කඳුළයි - සිනාවයි

2015-06-03 09:03:00       724
feature-top
කළුවර ගලමින් තිබිණි.

මට කුණකටුවෙක් කෑවෝ!

ඒ අපේ ගේ ළඟ පාර අයිනේ සිටි ගැහැනු කෙනකු නැඟු අදෝනාවයි. වහා දිව ගිය අපේ අම්මා ඇය ගෙට කැඳවා ගෙනැවිත් හිඳුවා, මා ද කැටුව වහ වහා ගම මැද්දෙන් දුවන්නට වූවා ය.

අම්මෙ මේ කොහෙද යන්නෙ? කුකුසට පත් මම ඇසීමි.

කතා නොකර යං මගේ කනට කර එසේ කී ඈ මා'තින් අල්ලා ගෙන හැකි වැරෙන් කඳු පාර නගින්නට වූවා ය.

කඳු මුදුනේ ගෙයක් විය. ලාම්පුවක් දල්වමින් සිටි කිසිවෙක් එය රැගෙන මිදුලට බැස්සේය.

මොකෑ බං මේ තකහනියෙ?

අනේ වෙද රාලහාමි, අංගොට කුණකටුවෙක් කාල ආං අපේ ගෙදර. එක්ක යන්ඩයි ආවෙ

කොයි වෙලේද කෑවෙ?

දැං ඩිංගකට කලින්

වෙද රාලහාමි පිලට ගොඩ වී ලාම්පුව ඔසවා බිත්තියේ අලවා තිබු ලිතට එබුණේ ය.

හ්ම්, මං එන්නං, ඔය ඇත්තො දැං ගියානං

යං පුතේ අම්මා මා'තින් අල්ලාගෙන පල්ලම බැස්සා ය.

අප ගෙදර ගිය හැටියේ ම වාගේ වෙද රාලහාමි ද ආවේ ය.

ලෙඩා පිලේ පැදුරක බෑවූ අපි පසෙකට වී බලා සිටියෙමු. වෙද රාලහාමි මතුරන්නට පටන් ගත්තේ ය. අනතුරුව මංජුසාවක තිබූ කුඩා ගලක් වැනි දෙයක් පිටතට ගත් හේ එය ලෙඩාගේ පයෙහි කුඩා ඇඟිල්ලට උඩින් සර්පයා දෂ්ට කළ තැන තැබුවේය. එහි ඇලුණු බේත් ගල තරමක වේලාවකට පසු බිමට වැටුණේය.

දැන් රෝග කම්මුතුයි. උඹ නිරෝගියි. ගෙදර පලයං!

නැගිට ගත් අංගොහාමි වෙද රාලහාමිට දණ ගසා වැන්දාය.

අනේ බුදු රාලහාමිට පින් අත්වෙන්ඩෝනැ මේ මගෙ හිතේ පත්තු වෙච්ච ගින්න නිව්වට!

ඇය වෙද රාලහාමි පිටුපසින් ම මිදුලට බැස්සේ අපේ අම්මාට ද පින් දෙමිනි.

අනේ නගෝ උඹලගෙ හතර වරිගෙම නිවන් දකින්ඩ මේ පිනම ඇති. මං මේ බූමිතෙල් ගේන්ඩ කඩේ යන ගමං බං

මේ කිසිවක් නොතේරුණු පුංචි මම අම්මාගෙන් දිගින් දිගටම ප්‍රශ්න විමසීමි.

පුතේ අපි කාට කාටත් උපකාර ඕනැ කරන වෙලාවට පිහිට වෙන්ඩ ඕනැ. ඒක තමයි මනුස්සකම

කුණකටුවො කාපුහම මොකද වෙන්නෙ අම්මෙ?

විස රැඳුණොත් කවදහරි කකුල කුණු වෙන්ඩ පුළුවන්. බබං උන්දැගෙ මායියට වෙච්ච හරිය මට මතකයි. උන්දැගෙ කකුල කපල තමයි ජීවිතේ බේර ගත්තෙ. හිතපං පුතේ කකුලක් නැතුව ගියොත් ජීවිතේ මොකටද කියල

අම්මා කළ උපකාරයේ බර මගේ හිතේ කිඳා බැස්සේ එවිට ය.

වෙල්යාය පටන් ගන්නා තැන අපට එළවළු කොටුවක් තිබුණේය. තාත්තා උදේම නැගිට එහි ගොස් එළවළු නෙළාගෙන ආවේය.

මම බතල කෑමට රුසියෙක් වීමි. තාත්තා බතල ගලවාගෙන එනතුරු මා සිටින්නේ මහත් බලාපොරොත්තුවෙනි.

ඒත් කූඩය හිස්ව තිබිණ.

මොකෑ වුණේ? අම්මා ඇසුවා ය.

අතරමගදි බඩගිනිකාරයො වගේකට දුන්න තාත්තා කීවේ ය.

මම හඬන්නට වීමි.

කුස්සිය පිටුපස කොස් ගසින් ගෙඩියක් කැඩූ තාත්තා එය පළමුව දෙපළු කොට, දෙවනුව පළුවක් ඉරු කොට මදුළු ගලවා කූඩයට දැම්මේ ය. ඉන් කොටසක් ලිප තැබූ අම්මා පොලයක් බිඳ ගාන්නට වූවා ය.

තැම්බුණ කොස් හැළියෙන් සුවඳක් ආවේ ය. අම්මා ඉන් ටිකක් නෑඹිලියට බෙදා පොල් රැල් හා මුසු කොට ගුළි හදා ඒවාට කටින් පිඹිමින් මට කොස් ගුළි කැව්වා ය. මම ඒ උණුසුම් කිරි රසට වහ වැටී බඩ පිරෙන තුරු කෑවෙමි.

අපේ අම්මාත්, තාත්තාත් අප පුංචි සන්දියේ අපට ජීවිතය පිළිබඳ අපූරු පාඩම් කියා දුන්නේ එසේ ය.

අද මම ගුරුවරයෙක්මි. මා බිරිය ද ගුරුවරියකි. අපේ දරුවෝ අකුරු කරති.

මගේ මිතුරු ගුරුවරයෝ ටියුෂන් පන්ති පවත්වා අමතර ආදායම් උපයති. ඇතැමුනට රැයේ ද ඉස්පාසුවක් නැත. ඔවුහු යාන වාහන ගෙන ගෙවල් දොරවල් ද ලොකුවට හදති. මට එහි රසයක් නොදැනෙයි.

අප ජීවත්වන පරිසරයේ දුක් අනුභව කරන දරුවෝ සිටිති. මම ඔවුනට නොමිලේ පාඩම් කියා දෙමි. මා බිරිය ද ඊට උදව් කරයි. හොඳටම දුප්පත් පවුලක පුංචි දස්සයෙක් සිටියි. අපි ඔහුගේ ඉගෙනුම් බර සතුටින් දරමු.

අද මපියා නැත. කුඹුර අඳයට දී තිබේ. එළවළු කොටුව තිබේ. මම එය ද පුංචියට කරමි. එදා මපියා අපට දුන් පරිදි අද මම අපේ දරුවන්ට අලුත් එළවළු පලතුරු දෙමි. ඔවුන් සමඟ සැහැල්ලුවෙන් ඉන්නට මටත්, බිරියටත් කාලය තිබේ.

දැන් මව වියපත් ය. ඇය අප ඇසුරේ විවේකී ව වෙසෙයි. මා බිරියගේ මව ද රෝගී ය. අපි ඇය ද අපේ ගෙදර කැඳවා ගෙනැවිත් ප්‍රතිකාර කරමු. අම්මලා දෙන්නා එකට සිටීම අපට සතුටකි. අප ඇසුරේ විසීම ඒ අයට ද සැහැල්ලුවකි. අපේ දරුවන්ට ආච්චිලා දෙදෙනාගේ ම ආදරය ලැබෙයි. ඔවුහු කවි, කතන්දර, පරණ දේවල් දරුවන්ට කියා දෙති. අපේ දරුවන්ට කොම්පියුටරය මවන අනාගතයක්, ආච්චිලා දෙන අතීතයත් තිබේ. ඔවුන් මනසින් පිරිපුන් ය.

අප ගෙවන මේ දිවිය කෙතරම් වාසනාවන්ත දැයි මට පසක් වූයේ මළ ගෙදරක දී හැඳින ගත් වියපත් ගරු පියකු කී කතාව හා සැසඳීමේ දී ය.

ඔහු සිය ජීවිත කාලයම ටියුෂන් පන්තිවලට ගෙවා දැමූ අයෙකි. අද ද ඉන් ගැලවීමට ඔහුට නොහැකි වී තිබේ.

ඔහුගේ වැඩිමහලු දියණිය ද, ඊළඟ පුතුන් දෙදෙනා ද වෛද්‍යවරු ය. සිවුවැන්නා ඉංජිනේරුවරයෙකි. මුල් දෙදෙනා ජීවත්වන්නේ පිටරටවලය.

මෙදා සැරේ අවුරුද්දට රට ඉන්න දරුවො ඇරුණ කොට අනිත් දෙන්නා අපිව බලන්ඩ ආව. බාලය මට සරමකුයි, කමිසෙකුයි දුන්න. එයාගෙ අම්මට සාරියකුයි චීත්තෙකුයි දුන්න. හැබැයි තුන්වෙනිය සුපුරුදු විදිහටම මොකුත් ගෙනාවෙ නෑ. බාලය අරව දීල අපිට වඳිනව දැකපු එයාගෙ මූණ නරක් වුණා.

ඒ ඇයි? මොකට ද ඒව දෙන්නෙ? ඒකෙ තේරුමක් නෑනෙ කියල එයා බාලයට කියනව මට ඇහුණ. බාලය ගත් කටටම ඇහුව අයියට පිස්සුද? ඒ අපේ දෙමව්පියො නෙමේ ද? කියල.

දෙමව්පියො බව ඇත්ත. ඒ වුණාට ඕව දෙන්ඩ ඒ ගොල්ලො හිඟන්නො නෙමේනෙ. දෙන්නටම පැන්ෂන් එක එනව. ඒ තියා තවමත් ටියුෂන් කරනව. ඉතින් ඔයා ඇයි එහෙම කළේ? තුන්වෙනිය එහෙම ඇහුවෙ මූණ රතු කරගෙන. බාලය නිශ්ශබ්ද වුණා.

මේ කතාව මට වගේ ම මගෙ නෝනටත් ඇහුණ. එයා මං දිහැ බැලුවෙ කඳුළු පුරෝගන. මං කිසි දෙයක් නොවිච්ච ගාණට බාත් රූම් එකට ගිහින් ෂවර් එක දාගෙන මහ හයියෙන් ඇඬුව!

ඔහුගේ කතාවෙන් මම අන්ද-මන්දව ගියෙමි.

යළි නිහඬතාව බින්දේ ද ඔහු ය.

දැන් තමයි තේරෙන්නෙ අපි මොකක්දෝ වැරැද්දක් කරගෙන තියනව කියල. අපි දහදුක් විඳල දොස්තරල හදල ලෝකෙට දුන්න. ඒත් උන්ට අඩුම තරමෙ තමන්ගෙ අම්ම තාත්තගෙවත් කඳුළු පිහල දාන්ඩ තේරෙන්නෙ නෑ. දැන් ඉතින් අපිට වැරදි හදාගන්ඩ කල් නෑ. මං මේ අධ්‍යාපන ක්‍රමයට සාප කරනව ඔහු හිඳ සිටි පුටුවෙන් නැගිට්ටේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

සතුටු කඳුළු

වසර විසි පහක සේවා කාලයක් සපුර‍ා ‍ඇති ග්‍රාම නිලධාරින්ට උපහාර පිණිස උත්සවයක් සංවිධානය කර තිබිණි. එය මෙහෙය වන ලද්දේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ ග්‍රාම නිලධාරීන්ගේ සුබ සාධක සංගමය මගිනි.

වසර තිස් තුනක සේවා කාලයක් ඇති මම ද සුදුසුකම් ඇති නිලධාරීන් විසි හය දෙනා අතර වීමි. ඒ අතර සිටි එකම ගැහැනිය ද මා ය.

සුහද පිළිගැනීමෙන් පසු අප උත්සව ශාලාව වෙත කැඳවා ගෙන යන ලද්දේ පෙරහරිනි. සංග්‍රහ කටයුතු ද ඉතා ඉහළින් සිදුවිණි.

එක් එක් ග්‍රාම නිලධාරිවරයා පිළිබඳව හැඳින්වීම් කරනු ලැබීමෙන් අනතුරුව ආරාධිත අමුත්තන් අතින් සමරු ඵලක පිළිගැන්වීම සිදු කෙරිණි. සුබසාධක සමිතියේ ක්‍රියාකාරී ප්‍රවීණ ග්‍රාම නිලධාරීන්ට නවකයන්ගේ සහාය ඉහළින් ම ලැබිණි.

ජ්‍යෙෂ්ඨත්වයට උපහාර පිරිනැමීම සඳහා ඇප කැප වූ දිවුලපිටිය ග්‍රාම නිලධාරි සුබසාධක සංගමයේ සියලුම සහෝදර නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ගරු ලේකම් කමල් කිත්සිරි සහෝදරයාට ද ප්‍රණාමය පුද කරමි.

ග්‍රාම නිලධාරි සුබසාධක සංගමයට නිසි උපදේශකත්වය ලබාදෙන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් හේරත් මහත්මියට ද තුති පුදමි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »