සෙන් කතාව

2015-05-05 10:20:00       727
feature-top
සෙන් යනුවෙන් මහායාන බෞද්ධ නිකායක් තිබේ. සෙන් බෞද්ධ සාහිත්‍යයේ පුද්ගලයා ගේ අවබෝධය පුළුල් කරන බොහෝ රසවත් හරවත් කතා තිබේ.

මේ මා ළඟ දී විඳි එබඳු එක්තරා කතාවකි. මෙහි කියැවෙන්නේ සෙන් ශාස්තෲවරයකු සහ සෙන් ශ්‍රාවකයකු පිළිබඳවයි. මේ දෙදෙනා ම කලක් විශිෂ්ට පින්තාරුවන් ව විසූහ.

දිනක් සෙන් ශාස්තෲවරයා සිය ගෝලයා කැඳවා වන පෙතට ගොස් උණ ගසක් ඇසුරු කොට උණ ගසක් බවට පත් වන්නැ යි කියා සිටියේ ය.

ඔබ උණ ගසක් බවට පත් වූ පසු ආපසු පැමිණ උණ ගසක චිත්‍රයක් අඳින්න. මන්ද ඔබ උණ ගසක් බවට පත් නොවී කොපමණ උණ ගස් ඇන්ඳත් ඒවා අසාර්ථක චිත්‍ර වන නිසාය ය. ඊට හේතුව ඔබ උණ ගස බාහිරින් දැන සිටියත් එහි අභ්‍යන්තරය නොදැනීමයි.

ශ්‍රාවක තෙමේ වනපෙතට වැදුණේ ය.

වසර තුනක් ඉක්ම ගිය ද ඔහු පිළිබඳ ආරංචියක් නොවී ය.

ශාස්තෲහු දුකට පත් වූහ. ඔහු සිටියේ වියපත් වෙමිනි.

කල් ගතවෙනවා වැඩියි. ඔහු සොයා ගත යුතුයි

මෙසේ කල්පනා කළ ශාස්තෲවරයා කිහිප දෙනකු අමතා වනපෙතට වැද ඔහු සොයා ගෙන එන්නැයි කීවේ ය.

උණ පඳුරු ඇති හැම තැන ම බලන්න. ඒ කොතැනක හෝ ඔහු උණ ගසක් වී සිටින හැටි ඔබට පෙනේවි.

පිරිස වන වැදුණ හ.

ඒ වූ කලි සොඳුරු උදෑසනක් විය. උණ පඳුරු සුළ‍ඟේ නැළවෙමින් සිටියේ ය. ඔහු ද උණ ගසක් වී ඒ පඳුරු හා සුළ‍ඟේ නැළවෙමින් සිටිනු ඔවුහු දුටහ.

ඔහු තවදුරටත් මිනිසකු ව නොසිටියේ ය. ඔහුට තමා මුළුමනින් ම අමතක වී තිබිණි. උණ ගසක් බවට පත් ව සිටි ඔහු අහර පිණිස හිරු රැස උරමින් සිටියේ ය. ඔහු සිටගෙන සිටියේ මඩෙහි ය. ඔහු ගේ පා ඒ වන විටත් උණ මුල් බවට පත් ව තිබිණි. ඔහු සුළ‍ඟේ පැද්දෙමින් සිටියේ ය.

පිරිස ඔහු ගලවා ගත්තේ උණ පඳුරක් උදුරා ගන්නා සේ ය. ශාස්තෲන් කරා යා යුතු යැයි ඔවුහු ඔහුට බල කොට කියා සිටිය හ.

අවසානයේ පිරිස ඔහු බලෙන් ම සිය ශාස්තෲවරයා ඉදිරියට ගෙන ආහ.

ඔහු දෙස බලා සිටි ශාස්තෲවරයා මෙසේ කීවේ ය.

අන්න හරි. දැන් ඔබ උණ ගසක් අඳින්න. දැන් ඔබට සැබෑ උණ ගසක් ඇඳිය හැකියි. දැන් ඔබ පෙර පරිදි උණ ගස දෙස බලන්නේ බාහිරින් පමණක් නොවෙයි. දැන් ඔබට උණ ගසෙහි ඇතුළාන්තයත් නිවැරදිව දිස්වේවි. එය තමයි නිවැරදි දැනුම! සජීවී දැනුම!

බාහිරින් බලා යමක් කෙරෙහි විනිශ්චයට පැමිණීම කෙතරම් වැරදි දැයි මේ කතාව අපට කියා දෙයි.

මේ වෙසක් සමයේ මෙය ඔබට අගනා උපදේශයක් වේවි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »