිය බසය පසුපසට ගන්නට හැදුවත් පසුපස වාහනවලින් ආ විරෝධයෙන් එය වැළකිණ.

මට අමාරුයි මචං. උඹ පොඩ්ඩක් පස්සට දාගන්ඩ බලපං! දෙවැනි රියදුරු වගකීම අප රියැදුරු පිටම දැම්මේය.

මෙවිට අප කොන්දොස්තර බිමට බැස පිටුපසට ගොස් පිටුපස වාහන එහා මෙහා කරවා අප බසය ඩිංගක් පසුපසට ගන්නට ඉඩක් හදා දුන්නේ ය. ඒ ඉඩෙන් පසුපසට ගිය අප බසය යළි වමට හරවා පොඩ්ඩක් ඉදිරියට ගිය පසු අනෙක් බසයට මාරු වී යාමට ඉඩක් ලැබිණ, ඒ බසයේ හෝන් හඬකින් ස්තුතිය පළ කළේය. අප රියැදුරු ද ඒ ස්තුතිය පිළිගත් බව සිය නළාව හඬවා පළ කළේ ය.

මීටර දහයක් පහළොවක් ඉදිරියට ගිය තැන හමුවන බැංකුව ළඟ බස් නැවතුමේ අප බසය නතර කළ යුතු විය. ඒ මගීන් පිරිසක් එතැන බසින බව අඟවා සීනුව හැඬ වූ බැවිනි.

එහෙත් එතැන වූයේ ද පෙර පරිදිම වාහන තදබදයකි. එහි අනෙක් පස වූ ටියුෂන් පන්තියෙන් සිය දරුවන් රැගෙන යෑම පැමිණ සිටි භාරකරුවන් ආ කාර්, වෑන්, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල්වලින් එතැන පිරී තිරී තිබිණ. බස් නවත්වන ලෙස අලුතින් ඇඳ තිබූ නැවතුමේ ද නව පන්නයේ කාරයක් නවතා තිබිණ.

ඉතිං බලන්ඩ බස් එක නවත්තන්නෙ කොහෙද කියල. බස් හෝල්ට් එකෙත් කාරෙකක් ගහල! රියදුරුගෙන් පිටවූයේ කලකිරුණු හඬකි.

මේ සියල්ල දෙස බලා ගෙන මෙතෙක් නිහඬව සිටි අර වියපත් මිනිසාගේ කට ඇරිණ.

ළඟදි ඉඳන් අපේ උන්ට වාහන සන්නියක් හැදිල! එළවළු කඩේ ළඟත් වාහන පේළියයි. ටියුෂන් පන්තිය ළඟත් වාහන පේළියයි. මේ සන්නිය ‍හොඳ කර ගත්තෙ නැත්තං අපි ඉවරයි.

මට හිනා ගියේය.

ඉන් උද්දාමයට පත් ඔහු තවත් හයියෙන් කතා කළේය.

...එක ළමේකුට එක වාහනයක් ගාණෙ ගෙනල්ල මෙතන හිරකර ගත්තම පාරෙ යන වාහන යන්නෙ උඩින් ද? ළමයින්ට නෙමේ උගන්නන්ඩ ඕනැ උන්ගෙ තාත්තලට. කෝ මේ පොලිසියෙ මහත්තුරු? උන්දල කොහෙ ගිහින් ද? තමුංගෙ රාජකාරිය කරන්ඩ අපි කියල දෙන්ඩ ඕනැ ද?

තවත් මගියෙක් ඒ කතාවට ප්‍රතිචාර දැක්වූයේ අප යළිත් හිනා ගස්සවමිනි.

අපොයි උන්දල නියම තැන්වල හැංගිල ඇති. එක පාරට, පාරට පැනල ඉර කැපුව කියල දඩ කොළේ නං ලියයි. අපරාදේ කියන්ඩ බෑ, ඒක නං තිතටම කරනව!

රියැදුරු අමාරුවෙන් බසය ඉදිරියට ඇද්දවූයේ මහ හඬින් සිනාසෙමිනි.

අම්මප මාමෙ ඒක නං සහතික ඇත්ත! ඔහු උරහිස් නටවා හිනා වුණේ ය.

ගුවන් පාලම ළඟ දී බසයෙන් බැස මම කෝච්චියට දිව්වෙමි.

වියපත් මගියා කෝප වූ නමුත් රියදුරු කෝප නොවී හැකි තරම් ඉවසීමෙන් බසය පැද වූ හැටි පැසසුම් කටයුතු ය.

මෙබඳු රියදුරන් වාසනාවන්! ඔහු රාජකාරි කරන ගුවන් තොටුපළ - නිට්ටඹුව ලංගම බස් සේවාව ඇගයිය යුතු ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »