දිවි රැක දෙන වෙද දෙවිවරු

2015-05-25 09:00:00       725
feature-top

උණෙන් පීඩා විඳිමින් සිටි මගේ ඥාති පුත්‍රයා ගම්පහ රෝහලට ඇතුළත් කරන ලදි. එය ඩෙංගු බව අප දැන ගන්නා විට ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියේ ය.

මේ නිසාම ඔහු මීගමුවට මාරු කර යැවිණි.

අපි ඔහු බැලීමට ගියෙමු.

පුත්‍රයා ප්‍රතිකාර ලබමින් සිටියේ මීගමුවේ ඩෙංගු රක්තපාත කළමනාකරණ මධ්‍යස්ථානයේ ය. එබඳු රෝහලක් ඇති බව අප දැනගත්තේ ද මෙහිදී ය.

ගොඩනැඟිල්ල ඉදිරිපිට ඇති පුවරුවේ දක්වා ඇති පරිදි එය 2013 දී පිහිටුවනු ලැබ ඇත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක් මල්ඵල ගැන්වීමෙනි.

සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යනු ලබන මේ මධ්‍යස්ථානය රෝගීන්ට අදාළ සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙහි ඩෙංගු වැලඳුණු දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද ප්‍රතිකාර ලබන අයුරු අපි දුටුවෙමු.

අපේ රෝගියා ද මෙහි ප්‍රතිකාර ලැබ යළි ජීවිතය ලද්දේ ය.

අසාධ්‍ය තත්ත්වයෙන් මෙහි ඇතුළු වන රෝගීන් ප්‍රතිකාර ලැබ සුවය ලබා පිටව යන්නේ ජීවිතය බේරා දුන් වෛද්‍ය හෙද ආදි කාර්ය මණ්ඩලවලට බෙහෙවින් කෘතවේදීත්වය පළ කරමිනි. ඔවුන් සමුගෙන යන දසුන නෙතට කඳුළු නංවයි.

මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සියලු කාර්ය මණ්ඩලයන් කරන කැපවීම අති මහත් ය. කිසිදු භේදයක් නොසලකා රෝගීන් හුදු රෝගීන් ලෙසම සලකා ඔවුන් සුවපත් කිරීමට නිරතුරුව උතුම් මෙහෙයක යෙදෙන මෙහි සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය.

රෝගීන් කෙරෙහි දිවා රෑ වෙහෙසෙන ලක්කුමාර ප්‍රනාන්දු වෛද්‍යවරයාණන් ඇතුළු හැමට යහපත සැලසේවා!



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »