සිරිපා ගමන

2015-05-18 11:13:00       724
feature-top

වෙසක් පෝයට පෙර දා අපි සිරිපා වන්දනාවේ ගියෙමු.

අප හිමේ නඟින්නට වූයේ රජ පාරෙනි. එයට මල්වල පාර කියා ද කියයි.

ගෙත්තම්පාන පසු කළ විට සිරිපා වැඳි ලොකු නඩයක් පහළ බසිනු අපට මුණ ගැසිණ.

අපි මඳක් පසෙකට වී ඔවුනට මග ඉඩ දී සිටියෙමු.

එහි නඩේගුරා ආවේ නඩය පිටු පසිනි. අප දුටු හැටියේ ම ඔහු ගේ ගැඹුරු හඬ වා ගැබට එක් විය.

වඳින්න යන මේ නඩේට - සම්මා සම්බුදු සරණයි!

අපේ නඩේ කටකාර පුංචි මුනුපුරෙක් සිටියේ ය. ඔහු අප වෙනුවෙන් ආගන්තුක නඩේගුරාට ක්ෂණිකව ප්‍රතිචාර පෑවේ ය.

වැඳල බහින අත්තප්පට - සුමන දෙවිඳු කරුණාවයි!

අපේ පැටියාගේ හීන් හඬ ඉහළ පහළ ඇදී ගියේ අප කාගේත් මුවග සිනා අන්දවමිනි.

නඩේගුරුගේ මුහුණ ද හිනාවෙන් පිරී ගියේ අප බලා සිටියද‍ීම ය. ඔහු ඒ හිනාවෙන් යුතුව ම පැටියාගේ නිකටට අතක් තබා පුංචි සරදමක් කළේ ය.

කරුණා කොරන්න සමන් දෙයියො මේ රටේ ඉන්න එපායැ - කිරි ‍පුතේ?

ඇයි අත්තප්පෙ එහෙම කියන්නෙ? සමන් දෙයියො සිරීපාදෙ ඉන්නවනේ.

උන්නාන්සෙ ඉස්සර නං හිටිය තමා. දැන් නං කොහාට හරි වැඩල වගේ.

ඒ වුණාට අපේ අත්තම්ම කියන්නෙ ඉරසේවෙ වෙලාවෙදි සමන් දෙයියො සිරිපා කරුණා කරනව කියලනේ.

එහෙම තමයි ඉතිහාසෙ කියල තියෙන්නෙ

ඒ වෙලාවෙදි සමනල කන්දෙ හෙවණැල්ල ආකාසෙ ඇ‍ඳෙනවලු නේද අත්තප්පෙ?

අම්මපල්ල ඔව්. මං ඒක මගෙ දෑහින් දැකල තියෙනව කිරි පුතේ.

වැඩිහිටියා හිනාවෙන් යුතුවම අප දෙසට හැරුණේ ය.

මෙදා වන්දනා වාරෙ හෙටින් අවසන් වෙන විත්තිය මේ ඇත්තො දන්නවනෙ. හෙට වෙසක් පෝදා මං සිල් ගන්නෙ අපේ ගමේ පන්සලේ. ඔය ඇත්තො සිරිපා මළුවෙ සිල් ගන්න. ඕක බොහොම දුර්ලබ අවස්ථාවක්. එහෙම නං මං දැං කරුණා කරඤ්ඤං. අපේ නඩෙත් දැං සීත ගඟුල පහු කරල ඇති. ඔහු බුරුල් වූ ජටාව ලිහා යළි හිස වටා ඔතා ගත්තේ ය.

ඔයා සීත ගඟුලෙන් නානවද අත්තප්පෙ?

පුංචි මුනුපුරා තවත් ප්‍රශ්නයක් නැඟුවේ ය.

සුද්ද භූමියක් වන්දනා කරල එද්දි තුන් වරුවක් යනකං නාන්න හොඳ නෑ කියල අපේ අප්පොච්ච ඒ කාලෙ අපිට කියල දීල තියනව පුතේ. හැතැප්ම හතරක් කන්ද තරණය කරල ආපහු බහින එකත් සුවල්ප වැඩක්යැ. තෙහෙට්ටුව වැඩියි. ඇඟ පත හීතල වෙලා. ඒ හින්ද නාන්න නාකයි.

මෙවිට ඔහුගේ නඩයේ ඉතිරි වූ කිහිප දෙනෙක් පඩි පෙළ බැස අප අසලට ආහ.

ඔහු ඔවුන් ඇමතුවේ ය.

ඕං එහෙම නං අපේ නඩේ කරුණාවයි. කරුණාවයි. මේ කවුරුත් එක්කල ආං අර මුදුනෙ පේන කොඩිය කඩේ. ඉස්මත්තෙ තියන දොරණ ගහ ළඟ නවතිනව හොඳයි. එතන සංහි‍ඳේ දෙන්න ඕන.

නඩය ඔහුගේ වදන් පිළිගෙන පහළ බැස්සහ.

මොකක්ද අත්තප්පෙ සංහි‍ඳේ කියන්නෙ? අපේ මුනුපුරාට තවත් කාරණාවක් දැන ගැනීමට වුවමනා විය.

සංහි‍ඳේ කියන්නෙ මයෙ කිරි පුතේ දෙයිහාමුරුවන්ට පිං දෙන තැනකට.

අත්තප්පෙ, අර ඉඳිකටුපාන කියන තැන ගඟ අයිනෙ ගලක් උඩ තියං ඉඳිකටුවකුයි, නූල් බෝලෙකුයි අරං ගෙත්තම් කරනව කිය කියා ඇඳුම් මහන්නෙ ඇයි?

ඒක ඔය කිරිකෝඩුට දේව ආරස්සාව ඉල්ලල කරන යාතු කර්මයක්නෙ කිරි පුතේ.

කිරිකෝඩු කියන්නෙ ඇයි අත්තප්පෙ?

ඉස්ඉස්සෙල්ලම සිරීපාදෙ වඳින්න එන දරුවන්ට කියන්නෙ කිරිකෝඩු කියල‍. ළමයි ටිකක් වයසට ගියාම කියන්නෙ දඬුකෝඩු කියල.

එතකොට අත්තප්පෙ අර උඩහ වැටක් වාගෙ තියෙන්නෙ මොකක්ද? මුනුපුරා හිමේ පැත්තට අතක් දිගු කර පෙන්නුවේ ය.

ඒකට තමයි කිරිපුතේ මහගිරිදඹ කියන්නෙ. ඒකෙන් නැග්ගම මළුව හොඳටම ළඟයි. ඔය පේන මායිමෙන් පොඩ්ඩක් මෙහායින් ඇහැළ කණුව තියනව. එතනත් සංහි‍ඳේ තියනව. සමහරු ඔය ඇහැළ කණුවෙ හුණු තවරනව. මළුවට නඟින්න සුදු පිරුවට ඇඳ ගන්නෙ ඔතෙන්දි තමයි. පුතත් සුදු පිරුවටයක් ගේන්න ඇතිනෙ නේද?

ඔව්. අපෙ අම්ම ළඟ තියනව.

එතෙන්දි සංහි‍ඳේ තියන්නෙ සුදු පිරුවට ඇඳගෙන තමයි. ඊට එහායින් පොඩි වතුර පාරක් ඇති. ඒක දෙපා වේල්ලක්. ඒකෙන් ගලන වතුර තමයි පුතේ ඔය සිව් මහ ගංගාවලට එකතු වෙන්නෙ. මයෙ පුතා දන්නව නේද සිව් මහ ගංගා?

මහවැලි, කැලණි, කළු, වළවේනෙ

ෂඃ, බොහොම ආඩම්බරයි කිරි පුතේ මට උඹ ගැන. නඩේ ගුරු තෙමේ අප මුනුපුරා ගේ හිස පිරිමැද්දේ ය.

එහෙනං මං දැන් පහළට කරුණා කොරඤ්ඤං‍. ඔය කවුරුත් දැන් ඉහළට කරුණා කොරන්න. මළුවෙත් සිල් සමාදන් වෙන උදවිය ඉන්න නිසා භාරකාර හාමුදුරුවොත් ඇති. නැත්තං වෙන හාමුදුරු නමක්වත් ඇතිනෙ‍. ඒ තියා සිල් සමාදන් වෙන පහළ ගංවල උදවියත් ඇති.

ආගන්තුක නඩේ ගුරුන්නාන්සේ අපෙන් සමුගෙන ගිය පසු අපි යළි හිමේ නඟින්නට වීමු. අප මළුවට යනවිට පාන්දර හතර පසු විය. ඒ වනවිටත් මළුව ඇමදීමේ, මලසුන් අස්පස් කිරීමේ කටයුතු සිදු වෙමින් තිබිණ. අපිදු ඒවාට හවුල් වීමු.

මළුව සෝදා හළ ඉක්බිති හඳුන් කිරි පැන් ඉස බුද්ධ පූජාවටත් ශීල සමාදානයටත් කටයුතු සූදානම් කැරිණ. සිල් සමාදන් වූ හැට හැත්තෑවක පිරිසට අපිදු අයත් වීමු.

සිල් ගත් හෙයින් අපි ඉර සේවය නැරඹීමට නොගියෙමු. සිරිපා මළුව හිරු රැසින් එළිය විය. වලාවෙන් හා මීදුමින් පිරුණු පරිසරය දැකුම්කලු විය.

හිරු රැස දැඩි වූයේ අපට විඩාව ද කුසගින්න ද දෙමිනි. උදෑසන නවය පසුවන විට අපට ඈනුම් ගියේ ය. කිසිවකු අපට පාන් පෙති කිහිපයක් පිරිනමන විට පෙ.ව. දහයට ළං වී තිබිණ. එහෙත් තේ කහට කෝප්පයක අඩුව තදින් දැනිණ.

‍‍එක් වියපත් මවක් දේව පූජා පිණිස තබන ලද පලතුරු වට්ටි අතැ'ති බැතිමතුන් වෙත යමින් පලතුරු ඉල්ලනු අපට පෙනිණ. ඇයට පාන් පෙත්තක් ලැබී නැති සෙයකි.

සිල් ඇත්තනට දිවා දානය ලැබෙන විට සවස තුන පසු වී තිබිණ. අප එය පසෙක තබා ගත්තේ සිල් පාවර කර කුසගිනි නිවා ගනු පිණිස ය. එහෙත් කටකට දෙකකට වඩා ගිල දැමිය නොහැකි වූයේ අහර පිළුණුවේගන එමින් තිබූ බැවිනි.

දැන් ඉතින් අප ආපසු කරුණා කළ යුතු ය. අප තෝරා ගත්තේ හැටන් පාර ය. විඩාව වැඩිකම නිසා ඒ කෙටි මගෙහි යා යුතු යැයි අපට සිතිණ.

අතරමඟදී හමු වූ කඩයක රුපියල් සීයට බත් යනුවෙන් දැන්වීමක් තිබිණ. එහෙත් වැඩි දෙනා තේ බොන්නට වූහ. එහෙයින් අපිදු තේ බීමු.

නල්ලතන්නියේ දී අපේ දන්සල් සිහිනය සැබෑ විය. උණු උණුවේ ම ලැබුණු පරිප්පු, ලූනු සම්බෝල සහිත බත අපට දිව බොජුනක් මෙන් විය. අපේ නඩේ මවක තම බත්පත නොකා රෑ කෑමට ඔතා ගනු දුටු දන්සලේ තරුණයෙකු කතා නැතිවම එය උදුරා ගෙන ගොස් ඊට තවත් වෑංජන හා බත් බෙදා එය පාර්සල්කර දුන්නේ ඇය පුදුමයට පත් කරවමිනි.

පුදබිමෙහි වූ කඩ හකුළාගෙන එන හැටිත්, කහ දියරින් මාවත සෝදා හරින හැටිත් අපට පෙනිණ. නල්ලතන්නියේ මුස්ලිම්, ද්‍රවිඩ, සිංහල කොයි කවුරුත් එකාවන්ව කීයේ සමන් දෙවියන්ගේ සඳුන් පිළිමය හා අබරණ සිරිපා මළුවේ සිට පහළට වඩමවන පෙරහර පිළිගැනීමට තමන් සූදානමින් සිටින බව ය.

පෙරහර එනතුරු අපිදු එතැන රැඳී සිටියෙමු.

අප මීට පෙර වාර බොහොමයක් සිරිපා සමයේදී මළුවේ සිල් සමාදන් වී ඇත. එහෙත් මෙදා හැර ඒ එකඳු වාරයක දී වත් අප කුසගින්නේ පසු වී නැත. අප මළුවේ නවාතැන් ගත් විගසම උණු උණුවේ බත් පතක් ලැබුණා මතක ය. රැය පහන් වනතුරු විටින් විට උණු තේ කහට හෝ කිරි කෝපි ලැබුණේ කිතුල් හකුරු කෑල්ලක් ද සමඟ ය. දන්සැල් බොහොමයක් විය. රතු කුරුසය, සාන්ත ජෝන් ගිලන් රථ සේවය, සෞඛ්‍ය දානය, බාලදක්ෂ ආදී සංවිධාන ද නොයෙක් සේවා සැපයීය‍. එහෙත් මේ වෙසක් පෝ දින ඒවාට සිදුවූයේ කුමක්ද?

අප කම්පා වූ තවත් දේ තිබේ. දොළොස් මහේ පහන ගලවා දමා ඇත. ඒ වෙනුවට ඇති ගල් පහන පුපුරා ගොසිනි. මෙසේ වන්නේ ඇයි?

අප අසා ඇති හැටියට සිරිපා පුද බිමට - සමන් දෙවොලට අයත් නින්දගම්වලින් ආදායම් ලැබෙයි. මේවායේ මැණික් පතල් ද වෙයි. වෙසක් දා මළුවේ සිටින සැදැහැවතුන් ගේ කුසගිනි නිවා දැමිය යුතු යැයි ඒ මැණික් වෙළෙඳුන්ට නොසිතෙන්නේ ඇයි?

පෙර දා අප මළුවට නගින අතරමඟ මුණ ගැසී කතා බහ කළ ආගන්තුක නඩේගුරු කී අර අවකැපෙන කතාව අපට යළි යළිත් සිහිපත් විය.

සමන් දෙයියො ඉස්සර නං හිටිය තමයි. දැන් නං කොහාට හරි වැඩල වගේ.

එය ඒ වෙලාවේ අවකැපෙන කතාවක් ලෙස අප සැලකුව ද එහි යම් ගැඹුරක් ඇති බව දැන් අපට ද වැටහේ.

අපගේ පුංචි මුනුපුරා සිය මව අසලට වී හේබාගෙන ගොළු වී සිටියේ කම්පාවෙන් මෙනි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »