අමිල තිළිණය

2015-06-08 10:39:00       725
feature-top

මම ගිනි මද්දහකන අගනුවර වීදියක් දිගේ යමින් සිටියෙමි. දහසකුත් එකක් නුහුරු මුහුණු අතර හිටි අඩියේම හුරු මුහුණක් දිස් විය.

ඒ මුහුණ තිබුණේ ගොඩනැඟිල්ලක් පාමුල වූ යාන්තම් හෙවණක ය.

වහා ඔහු කරා ගිය මම ඔහු ගේ අතක් අල්ලා ගතිමි.

අමරෙ!

ගැස්සී ගිය අමරේ විමතියෙන් මදෙස බැලුවේ ය. එකෙණෙහිම ඒ විමතිය මකා ගෙන ම ඔහු ගේ මුහුණ පිපී ගියේ ය.

ස්... සෝමෙ! මගෙ අම්මේ දැක්ක කල්! ඉතිං කොහෙමැයි?

මං මේ අහම්බෙං මූණ දැක්කෙ? මොකද මේ මෙතෙන්ට වෙලා තනියම?

ඔහු සිනාසුණේය. කාලය විසින් ඇති කරන ලද වෙනස්කම් තිබුණ ද ඔහු ගේ මුහුණෙහි නැගී ආවේ පරණ ළෙන්ගතු හිනාවම ය.

යාබද බොජුන් හලක් විය.

අපි මොනව හරි කන ගමන් ටිකක් කතා කරමු ද? මම යෝජනා කළෙමි.

කන්න නං බෑ රජො! අපේ නෝන පුතණ්ඩියත් එක්ක එයාලගෙ ඔෆිස් එකට ගියා පොඩි රාජකාරියකට. ඒ ගොල්ලො එන කං මං මේ පොත් කඩේකටත් ගොඩවෙලා පොතක් දෙකකුත් අරං මෙතෙන්ට වෙලා හිටියෙ. කියමින් ඔහු සිය බිරියට ඇමතුමක් ගත්තේ ය. පැමිණීමට තව ටික වේලාවක් ගත වන බව බිරිය කීවා ය.

ලද අවස්ථාවෙන් අපි බොජුන් හලට ගියෙමු.

දන්නව ද? මට ඔයැයි හැමදාම මතක් වෙනව. ඔහුගේ සිනාව තව තවත් සුපහන් විය.

හැමදාම? ඒ කොහොම ද? මම ඇසීමි.

ඔයැයි දීපු බුද්ධ රූපෙට මං හැමදාම උදේ හවා මල් තියනව. ඉතින් ඒ බුද්ධ රූපෙ මට තෑගි දුන්න ඔයැයිව මට උදේ හවා සිහි වෙනව. ඇත්තමයි, හරිම ලස්සන බුද්ධ රූපෙ. හරිම සිරියාවයි

පරණ සිද්ධියක් වහා සිහිපත් වී මම මොහොතක් නිහඬ වීමි.

මීට වසර ගණනාවකට පෙර අපි එකම ආයතනයක සේවය කළෙමු. ඔහු අපට කලින් ම විශ්‍රාම ගියේ ය. ඔහු වෙනුවෙන් සමුගැනීමේ සාදයක් සංවිධානය වෙමින් තිබුණ ද කිසියම් හේතුවකින් එය නොපැවැත්වෙන බව පෙනිණ.

අවසන් දිනයේ ඔහු රාජකාරියට පැමිණ කල්වේලා ඇතිව කාගෙ කාගෙනුත් සමු ගත්තේ ය.

සමු ගැනීමේ සාදය කඩාකප්පල් වීම නිසා දුකට පත් මම අපේ තවත් සමීපම මිතුරකු වූ වීරේ සමඟ පිටකොටුවට ගියෙමි.

කොහෙද බං මේ මාව අරගෙන යන්නෙ? වීරෙ ඇසුවේ ය.

අමරෙව හිස් අතින් අරින්ඩ බෑනෙ බං. දෙන්නත් එක්ක මොකක් හරි කරමු ද? මම යෝජනා කළෙමි.

මම එක පයින් ඔහු සිය කැමැත්ත පළ කළේ ය.

අපි අමරේට තිළිණ කිරීම සඳහා සුදුසු යමක් සොයමින් සාප්පුවකට ගියෙමු.

ඒ කිරිගරුඬ බුදු රුව මා නෙත ගැටුණේ එවෙලේ ය. මම එය දෑතින් ඔසවා බැලීමි. බර ය.

කොහොම ද? මම වීරෙ දෙස බැලීමි.

ෂෝක්! ඔහු කීවේ ය.

එහි මිල රුපියල් දෙදහස් ගණනක් බව වෙළෙඳ සහායිකාව කීවා ය.

අපි බාගෙ බාගෙ දාමු වීරේ යෝජනා කළේ ය.

තිළිණය ගෙනැවිත් කාර්යාලයේ පිළිගැනීම් අංශයේ රහසිගත ව තැබූ අපි කිසිවක් සිදු නොවූ අයුරින් අපේ රාජකාරිවලට ගියෙමු.

සවස වැඩ ඇරෙන්නට කිට්ටුව අමරෙ කාගෙනුත් සමුගෙන පඩිපෙළ බැස ගියේ ය.

ඔහු පසුපසින් ගිය අපි කවුන්ටරය ළඟදී ඔහු නැවැත්වීමු.

ඇයි? අමරෙ නැවතුණේ ය.

මම වහා අර තිළිණය ගෙන අපි දෙන්නගෙන් අමරෙට පුංචි සිහිවටනයක් යැයි කියමින් ඔහුට පිරිනැමුවෙමි.

අමරෙගේ මුහුණ හැඟුම්බර විය.

සිය බෑගය පසෙක තබා තිළිණය දෝතින්ම පිළිගත් හේ හරි බරයි! මොකක්ද මේ? යි ඇසුවේ ය.

ගෙදර ගිහිල්ලම බලන්ඩකෝ මම කීමි.

අමරෙගේ දෑස පෙඟුවේ ය. ඔහු එය යටපත් කර ගෙන මාත්, වීරෙත් සිප පාරට බැස්සේ ය. ඈතට ගොස් අප දෙස හැරී බැලූ ඔහුට අපි අත් වැනීමු.

මේ අතීත සිද්ධිය සිහිපත් වී මට හිනා ගියේ ය.

එය වැටහුණාක් මෙන් අමරේ ද හිනා වුණේ ය.

අපේ හිනා හඬ බොජුන් හල සිසාරා ඇදී ගියේ ය. එය පාලනය වූයේ කවුරු කවුරුත් හැරී අප දෙස බලද්දී ය.

එහෙනං අපේ පුංචි බුදු හාමුදුරුවො ඔයාගෙ ජීවිතේට බලපාන කෙනෙක් වුණා!

මගෙ විතරක් නෙමේ අපේ ගෙදර හැමෝගෙම. අපි කවුරුත් මල් පූජ කරන්නෙ ඒ ලස්සන බුදු රූපෙට.

සතුට දෝරෙ ගියේ ය. අපි ඒ සතුටින් ම සමු ගතිමු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »